කෝවිඩ් - 19 හේතුවෙන් ආර්ථිකට ඇති වන බලපෑම

මෙම ලිපිය පෙර පලවුනු” Economic implications of COVID-19හි පරිවර්තනයකි.

ආචාර්ය සරත් පතිරණ
COVID-19 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු ආර්ථික බලපෑමක් ඇති කරනු ඇති බවට සැකයක් නැත. මෙම බලපෑම් අතරට වැඩ කරන දින ගණන අහිමි වීමෙන් හා වෛරසය පැතිරීම අවම කිරීමට අවශ්‍ය සමාජ දුරස්ථභාවය නිසා නිෂ්පාදනය ඍජුවම අඩු වීම, වෛරසය වැළඳුනු අය වෙනුවෙන් වූ වෛද්‍ය වියදම් හා අවදානමට ලක්ව සිටින සහ අවශ්‍ය සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් උපදෙස් පිළිපැදීමට සූදානම් නැති අය අතර වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා වන වියදම් යන්න ඇතුලත් වේ. 

මේ මගින් මිනිසුන්ගේ ආදායමට වහාම බලපෑමක් ඇති වන අතර මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා භාවිතා කරන ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් මධ්‍ය කාලීන හා දිගු කාලීන බලපෑම් ඇති වේ. ශ්‍රී ලංකාවේ කෝවිඩ් - 19 අසාධන ප්‍රමාණය ගත් විට අප එය හොඳින් පාලනය කර ඇති බව කිව හැක. නමුත් ගැටළුව වන්නේ විශාල පොලිස් හා ත්‍රිවිධ හමුදා භටයන් යෙදවීමෙන් වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රමය අපට දිගටම පවත්වා ගෙන යා හැකිද යන්නයි.

රටේ ආර්ථිකයට ඇති වූ මෙම කම්පනය 2008 සිට 2012 දක්වා අප මුහුණ දුන් ලෝක මූල්‍ය අර්බුදය තත්වයට වඩා විශාල විය හැක. එකල අපගේ ප්‍රධාන අපනයන වෙළඳපොලවල් වුන ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයේ දළ දේශීය නිෂ්පාදිතයේ, එනම් වසරක කාලයක් තුල රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල මූල්‍යමය වටිනාකමේ වර්ධන වේගය අඩුවීම නිසා එම අර්බුදයෙන් ඇති වූ බලපෑම අවම විය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර අපගේ සංචාරක කර්මාන්තයට ප්‍රබල බලපෑමක් ඇති කළ අතර කෝවිඩ් - 19 වෛරසය පැතිරීමට පටන් ගත් විට අප තවමත් පෙර ප්‍රහාරයට පෙර පැවති තත්වයට පැමිණ සිටියේ නැත. නමුත් බලපෑම සාපේක්ෂව කුඩා වූ අතර එය එක් අංශයකට සීමා විය.

ආරම්භයේ පැවති තත්වය 

කෝවිඩ් - 19 වෛරසය රටේ පැතිරීම ආරම්භ වන අවස්ථාව වන විටත් රට ආර්ථික වශයෙන් දුර්වල තත්වයක පැවතුනි. අපගේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2019 මුල් භාගයේදී 2.6% ක් වූ අතර, කෝවිඩ් - 19 හි බලපෑමත් සමඟ, ඉදිරි වසර තුන සිට පහ දක්වා සැලකිය යුතු ප්‍රතිසංස්කරණ හා ඍජු විදේශීය අයෝජන ගලා ඒම් නොමැති වූවොත් අපගේ සාමාන්‍ය වර්ධන වේගය (දශක තුනක සාමාන්‍ය 4%) යථා තත්ත්වයට පත් කිරීමට දුෂ්කර වනු ඇත. 

2018 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම සැලකිය යුතු ලෙස අඩු වී ඇත. ඒ අනුව සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම විශාල වශයෙන් පහල යනු ඇත. ජංගම ගිණුමේ ගෙවුම් ශේෂයට සහාය වීමට තරම් අපගේ අපනයන ඉහළ ගොස් නැත. මේ අතර, අපේ විදේශ විනිමය සංචිතය ණයට ගත් අරමුදල්වලින් කොටසක් ද ඇතුළුව ඩොලර් බිලියන 7.0 ක් තරම් අඩු මට්ටමක පවතී. අවසාන වශයෙන්, 2020-2023 ඉදිරි සිව් වසර තුළ ඩොලර් බිලියන 16 .0 ක් පමණ විශාල ණය ප්‍රමාණයක් ආපසු ගෙවීමට අපට සිදුවේ.

කෝවිඩ් - 19 හි ආර්ථික බලපෑම

වෛරසය පැතිරීමෙන් ඍජු  හා වක්‍ර සැලකිය යුතු ආර්ථික බලපෑමක් අපට අපේක්ෂා කළ හැකිය. මෙහිදී වැදගත් වන්නේ කෝවිඩ් - 19 මගින්  ඇති වන  වක්‍ර  ආර්ථික බලපෑම්  වේ.  මෙහි ඇති සෘජු බලපෑම නම්, මේ දක්වා ශ්‍රමය නිරෝධායනය තත්වයන් තුළ අකමැත්තෙන් හෝ පැවතීමට සිදු වීමයි. එපමණක් නොව වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මීට පෙර අයවැය ගත කර නොමැති අරමුදල් වැය කිරීමට සිදු වේ. සහන ලබා දීම සදහා ඊට වඩා වියදමක් කිරීමට සිදුවේ.

ඔවුන් සඳහා විශේෂ මුදල් වෙන් කිරීමක් කල යුතුය. වෙනත් රටවල අත්දැකීම් දෙස බැලීමේදී ඉදිරියේදී මෙම ආසාදන වීමේ හැකියාව ඇතත්,  අපි නිසි ක්‍රම අනුගමනය කරන්නේ නම්, විශේෂයෙන් සමාජ දුරස්ථභාවය තුළින්, අපගේ ආසාදන අඩු මට්ටමක  පවත්වා ගැනීමට හැකි වේ. රෝගය පැතිර යාම වැලැක්වීම සදහා වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්තාව ලබා දීමට නිසි ක්‍රියා පටිපාටි ඇති කිරීම මගින් ඒවායේ බලපෑම අවම කර ගත හැකිය. වැඩි වශයෙන් පරීක්ෂණ සිදු කිරීම හා පුහුණුව ලැබූ වසංගත රෝග විශේෂඥයින් මත විශ්වාසය තබා ගැනීම උපකාරී වේ. 

වෛරසය හේතුවෙන් ආර්ථිකය මත ඇති ඍජු වියදම ඇති වන්නේ සියලුම අංශ වල නිෂ්පාදනය මුළුමනින්ම නැවතී නිෂ්පාදනය අඩු වී ඇති නිසාත් ඇඳිරිනීතිය ඉවත් කර ඇති ප්‍රදේශ වල පමණක් නිෂ්පාදනය වැඩි වී ඇති නිසාත් ය. නමුත් බොහෝ කම්කරුවන් වැඩි මිනිසුන් ප්‍රමාණයක් වෙසෙන කොළඹ, ගම්පහා සහ කළුතර යන ප්‍රදේශ වල ජීවත් වන අතර ඔවුන්ට තවමත් නිවෙස් වලට වී සිටින්නට සිදු වී ඇත. ජාතික ආදායම ගත් කල වැටුප්, ලාභ සහ පොලී ආදායම නුදුරු කාලීනව අඩු මට්ටමක පවතිනු ඇත. අපි හදිසි අවස්ථාව පාලනය කරන අතරම, නිසි ප්‍රතිපත්ති ඇති කිරීම සඳහා නුදුරු කාලයෙන් ඔබ්බට සිතිය යුතුය. මෙම හදිසි අවස්ථාව සඳහා ගනු ලබන පියවර මධ්‍ය කාලීන හා දිගු කාලීනව බලපානු ඇත

කෝවිඩ් - 19 හි බලපෑම අවම කිරීම සඳහා රජයේ වැඩසටහන්

සහන ලබා දීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් රජය විසින් යෝජනා කර තිබේ. මේවාට ඇතුළත් වන්නේ:

  • වැට් හා අදායම් බදු ගෙවීමට, රියදුරු බලපත් අලුත් කිරීමට, ජල බිල්පත් ගෙවීමට, රුපියල් 15 000 කට අඩු බදු තක්සේරු කිරීමට, රුපියල් 50 000ට අඩු ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවීමට අප්‍රේල් 30 දක්වා සහන කාලයක් දීම.

  • ත්‍රිරෝද රථ සඳහා ලිසිං වාරික ගෙවීම මාස හයකට අත්හිටුවීම.

  • මැයි 30 වනදා දක්වා රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් ණය ගෙවීම් අයකර නොගැනීම.

  • රුපියල් මිලියන 1ක් දක්වා පුද්ගලික ණය ආපසු ගෙවීම අත්හිටුවීම.

  • පුහුණුව ලැබීමට තෝරාගත් උපාධිධාරීන්ට රුපියල් 20,000 ක දීමනාවක් ගෙවීම. 

  • කෝවිඩ් වැළක්වීමේ කටයුතුවල නියැලී සිටින සෞඛ්‍ය සේවකයින් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් සඳහා අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණ කිරීම.

  • සංචාරක හා කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් ව්‍යවසායකයින්ට මාස හයක ණය සහනයක් ලබා දීම. 

  • 7% ක පොලී අනුපාතයකට මුදල් වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, EPF  සහ සේවක භාර අරමුදල ඒකාබද්ධව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමට නියමිතය.

මෙම තීරණ  මිල ක්‍රමය මත පදනම් නොවන බව සැලකිය යුතුය. බොහෝමයක් නියමයන්, විධානයන් සහ ප්‍රමාණාත්මක පියවර මත පදනම් වේ.

සහන ලබා දීම සඳහා අමතර ක්‍රියාමාර්ග 

  • දේශීය  ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සඳහා රුපියල් 50 000 වන තෙක් උපරිම වශයෙන් 15% ක පොලී අනුපාතයක් සහ අවම මාසික ගාස්තු 50% කින් අඩු කිරීම.

  • සියලුම බැංකු ශාඛා ඇඳිරි නීතිය නැති විට පැය කිහිපයක් හෝ විවෘතව තිබිය යුතුය.

  • අදාළ පුද්ගලයින්ට අත්‍යවශ්‍ය ආහාර, පොහොර, ඖෂධ සහ ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීම සඳහා වරාය, රේගු සහ වෙනත් නියාමන ආයතන කටයුතු කල යුතුය. 

  • සමෘද්ධි  ප්‍රතිලාභීන් සහ සමෘද්ධි කාඩ්පත් හිමියන්ට පොලී රහිත අත්තිකාරම් හෝ රු. 10,000 ක් සමෘද්ධි  බැංකු හරහා ලබා දීම.

  • අඩු ආදායම්ලාභී පවුල් සඳහා පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය වහාම නිකුත් කිරීම සඳහා හිමිකම් සහතික නිකුත් කිරීමට සමෘද්ධි අධිකාරිය කටයුතු කිරීම. 

  • සතෝස සහ සමුපකාර වෙළඳසැල වැට් බද්දෙන් සහ වෙනත් බදු වලින් නිදහස් කිරීම.

  • සෞඛ්‍ය හා සමාජ සත්කාර සඳහා සහන සැලසීම සඳහා ජනාධිපති අරමුදලේ BOC හි විශේෂ ගිණුමක් විවෘත කරන ලදී අතර රුපියල්. මිලියන 100 ක් වෙන් කර ඇත. සහල්, පරිප්පු සහ ලුණු සතිපතා ලබා දීම. දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්හට අරමුදලට දායක වීම සඳහා බදු සහ විදේශ විනිමය සීමා කිරීම් අත්හැර දමන ලදී.

මේ සියලු ක්‍රියාමාර්ග තිබියදීත්, දුප්පතුන්ට සහ විශේෂයෙන් රැකියා විරහිතයින්ට සහ ස්වයං රැකියාවල නියුතු අයට ආර්ථික සහන ලබා දීම දුෂ්කර ය. එයට හේතුව සමෘද්ධිය නිසි ලෙස ඉලක්ක කර නොගැනීමයි. උපකාර ලැබිය යුතු සමහර පුද්ගලයින්ට මෙම ආදායම් සඳහා ප්‍රවේශයක් නොමැති අතර ඉහළ ආදායමක් ඇති අනෙක් අයට සමෘද්ධි අරමුදල් ලැබේ. සුදුසුකම් ලත් දුප්පතුන්ට උපකාර කිරීම සඳහා අපගේ අනාගත වැඩසටහන් වලදී මෙම ගැටළුව විසඳිය යුතුය. සුදුසුකම් ලත් දුප්පතුන්ට උපකාර කිරීම සඳහා අනාගත වැඩසටහන් වලදී මෙම ගැටළුව විසඳිය යුතුය.

චිලී වැනි අනෙකුත් රටවල සවිස්තරාත්මක පවුල් හා ආදායම් දත්ත මත පදනම්ව එවැනි ආදායම් හුවමාරු ක්‍රමයක් තිබේ. ඒ අනුව සමෘද්ධි ලාභීන්ට නොව ඉතා දුප්පත් අයට සලාක කාඩ්පත් ලබා දීමට රජය විසින් මෑතකදී ගත් පියවර උපකාරී වනු ඇත. නමුත් මධ්‍යම හා දිගු කාලීනව අප සමෘද්ධි වැඩසටහන ප්‍රතිසංස්කරණය කළ යුතු අතර සුදුසුකම් ඇති අයට ප්‍රතිලාභ ඉලක්ක කළ යුතුය. මේ අතර, මහා බැංකුව පනවා ඇති ණය සීමාවන් හඳුන්වා දීම හරහා ආනයන පාලනයන් මඟින් ආර්ථිකයේ මධ්‍ය හා දිගු කාලීන විකෘතිතා ඇති වන අතර ඉහළ උද්ධමනයකට මග පාදනු ඇත. මිල තුලින් තරඟකාරී විනිමය අනුපාතයක් ඇතුළුව ආර්ථිකය පාලනය කරනවාට වඩා මෙම ප්‍රතිපත්ති ප්‍රමාණාත්මක මිනුම් මත වැඩි විශ්වාසයක් තබන බව සංඥා කරයි. මිල ක්‍රමය භාවිතා නොකරන විට අධිකාරියක් හෝ බලවත් පුද්ගලයකු විසින් ප්‍රමාණ වෙන් කළ යුතුයි. ඒ මගින් නොමනා ආකාරයට ප්‍රතිපාදන වෙන් කිරීම හා දුෂණය ඇති වේ.

නිගමන

කෝවිඩ් - 19 විසින් නිර්මාණය කරන ලද කෙටිකාලීන තත්ත්වය, විශේෂයෙන් පරිභෝජන පැත්තෙන් විසඳීම සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද පියවර සුදුසු ය. නමුත් පුද්ගලික ඔසුසැල් සම්පූර්ණයෙන් වසා දැමීම වැනි ක්‍රියාමාර්ග  දියවැඩියාව, නිදන්ගත හෘද රෝග සහ ඇදුම ඇති දිනපතා ඖෂධ අවශ්‍ය රෝගීන්ගේ සෞඛ්‍ය පවත්වා ගැනීම අපහසු කරයි. පසුව පුද්ගලික ඔසුසැල් විවෘත කිරීමට ඉඩ දීම වැනි පාලනය ලිහිල් කිරීමට හැකි බව සොයා ගන්නා ලදී.

කෙසේ වෙතත්, අප දැනටමත් දුර්වල ආරම්භක තත්වයන්ගෙන් ආරම්භ කරන බැවින්, කාර්යය පහසු නැත. ආර්ථිකය පාලනය කිරීම වැඩි වීම  හා ආර්ථිකයේ රජයට ඇති කාර්යභාරය වඩා පුළුල් වීමේ අනතුරක් ඇත. තවත් විටක ආදායම් හුවමාරු කිරීම් ඇතුළු සහන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවය මත බෙහෙවින් රඳා පවතින නිසා  ආර්ථිකයේ රජයට ඇති කාර්යභාරය අඩුවෙන් සිදු කිරීමක් ද සිදුවිය හැක. ඒ රාජ්‍ය සේවය කාර්යක්ෂමව හා ඉක්මණින් ක්‍රියාකිරීම නොකරන නිසාය. 

මෙම තත්වයට මුහුණ දීමට රජයේ කරන මැදිහත් වීම් වැඩි වන විට, රජයට දීර්ඝ කාලීනව අතිරේක හා ස්ථිර බලයක් ලැබීමේ අන්තරාය පවතී. 1970-1977 කාලය තුළ ආදායම් සීමාවන් සහිතව හා වී ප්‍රවාහනයට 100% ආනයන පාලක සීමාවන් ඇති කිරීමෙන් එම අත්හදා බැලීමේ ප්‍රථිපල අපි දැක ඇත්තෙමු. රජයේ මේ වැඩි අතපෙවීම් එම කාලය තුළ විනාශකාරී ප්‍රථිපල කරා අප ගෙන ගිය අතර සේවා නියුක්තිය මෙන්ම ජීවන තත්වයන් තියුණු ලෙස අඩුවීමත් සමඟ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය පහත වැටුණි.

ඒ අනුව මහා බැංකුව ණය පරිමාවට බලපෑම් කිරීම සඳහා සෘජු ප්‍රමාණාත්මක පියවර ගැනීමෙන් වැළකී සිටීම කළ යුතුය. එය කොවිඩ් 19 නිසා ඇති වූ කම්පනය සමඟ කටයුතු කිරීමට ආර්ථිකයේ නම්‍යශීලී බව අඩු කරන අතර විශේෂයෙන් නම්‍යශීලී හා තරඟකාරී විනිමය අනුපාතයන් වළක්වා ගනිමින් සංචිත කළමනාකරණය ඇතුළු ප්‍රමාණාත්මක පියවරයන් සඳහා ඇති කැමැත්ත සංඥා කරයි. 

ඍජු පියවරයන් තරඟකාරී නොවන ආර්ථිකයකට මඟ පෑදිය හැකි අතර විශේෂයෙන් අපගේ අපනයන වර්ධනයට එය හානිකර වේ. ආනයන කෙලින්ම තහනම් කිරීම අපනයනයට එරෙහිව නැඹුරුවක් ඇති කරනු ඇත. ආර්ථිකයේ ඵලදායිතාව ඉහළ නැංවීමෙන් අපගේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඉහළ නැංවීම සඳහා දිරිගැන්වීමේ ප්‍රතිසංස්කරණ මත අපට බලාපොරොත්තු තබා ගැනීමට සිදුවේ. කෙටිකාලීනව සිදු කර ඇති දේ අවශ්‍ය විය හැකිය, නමුත් නමුත් මධ්‍යම හා දිගු කාලීන වර්ධනය සහතික කිරීම සඳහා ඒවා ප්‍රමාණවත් නොවේ.

මෙහි ප්‍රකාශිත අදහස් කතුවරයාගේ ම අදහස් වේ. ඒවා මගින් ඇඩ්වෝකාටා ආයතනයේ හෝ ඊට සම්බන්ද කිසිවකුගේ  අදහස් පිළිබිඹු නොවේ. 

කොවිඩ්-19 වසංගතය හමුවේ කඩා වැටෙන ශ්‍රී ලංකාවේ දුර්වල රාජ්‍ය මූල්‍ය

මෙම ලිපිය පෙර පලවුනු” Sri Lanka’s weak public finances will exacerbate economic shocks from COVID-19හි පරිවර්තනයකි.

අනපේක්ෂිත ගෝලීය වසංගතය හමුවේ පසුබෑමකට ලක්ව ඇති බොහෝමයක් අංශ පවතී. ඒ අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ දැඩි චංචල ස්වරූපයක් ගෙන ඇති රාජ්‍ය මූල්‍ය කටයුතු ප්‍රධාන තැනක් ගනී. මෙම වසංගතය හේතුවෙන් සෘජුවම පහර කෑමට ලක් වන්නේ සාමාන්‍ය ජනතාව වන නමුත් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථිකය මතද නිරන්තර බලපෑම් ඇතිවේ. මේ වන විට සිදු කර ඇති පර්යේෂණ මඟින් අවධාරණය කරන්නේ මෙකී වසංගත තත්ත්වය සෞඛ්‍ය, ප්‍රවාහනය, කෘෂිකර්මය සහ සංචාරක ආදී කීප ආකාරයකින්ම රටක ආර්ථිකයට බලපෑම් කරන බවයි.

රටවල් අතර ගමනාගමනය නතර වීමෙන් ගෝලීය වෙළඳපළවල් ඇණහිට ඇති තත්ත්වයක් තුළ වෙළඳ කටයුතු අක්‍රීය වීමත්, අපනයනය කටයුතු නතරවීමත් සිදුව තිබේ. මේ වන විටත් ඉතා දැඩි පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් කඩා වැටෙනු ඇති අතර ඇතැම් ප්‍රධාන අපනයනකරුවන්ට කළ ඇණවුම් ඊළඟ කාර්තුවේදී  දැඩි දුෂ්කරතාවකට ලක් වනු ඇත.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රටවල් අතර සිදුවන වෙළඳ ගනුදෙනු බොහෝ සේ සීමා වී තිබේ. පිටරටවලින් ගෙන්වනු ලබන අමුද්‍රව්‍යද දැඩි ලෙස සීමා කර තිබේ. අපනයනය කිරීමේ අරමුණින් මෙරට තුළ සිදු කරන බොහෝමයක් නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන ආ යුතුය. නමුත් මෙම වසංගතය හමුවේ එම කටයුතු පසුබෑමකට ලක්ව පවතී. මේ නිසා අපනයන සීමා වීමක් සිදු වේ. වෙළඳපළවල් යළි විවෘත වීමක් සිදු වුවත් ක්‍රියාදාමයන් සහ අමුද්‍රව්‍ය කෙටි කාලීන භාවිතයකට පමණක් ප්‍රමාණවත් වනු ඇත. ආනයනය කළ අමුද්‍රව්‍ය තොග අවසන් වීම නිසා සැපයුම් දාමවල බලපෑම දේශීය නිෂ්පාදකයන්ට පවා බලපෑමක් එල්ල කරයි. මෙලෙස කෘෂිකර්මාන්තය රැඳී ඇත්තේද ආනයනය කළ පොහොර, කෘමිනාෂක, වගා අමුද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය මතයි. දේශීය කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගෙන නොවේ. ඒ සඳහා විදේශ රටවලින් ගෙන්වන අමුද්‍රව්‍ය , අංගෝපාංග, අමතර කොටස් අවශ්‍ය වේ. ඒ හේතුවෙන් දේශීය කර්මාන්තශාලා සිය කටයුතු සුමටව පවත්වාගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ දෙයි. මේ නිසා සිය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වේ.

ඉහත සඳහන් කළ ආකාරයට අපනයන කටයුතු ඇණ හිටීම නිසා රට තුළට ගලා එන අපනයන ආදායම් පහළ යයි. මේ නිසා විදේශ රටවලට ගෙවිය යුතු ණය මුදල් ගෙවීමට නොහැකි වේ. එමෙන්ම තවදුරටත් ණය ගැනීමට සිදු වන නිසා රටේ ණය බර ඉහළ යයි. මෙම තත්ත්වය හමුවේ බොහෝමයක් ව්‍යාපාරවලට සිය කටයුතු පවත්වාගෙන යාමේ දුෂ්කරතා මතුවේ. 2008/2010 කාලයේදී ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුද සමයේදී ඇස්තමේන්තුවලට අනුව 90,000ක පමණ ශ්‍රී ලාංකිකයන්ට සිය රැකියා අවස්ථා අහිමි විය. එහිදී විශේෂ අවධානයක් යොමු වූයේ ඇඟළුම් අංශය දෙසටයි. ඊට හේතු වූයේ කාර්මික අංශයේ කටයුතු පසුබෑමකට ලක් වීමයි. මේ නිසා කාර්මික අංශයේ රැකියා කළ බොහෝ පිරිසකට සිය රැකියා අහිමි විය. කෙසේ වෙතත් වර්තමාන ගෝලීය වසංගත තත්ත්වයේ ආර්ථික බලපෑම මීට වඩා දරුණු විය හැකියි. ඒ මක් නිසාද යත් මෙම වසංගත තත්ත්වය සංවර්ධිත රටවලටත් සංවර්ධනය වෙමින් පවතින රටවලටත් එකසේ බලපාන නිසාවෙනි. සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයන වෙළඳපළ කඩා වැටුණි. නමුත් එම රටවල දේශීය වෙළඳපළට බලපෑමක් සිදු වී නොමැත. මෙම ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් දවස් පඩි ලබන්නන් දැඩි දුෂ්කරතාවකට ලක් ව සිටී. එමෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරවලටද සිය ව්‍යාපාර කටයුතු කර ගෙන යාමේ දුෂ්කරතා පැන නගී. 

මෙහි සරලම අර්ථය නම් ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී වන බවයි. බිඳ වැටෙන ආදායම් තත්ත්වය හමුවේ වියදම් ඉහළ නැඟීම නිසා ගෙවුම් ශේෂයේ හිඟය තවදුරටත් පුළුල් වනු ඇත. පහළ මට්ටමේ ගනුදෙනුවලින් රැස් කර ගත හැකි වන්නේද ඉතා අඩු බදු ආදායමක් පමණි. විකුණුම් සහ වියදම් පහත වැටීමෙන් වැට් බදු සහ ආනයන බදු  ආදායම පහත වැටේ. ව්‍යාපාරවල ලාභය අඩු වීමෙන් ආදාය්ම් බදු ලෙස රැස් වන්නේද කුඩා ප්‍රමාණයකි. මේ අතරතුර, වසංගත තත්ත්වය නිසා සෞඛ්‍ය වියදම් (පරීක්ෂණ ඇඳුම් කට්ටල සහ රෝහල් පිරිවැය) සහ අනෙකුත් සහන පිරිවැය ඉහළ යයි. මේ අනුව ගෙවුම් ශේෂ හිඟය තවදුරටත් පුළුල් වීම නිසා තව තවත්  ණයට ගැනීමට රජයට සිදුවේ. මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පොලී බිල්පත්වල වටිනාකම පමණක් රුපියල් ට්‍රිලියන 1කි.

ශ්‍රි ලංකාවෙ රාජ්‍ය මූල්‍ය ශක්තිමත්ව පැවතුණත්, මේ තත්ත්වය නිසා සැලකිව යුතු මට්ටමේ අභියෝගයකට මුහුණ පෑමට සිදු වනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු අධෛර්මත් කිරීමට මෑතකාලීනව සිදු කළ බදු කපා හැරීම් හේතු වී ඇත. මෙම ප්‍රතිවිපාකයේ තරම තක්සේරු කිරීම අපහසු වුවත්, සුදුසු ආකාරයේ ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා මූලික කරුණු සාරාංශගත කිරීම වැඳගත් වේ.    

2016 ජූනි මාසයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ඇ.ඩො. බිලියන 1ක මුදලක් ශ්‍රී ලංකාව ලබා ගෙන තිබේ. 1950 වර්ෂයේදී  අන්තර්ජාතික මූල්‍ය අරමුදලට සම්බන්ධ වීමෙන් අනතුරුව මෙලෙස ණය ලබා ගත් 16වන අවස්ථාව මෙයයි. එමඟින් පෙනී යන්නේ මෙම පද්ධතියට ආවේණික දීර්ඝකාලීන ගැටළුවල ස්වභාවයයි. අන්තර්ජාතික අරමුදලේ මෑතකාලීන අරමුණ වී ඇත්තේ “දශක දෙකක කාල සීමාවක් තුළ ඇතිවූ බදු ආදායම් පහත වැටීම වළකාලමින් මධ්‍ය කාලීන වශයෙන් තිරසාර සමතුලිතයක් පවත්වා ගැනීමට රාජ්‍ය මූල්‍ය කටයුතු යොදා ගැනීමයි”. මෙම වැඩසටහන ඔස්සේ රාජ්‍ය වියදම් අඩු කර ගෙවුම් ශේෂ හිඟය අඩු කිරීමටත් (හිඟයයන් අඩු වන විට ණයට ගැනීමට ඇති අවශ්‍යතාවද අඩුවේ) එමඟින් විදෙස් ණය අවම කර ගැනීමටත් අපේක්ෂා කෙරේ.

බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් මඟින් දැඩි තීරණ ගැනීමට බල කෙරෙන බවයි. ඒ යටතේ සමාජ සුභසාධනය උදෙසා වැය කරන රාජ්‍ය වියදම් කපා හැරීම ප්‍රධාන තැනක් ගනී. ඔවුන්ගේ නිර්දේශවලට අනුව සුභ සාධනය සඳහා කෙරෙන මුදල් වැය කිරීම අවම කිරීමෙන් රජයේ වියදම් පහත හෙළිය හැක. ඒ අනුව රජයේ වියදම් රජයේ ආදායම්වලට වඩා වැඩි වීමෙන් සිදු වන ගෙවුම් ශේෂ හිඟය අවම කර ගත හැක. කෙසේ වෙතත් පෙර පැවති “යහපාලන” ආණ්ඩුව යටතේ සිදු වූයේ මීට පටහැනි කටයුත්තකි. එනම් ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීම උදෙසා බදු ඉහළ දැමීමකි. මෙහිදී රාජ්‍ය වියදම් අවම කර ගැනීමට කිසිදු උත්සාහයක් නොදරන ලදී. ඒ නිසා වියදම් තවදුරටත් ඉහළ ගියේය.

අවාසනාවකට, රාජ්‍ය ආදායමින් වැඩි ප්‍රතිශතය වන්නේ පාරිභෝගිකයන් මත පනවන ලද බදු ප්‍රතිශතයයි. ඒවායින් ‘එකතු කළ අගය මත බදු’ හෙවත් වැට් බදු ප්‍රධාන තැනක් ගනී. මේ නිසා බදු පැනවීමෙන් දැඩි ලෙස පීඩාවට පත් වූයේ පාරිභෝගික ජනතාවයි. මෙම තත්ත්වය රජය කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩි කළේය. ආදායම් බදු ඉහළ නැංවීම නිසා ව්‍යාපාරික ජනතාවද රජයේ ක්‍රියාකලාපය කෙරෙහි කණස්සල්ලෙන් පසු විය. ඒ අනුව රජය අනුගමනය කළ විවිධ අන්දමේ ක්‍රියාමාර්ග රැසක් ජනතාවගේ දඩි අප්‍රසාදයට හේතු විය.

යම්තාක් දුරකට රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් වර්ධනයක් සිදු වුවත්, එය ශක්තිමත් එකක් නොවීය 2019 නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබුණේ “අපේක්ෂිත ආදායම් මාර්ග ළඟා කර ගැනීමට අපොහොසත් වීම නිසා තවදුරටත් ෆිස්කල් අරමුණු ළඟාකර ගැනීම අසීරු වන බවයි”. මේ සඳහා 2019 අප්‍රේල් මාසයේදී සිදු වු පිපිරීම් මාලාවත් ඒ ඔස්සේ සිදු වුණු ව්‍යාපාර බිඳ වැටීමත් හේතු විය. 

2019 නොවැම්බර් මාසයේදී පැවැත්වූ ජනාධිපතිවරණයට සමගාමීව, නව රජය විසින් දෙසැම්බර් මාසය වන විට බදු කපා හැරීම්  නිවේදනය කරන ලදි. බදු ඉහළ නැංවීමත් සමඟ වර්ධනය වු ජන අප්‍රසාදයට පිළියම් යෙදීම වරදක් නොවූවත්, කපා හරින ලද බදුවල පරාසර පුදුමය දනවන සුළුය. සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 28% සිට 24% දක්වාත්, වැට් බද්ද පැවති මට්ටමින් හරි අඩක් පමණ වන සේ 15% සිට 8% දක්වාත් පහත දැමුණු අතර රඳවා ගැනීමේ බදු, ජාතිය ගොඩ නැඟීමේ බදු සහ ආර්ථික සේවා ගාස්තු ආදියද ඉවත් කරන ලදී. මෙහි අරමුණ වූයේ අර්බුදයකට මුහුණ පා සිටින ආර්ථිකයට ක්ෂණික පිළියමක් ලබා දීම වුවත්, රාජ්‍ය වියදමින් ¼ක් පමණ හෝ දළ දේශීය නිෂ්පාදනයෙන් 3% හෝ 4%ක් පමණ රාජ්‍ය මූල්‍ය දුර්වල කිරීමයි.

2020 පෙබරවාරි 7 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර්තා කර ඇති අන්දමට ප්‍රාථමික දත්තවලට අනුව දීර්ඝ කරන ලද පහසුකම් අරමුදලේ (EFF) සහයෝගය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනේ ප්‍රාථමික අතිරික්ත අරමුණ 2019 වර්ෂයේදී දළ දේශීය නිෂාපදනයෙන් 0.3%ක වාර්තාගත හිඟයයක් සහිතව ප්‍රමාණවත් සීමාවකින් මඟ හැරී ඇති බවයි. ඊට හේතු වී ඇත්තේ ආදායම් උත්පාදනයේ දුර්වලතා සහ වියදම් අසීමාන්තික ලෙස ඉහළ යාමයි. මූල්‍ය අරමුදල පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ හිඟය 2020දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9%ක් දක්වා ඉහළ යන අතර එය 2015 වර්ෂයේ සිට බලන කළ ඉහළම අගයයි. වසංගත තත්ත්වයේ බලපෑම් අවසන්ව නොමැති තත්ත්වයක් යටතේ මෙය ධනාත්මක තත්ත්වයක් ලෙස පෙනේ. 2019 වසරේදී ගෙවුම් ශේෂ හිඟය ලෙස වාර්තා වී ඇත්තේ 6.5% වුවත්, මුදල් අමාත්‍යාංශයට අනුව “2019 වර්ෂය සඳහා සබෑ ගෙවුම් ශේෂ හිඟය වූයේ 8%කි මන්ද වසර අවසානයේදී රුපියල් බිලියන 367 වන වියදම් පියවීමකින් හෝ ගණනය කිරීමකින් තොරව පැවතීම නිසයි.

මේ අතරතුර, ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතන වන ෆ්‍රිච් සහ එස් ඇන්ඩ් පී ආයතන ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය ‘ස්ථාවර’ තත්ත්වයේ සිට ‘සෘණාත්මක’ තත්ත්වය දක්වා පහත හෙළන ලදී. ශ්‍රී ලංකා ආර්ථිකයේ ආරම්භයේ පටන්ම රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ පැවති අස්ථාවර තත්ත්වයත් සමඟ වර්තමාන කොවිඩ්-19 වසංගතයේ බලපෑමත් පවතී.

ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මූලික අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ මහජනතාවගේ සෞඛ්‍ය හදිසි අවශ්‍යතා සහ ඒ හා බැඳුණු මානව පිරිවැයයි. එනමුත් වඩාත් පැහැදිලි ආර්ථික චින්තනයක අවශ්‍යතාව දැඩි ලෙස පවතින මොහොතක සමාජයේ වැඩ් වශයෙන්ම අවදානම්වලට ගොදුරු විය හැකි පිරිස කෙරෙහි එමඟින් සාධාරණ සැලකිල්ලක් ඇති විය යුතුය. ලොක් ඩවුන් කර ඇති තත්ත්වයක් යටතේ හෝ සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවකදී වුවත් ඊට සමගාමී පිරිවැය බර තැබීමක් සිදු කළ යුත්තේ එබැවිනි. 

ආණ්ඩුවේ ප්‍රධානතම වගකීමක් වන්නේ විදේශ ණය කලමණාකරණය කිරීමයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මධ්‍ය කාලීන ණය උපක්‍රමය පාදක වී ඇති උපකල්පන කීපයකි. ඒවා නම් මධ්‍ය කාලීනව දදේනියෙන් 5%ක ප්‍රමාණයක්,5%ක වන උද්ධමන අනුපාතයක් සහ 3.5%ක ගෙවුම් ශේෂ හිඟයක් තවදුරටත් රඳවා නොගත යුතුය. ශේෂයන්ගේ මධ්‍ය කාලීන උපක්‍රම සමඟ පරිණත වන ණය රජය විසින් ඉදිරියට ගෙන එන්නේද?

2020 පෙබරවාරි වන විට විදේශ සංචිතය ඇ.ඩො. බිලියන 9 වූ අතර එය ප්‍රමාණවත් වූයේ මාස 4.6ක ආනයනවලට පමණි. මෙය ඇ.ඩො. මිලියන 500ක්ද පසුව ලබා දීමට පොරොන්දු වූ ඇ.ඩො. මිලියන 700ක්ද වශයෙන් ප්‍රතිමූල්‍යනය කරන ලදී. මාස තුනක ආනයන සඳහා ප්‍රමාණවත් සංචිත පවත්වා ගනිමින් මෙම වසරේ ණය ගෙවීමට කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාව තවත් ඇ. ඩො. බිලියන 2 හෝ 2.5 කින් විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරයි.

රාජ්‍ය මූල්‍ය අංශයේ පවතින අවිනිශ්චිතතා නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන අසාර්ථක විය. මේ අතර පැහැර හැරිය නොහැකි මට්ටමේ ණය බිඳ වැටීමක් ශ්‍රේණි ගත කරන නියෝජිතායතනයන්ගෙන් අපේක්ෂා කෙරුණි. මේ හේතුවෙන් ණයට ගැනීම සඳහා වෙළඳපළට පිවිසිය නොහැකි වනු ඇත. මෙම වසරේදී කල් පිරෙන ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කරවලින් ලැබෙන වාසිය ත්‍රීව වී ඇත. මෙය ලියා දක්වන අවස්ථාව වන විට, ආයෝජකයන් වර්තමාන ලාභයෙන් 101% ක ඉහළ යාමක් අපේක්ෂා කරයි. ලබන වසරේදී කල් පිරෙන බැඳුම්කර පවතින්නේ 44%ක මට්ටමේය.  අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මඟින් වෙළඳපළ තුළ විශ්වාසයක් ගොඩ නැඟුවත් එමඟින් සිදු වනු ඇත්තේ පීඩාකාරී සීමා කිරීමකි. වඩාත්ම සුදුසු විසඳුම වන්නේ තවදුරටත් ඇපකරයක් සඳහා අභියාචනා කිරීමයි.

බදු සහන සඳහා අවස්ථාව ඉල්ලා සිටි බොහෝමයක් රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් වේ. ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් මෙම ඉල්ලිම්ට සහය දක්වා ඇත. මෙම සහනය ලබා දීමට සැලසුම් කර තිබුණේ දුප්පත්ම රටවලට වුවත්, ශ්‍රී ලංකාව වැනි මෑතකදී ඉහළ මැදි ආදායම් රටවල් කාණ්ඩයට අයත් රටවල් සම්බන්ධයෙන්ද සලකා බැලේ. ඇතැම් අදහස් දක්වන්නන් යෝජනා කර ඇත්තේ ආණ්ඩුව සරලවම මැදිහත් නොවී සිටිය යුතු බවයි. මෙම කටයුත්ත සරලව පෙනී ගියත්, වාණිජ ණය ප්‍රතිසංස්කරණය කිරීම පවා අවදානම්කාරීය: යළි ගෙවීම් අඩු කිරීම හෝ පිළිගැනීම වෙළඳපළ විසින් සලකන්නේ නොගෙවා හරින අවස්ථාවක් ලෙසයි. එනම් මෑතකදී යළිත් වෙළඳපළට ඇතුළු වීම අපහසු වන බවයි. දදේනියේ පහළ යාම, ආයෝජනය සහ පෞද්ගලික අංශයේ ණය ආදිය සාමාන්‍යයීකරණය් වීම නිසා මෙමඟින් ආර්ථිකය වෙත කම්පනයක් එල්ල කරනු ලැබේ. බැංකු අසමත්වීම්වලට හේතුවක් ලෙස මූල්‍ය අංශය් බිඳ වැටේ.

2002 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රුසියාව, යුක්‍රේනය, ඉක්වදෝරය සහ පාකිස්ථානය ආදී රටවල 1998-2000 කාල සීමාවේදී සිදු කළ ප්‍රතිසංස්කරණ පිළිබඳ අධ්‍යයනයකදී, පහත ප්‍රතිසංස්කරණ ප්‍රතිඵල ලැබී ඇත:

“සැබෑ ආදායමේ පසු බෑම සහ මුල්‍යයන් දේශීය ඉල්ලුමට සම්ප්‍රේෂණය කරනු ලැබේ. සුරක්ෂිතතාව පහත වැටීමත් සමඟ පෞද්ගලික ආයෝජනය දැඩි ලෙස කපා හැරේ. පෞද්ගලික පාරිභෝජනය සලකා බැලූ විට , කෙටි කලක නැවතුමක් සහිතව වුවත් කුටුම්භ විසින් සිය ඉතුරුම් පහත හෙළයි. රාජ්‍ය මූල්‍ය කටයුතු ශක්තිමත් කිරීම සඳහා දරන උත්සාහයක් ලෙස පෞද්ගලික පාරිභෝජනය පහත හෙළයි. විදේශ විනිමය පාලන පැවතියද පහත වැටෙන විදේශ විනිමය අනුපාත මඟින් පෙනී යන්නේ ප්‍රාග්ධන ගලායාමෙන් හටගත් විදේශ ආධාරවල පවතින හිඟකමයි. වර්තන ගිණුම් වර්ධනය වීමට හේතු වී ඇත්තේ දේශීය ඉල්ලුම සංකෝචනය වීම සහ ආනයන ආදේශනයයි. හුවමාරු අනුපාතය පරිහානියට ලක් වීමත් සමඟ එමඟින් මිල මට්ටම්වලට බලපෑම ක් ඇති වී උද්ධමනය වේගවත් විය. වේතන ප්‍රමාද විය,උද්ධමනය නිසා තැන්පතුවල වටිනාකම පහත වැටුණි, සේවා වියුක්තිය ඉහළ ගිය අතරම සැබෑ ආදායමේ අඩු විම මඟින් ක්ටුම්භ දැඩි ලෙස පීඩාවට ලක් විය.” 

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවකට මුහුණ පා සිටින අතර අනුගමනය කළ හැකි විකල්පයන් ඇත්තේ ඉතාමත් ස්වල්පයකි. මෙම තත්ත්වයට බලපෑ ප්‍රධානතම කරුණ කොවිඩ්-19 වසංගතය වුවත් එකම කරුණ එය පමණක්ම නොවේ. වසංගතය විසින් කාලාන්තරයක් මුළුල්ලේ වර්ධනය වෙමින් පැමිණි ප්‍රතිපත්ති දුර්වලතා, ආර්ථික වර්ධනය, ෆිස්කල් සහ බාහිර අංශද ඇතුළුව එක් විශාල කප්මනයක් බවට වර්ධනය කර තිබේ. 

මෙය ඉහත සඳහන් කළ අන්දමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කළ අධ්‍යනයට භාජනය වූ ගැටළුවමයි. එහිදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපළට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් පවතින සාපේක්ෂ කෙටි ඉතිහාසය නිසා සාර්ව ආර්ථික තත්ත්වය, දේශීය ප්‍රතිපත්තිවල පවතින දුර්වලතා සහ ආසියානු අර්බුදයට අමතරව පවතින අසතුටුදායක බාහිර පරිසරය, රුසියාව සහ ඉක්වදෝරය සඳහා වන දුර්වල තෙල් මිල, පාකිස්ථානයේ න්‍යෂ්ටික අත්හදාබැලීම් නිසා පනවා ඇති අන්තර්ජාතික සම්බාධක, ඉක්වදෝරය සඳහා බලපා ඇති එල්-නිනෝ තත්ත්වය, යුක්‍රේනය සඳහා වන රුසියානු කෝලාහල වැනි බාහිර කම්පන හමුවේ අස්ථාවර වේ. 

කෙටි කාලයේදී ඇපකරයන් අවශ්‍ය වනු ඇත, නමුත් එය පවත්නා ගැටළු බොහෝ ඈතකට නොවෙතත් යම්කිසි කාලයක් දක්වා කල්තබන තාවකාලික විසඳුමකි. තවදුරටත් චීනයත් සමඟ ද්වි පාර්ශවික ණය ගනුදෙනු කිරීමට හැකියාව තිබුණද, පවත්නා කොවිඩ්-19 වසංගත තත්ත්වය මත තවදුරටත් ද්වි පාර්ශවික ණය ගනුද්නු සිදු කිරීම ප්‍රායෝගික විසඳුමක් නොවේ. තවදුරටත් ණය ගැනීම සඳහා සුදුසු පිළියමක් සපයන්නේ ඩොලර් ට්‍රිලියන 1ක ධාරිතාවක් යටතේ පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන පමණි.  

මෙතෙක් නිද්‍රෝපගතව හුන් දේශපාලනඥයන් සහ සාමාන්‍ය ජනතාව මේ මොහොතේ අවදි වී යථාර්තයට මුහුණ දිය යුතුයි. පූර්ව මැතිවරණ පොරොන්දු සහ දීර්ඝකාලීනව ප්‍රචාරණය කරන කුමන්ත්‍රණ න්‍යායන් ඉවතලා ගෝලීය මූල්‍ය ආයතන සමඟ සාකාච්ඡා කොට තීරණ ගැනීම සහ උසස් චින්තනයක් අවශ්‍ය වේ. ආර්ථික කලමණාකරණ කටයුත්ත සිදු කළ යුත්තේ යම් භූමිකාවක් ඉටු කිරීමට බලයලත් අනෙකුත් ව්‍යවස්ථාපිත නියෝජිතායතන සමඟද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.  

අත්වැරදීම් නිසා ඇති වන්නේ පිරිවැයකි, ඒ මඟින් කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ඇති වන බරපතල සෞඛ්‍ය ගැටළු විනාශකාරී ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය විය හැකියි. 


සමාජ දුරස්ථභාවය රැකගනිමින් ආර්ථිකව ඒකරාශී වීම

මෙම ලිපිය පෙර පලවුනු “Social distancing but economic convergence”හි පරිවර්තනයකි.

ධනනාත් ප්‍රනාන්දු විසිනි

නව කොරෝනා වයිරසය (කොවිඩ්-19) මුළු ලෝකයම පුදුමයට පත් කර තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, මෑත ඉතිහාසයේ ත්‍රස්තවාදී නොවන සතුරෙකු සමඟ සටන් කිරීමට අපට සිදු වූ තුන්වන අවස්ථාව මෙයයි. පළමුවෙන්ම, 2004 දී ඉන්දියන් සාගරයේ සුනාමිය අපගේ වෙරළට කඩා වැදුනි, පසුව මීට වසර කිහිපයකට පෙර ඩෙංගු රෝගයක් පැතිරී ගියේය, දැන් මෙම වෛරසයය. එමෙන්ම ඊට සමගාමීව, අප හට ත්‍රස්තවාදීන් සමඟ වසර 30 ක් පුරා වූ යුද්ධයක් පැවති අතර, මීට වසරකට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය ද එල්ල විය. සාරාංශයක් ලෙස, වෙන කවරදාටත් වඩා ජාතික හදිසි අවස්ථා දැන් පවතින බව පෙනේ.

මෙවැනි ආකාරයේ අර්බුද වලදී, රටක් ලෙස හුදෙකලා වීම සහ ස්වයං පෝෂිත වීම එවැනි බාහිර කම්පන වළක්වා ගැනීමට ඇති හොඳම විසඳුම් බවට මතයන් ප්‍රකාශ වේ. එවැනි බාහිර සාධක මගින් අපගේ පැවැත්මට තර්ජනයක් ඇති වන විට මෙම නිගමනයන්ට එළඹීම ස්වාභාවිකය.

කෙසේ වෙතත්, මේ අවස්ථාවේ මතක තබා ගත යුතු හොඳ කතාවක් නම් දඩයක්කාරයකු සහ කුරුල්ලන් රැළක් පිළිබඳ බෞද්ධ ජාතක කථාවක් වන “සම්මෝදමාන ජාතකය” යි. දඩයක්කාරයා කුරුල්ලන් රැළට තර්ජනයක් වූ අතර කුරුල්ලන් විවිධ දිශාවන්ට පියාසර කරමින් දඩයක්කරුගේ දැලට හසු විය. මෙය කිහිප වතාවක් සිදු වූ පසු, කුරුල්ලන් උපාය මාර්ගික විය; සියල්ලෝම එකම දිශාවකට දෙසට පියාසර කර, ඔවුන්ගේ හොටවල් භාවිත කරමින් දැළ ගසක් දෙසට ඇදගෙන පලා ගියහ. ආර්ථිකව හුදකලාවී සිටීම, රටක් වශයෙන් ස්වයං පෝෂිතවීම සහ ගෝලීයකරණයෙන් ඉවත් වීම මෙම අවස්ථාවේදී පහසු විසඳුම් ලෙස පෙනෙන්නට තිබුණද, වෙන කවරදාටත් වඩා රටවල් එකිනෙකා සමඟ එකට එක්ව කටයුතු කිරීම වර්තමානයේදී වැදගත් වේ.

ආර්ථික කඩා වැටීම

මෙය අපට පමණක් සීමා නොවූ ගෝලීය අභියෝගයක් බැවින් කොවිඩ්-19 අප හට වෙනදා මුහුණ දීමට සිදුවූ අභියෝගයන්ට වඩා හාත්පසින්ම වෙනස් බලපෑමක් එල්ල කරයි. කොවිඩ්-19 හි ආර්ථික බලපෑම දේශීයව හා ගෝලීය වශයෙන් ඉතා විශාල වනු ඇත. ඉල්ලුම සම්බන්ධයෙන් ගත් කල, ලෝකයේ බොහෝ නගර වසා දැමීම සහ සංචරණය සීමා කිරීම හේතුවෙන් පරිභෝජනය විශාල ලෙස පහත වැටෙනු ඇත. සැපයුම් සම්බන්ධයෙන් ගත් කල, ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 16% කට දායක වන චීනය දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර සැපයුම් දාම සහ නිෂ්පාදන ජාල සම්බන්ධතා මේ වන විට අක්‍රියව පවතින බැවින් සැපයුම් ද විශාල පහත වැටීමක් සිදුවනු ඇත.

ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ගත් කල, ජාත්‍යන්තර වෙළඳපොල වල (යුරෝපය සහ ඇමරිකාව) අඩු පරිභෝජනය හේතුවෙන්, බෝවන බවට ඇති බිය හේතුවෙන් මෙහෙයුම් දිගටම කරගෙන යාමට නොහැකි වීමෙන් සහ ගෝලීය නිෂ්පාදන ජාලය බිඳවැටීම නිසා වන සැපයුම් දාම පවත්වාගෙන යාමේ අපහසුතාවයන් හේතුවෙන් අපගේ ඇඟලුම් වෙළඳාම අවදානමට ලක් වනු ඇත. අපගේ බොහෝ ආහාර අපනයන මෙන්ම අනෙකුත් බොහෝ අපනයන භාණ්ඩ සඳහා ද මෙය අදාළ වේ.

මැදපෙරදිග, යුරෝපය, ඇමරිකාව සහ කැනඩාව යන රටවල වෛරසයේ බලපෑම සැලකිල්ලට ගෙන අපගේ ප්‍රේෂණ හෙවත් විදේශ ශ්‍රමිකයන්ගෙන් උපයන විදේශ විනිමය දිගින් දිගටම පහත වැටෙනු ඇත. මෙම දාම ප්‍රතික්‍රියාව මිනිසුන්ට වාහන ලීසිං වාරික ගෙවීමට නොහැකි වීම හෝ බැංකු ණය වාරික ගෙවීම් පැහැර හැරීම දක්වාම පවතී. ආර්ථික වශයෙන් ආන්තික වූවන්ට විදුලිය හා ජල සැපයුම පවා අත් කරගත නොහැකි වනු ඇත.

විරැකියාව ඉහළ යනු ඇති අතර ගෙවීමට නොහැකිවීම හේතුවෙන් ණය පැහැරහැරීම් (Non-performing loans) ප්‍රමාණය වැඩි වනු ඇත. සංචාරක කර්මාන්තය තවදුරටත් බලපෑමට ලක්වනු ඇති අතර සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලුම සැපයුම් දාමයන් ඒ හා සමානවම පසුබෑමට ලක් වනු ඇත. රජයේ මැදිහත්වීම සලකා බැලීමේදී උද්ධමනය ඉහළ යනු ඇත. මෙම අර්බුදය තුළ අපගේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය කලමනාකරණය කරන්නේ කෙසේද යන්න සහ වියදම් අධික රාජ්‍ය අංශය පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව බරපතල ප්‍රශ්න වලට ශ්‍රී ලංකා රජය මුහුණ දෙනු ඇත. යථා තත්ත්වයට පත්වීමට මාස හයත් අටත් අතර කාලයක් ගතවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ආර්ථිකයන් තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නොමැති බව අප අමතක නොකල යුතුය.

මිල පාලනය විසඳුමක් නොවේ

පසුගිය අඟහරුවාදා (17) රාත්‍රියේ ජනාධිපතිවරයා ආර්ථිකය පිළිබඳ යම් සහන ක්‍රියාමාර්ගයන් සහ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා කල්තියා ගත යුතු ආරක්ෂක පියවර ප්‍රකාශයට පත් කළේය. පිටතින් රට තුළට ඇතුළු වන මගීන්ගේ නිරෝධායන ක්‍රියාවලියට රජය විසින් පහසුකම් සැපයීම ප්‍රශංසනීය ය. කෙසේ වෙතත්, මුහුණු ආවරණ, පරිප්පු සහ ටින් මාළු සඳහා මිල පාලනයක් පැනවීම දුප්පතුන්ට උපකාරී නොවනු ඇත. මෙය පවතින තොග ඉක්මනින් අවසන් වීමට හේතු වනු ඇත.

කිසිම වෙළෙන්දෙකු නියම පිරිවැයට වඩා අඩු මිලකට කිසිදු භාණ්ඩයක් විකිණීමට කැමති නැත. මාර්තු පළමු සතියේ මයිසූර් පරිප්පු වල මිල පරාසය රු. 124 සිට 200 ක් දක්වා  වූ  අතර ග්‍රෑම් 450 මාළු ටින් එකක මිල රු. 220 ත් 300 ත් අතර විය. එබැවින් පරිප්පු සහ ටින් මාළු පිළිවෙලින් රු. 65 සහ රු. 100 ක් ලෙස පාලනය කල මිලකට අලෙවි කිරීම අපහසු වේ. මෙහි ප්‍රතිඵලය වනුයේ විකුණුම්කරුවන් නීතිමය ප්‍රතිවිපාකයන් වළක්වා ගැනීම සඳහා මේවා විකිණීම නැවැත්වීම විය හැකි අතර එයින් මිළදී ගැනීමට කිසිත් නැතිවී වෙළඳපොල විකෘති වීමෙන් දුප්පතුන්ට මෙන්ම ධනවතුන්ට ද දැඩි බලපෑමක් ඇති වනු ඇත. එසේත් නැතිනම්  රජයේ අරමුණ පරාජය කරමින් විකුණුම්කරුවන් විසින් වැඩි මිලට විකිණීම දිගටම කරගෙන යනු ඇත. 

මුහුණු ආවරණ මත පනවා ඇති පාලනයන් සම්බන්ධයෙන් ද එවැනිම තත්වයක් ඇති වූ අතර මේවා දැනටමත් ඖෂද වෙළඳසැල් වල නොමැත. මෙම ක්‍රියාමාර්ගයන් වෙනුවට රජයට කල හැකිව තිබුණේ ටින් මාළු සහ මයිසූර් පරිප්පු යන දෙකෙහිම ආනයන තීරුබදු අඩු කිරීමයි. ප්‍රමාදව වුවද මුහුණු ආවරණ සඳහා මෙසේ ආනයන තීරුබදු අඩු කරන ලද අතර එමඟින් මිල ප්‍රතිලාභ පාරිභෝගිකයාට හිමි වන අතර සහ සැපයුම ද සහතික කෙරේ. සියලුම ආනයනික ටින් මාළු සඳහා අප දළ වශයෙන් 35% ක තීරුබදු ගාස්තුවක් ගෙවන බව ඔබට විශ්වාස කල හැකිද?

අපගේ ව්‍යවහාර මුදලෙහි අගය ආරක්ෂා කිරීම සඳහා මෝටර් වාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා ලබා දී ඇති පහසුකම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බ්‍රහස්පතින්දා නියෝග කරන ලදි. මෙය යළිත් දුප්පතුන්ට සහ අවශ්‍යතා ඇති අයට බලපානු ඇත. මෙම යුගයේදී ඉහළ ආදායම් ලබන අය පමණක් නොව ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින්ද තම ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා වාහන භාවිතා කරයි. ඔවුන්ගේ සේවකයින්ට මෙන්ම ඔවුන්ටද මෙය අහිතකර ලෙස බලපානු ඇත. SUV රථ භාවිත කරන අය කළමනාකරණය කරගනු ඇත.

ගෝලීය සහයෝගීතාව සඳහා කාලය මෙය වේ

අඛණ්ඩව ඇසෙන හා ව්‍යාකූල ප්‍රවෘත්ති එකට එකතු වී රටවල් වශයෙන් අප හුදෙකලා විය යුතු යැයි යන හැඟීම ඇති කරවයි. කෙසේ වෙතත්, මෙය ගෝලීය ප්‍රජාවක් ලෙස අප සැවොම එක්විය යුතු කාලයකි. මෙම ආර්ථික බලපෑම මඟහරවා ගැනීම සඳහා, අප හට මෙම වසංගතයෙන් මිදීමට සහ අනාගත අභියෝග වළක්වා ගැනීම සඳහා තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ලෝකයේ අනෙකුත් පිරිස් ද අවශ්‍ය වේ. අපගේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝකයේ වෙනත් ප්‍රදේශවල සිටින අපගේ සැපයුම්කරුවන් යථා තත්ත්වයට පත්වීම අපට අවශ්‍ය වේ. යුරෝපීය හා ඇමරිකානු වෙළඳපල තුළ වේගයෙන් ගමන් කිරීම සඳහා අපගේ නිෂ්පාදන වඩා හොඳ වීමට අපට මිලදී ගැනීමේ ශක්තිය අවශ්‍ය වේ. අපට වඩා වැඩි ධාරිතාවක් ඇති විද්‍යාඥයින් විසින් කොවිඩ් -19 සඳහා එන්නතක් සොයා ගැනීමෙන් පසු, එය අපගේ ජනතාව සඳහා මිලදී ගැනීමට සහ ගනුදෙනු කිරීමට අපට හැකි විය යුතුය. හුදකලා වීමෙන් අපට සියලු අභියෝගයන්ට මුහුණ දිය නොහැකි බවට මෙම වසංගතය හොඳ මතක් කිරීමකි. නිදහසේ වැදගත්කම සහ අපගේ නිදහස වගකීමෙන් යුතුව භාවිත කිරීම පිළිබඳව අපට දැන් මතක් කර දී ඇත.

කොවිඩ් -19 සමඟ සටන් කිරීමේදී චීනය ඉතාලියට හා එක්සත් ජනපදයට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළේය. රෝමානු කවියෙකු වන ඇනියෝ සෙනෙකාගේ උපුටා දැක්වීමක් එම සැපයුම් අතරට ඇතුළත් වූ බව කියැවේ: “අපි එකම මුහුදේ රැළි වෙමු.”

ඒ හා සමානව, ජපානය චීනයට වෛද්‍ය සැපයුම් කිහිපයක් පරිත්‍යාග කල අතර, පහත දැක්වෙන චීන කාව්‍යය ඒ මත ලියා ඇති බව වාර්තා විය: “අපට වෙනස් වූ කඳු සහ ගංගාවන් ඇත, නමුත් අපි එකම හිරු, සඳු හා අහස බෙදා ගනිමු.”

අප සියලු දෙනාම එකම මුහුදේ රැළි බවත්, අප සියලු දෙනාම එකම හිරු, සඳු හා අහස බෙදා ගන්නා බවත් මතක් කර දීමට මෙම කෝවිඩ් -19 වසංගතයට ඉඩ දෙමු.

ද මෝනිං හි මුලින් පළ වන ලද්දකි The Morning


ස්වයං පෝෂිත වීම සඳහා අහාර සුරක්ෂිතතාවය කැපකිරීම

මෙම ලිපිය පෙර පලවුනු “Sacrificing food security for self-sufficiencyහි පරිවර්තනයකි.

ධනනාත් ප්‍රනාන්දු විසිනි

ශ්‍රී ලංකාව “ස්වයංපෝෂිතභාවය” යන මිථ්‍යාව සැක්ෂාත් කර ගැනීමට කීප විටක් උත්සහ ගෙන ඇත. මෙයට ආසන්නම උදාහරණය වනුයේ, පාලකයන් හැර සෙසු ජනතාව සාගින්නේ තැබූ 70 දශකයේ මැද භාගයේ සිදු වූ දැවැන්ත වැඩපිළිවෙලයි. නමුත් නැවතත්  “ස්වයංපෝෂිතභාවය” යන මිථ්‍යාව මත පදනම් වූ සමාජයක්  පිළිබඳ කතිකාව නැවතත් ආරම්භ වී තිබේ. “ස්වයංපෝෂිතභාවය” යන යෙදුමේ විවිධ අර්ථයන් ඇත. ඉන් එකක් නම් ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පවා  නොතිබූ, කිසිදු වෙළඳාමකින් නොකල යුගයකට යළිත් වරක් ගමන් කලයුතු යැයි සිතන්නන්ගේ  සැතුවිලියි. මෙහිදී, කිසිවෙකුටත් තමන් වවාගන්නා දෙයින් යැපෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැත. මේ හැරුණුකොට තවත් විකල්ප තර්කයන් පවතියි - එනම් ආහාර සුරක්‍ෂිතතාවය සහතික කිරීම සඳහා රටක්  ස්වයංපෝෂිත වීම අවශ්‍ය යැයි ගෙනෙන තර්කය වේ; ආහාර වලින් ස්වයංපෝෂිත වන අතර ඉන්ධන, ගල් අඟුරු, ඖෂධ, අමුද්‍රව්‍ය සහ රජය විසින් නියම කර ඇති වෙනත් “අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය” ආනයනය කිරීම මෙයින් අදහස් කෙරේ. එමෙන්ම අපගේ වෙළඳ හිඟය සීමා ඉක්මවා ගොස් ඇතැයිද, එබැවින් අපගේ අපනයන ධාරිතාවයේ ප්‍රමාණයට අප ස්වයංපෝෂිත විය යුතු බව විශ්වාස කරන පිරිසක්ද වේ. සියලු තර්ක අතරින්, ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ කාරණය වඩාත් ජනප්‍රිය වේ. එබැවින් ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ දත්ත සහ නිර්වචන සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට සැබවින්ම “ස්වයංපෝෂිත” විය හැකිද යන්න ඇගයීමට ලක් කරමු.

ආහාර සුරක්ෂිතතාවය යනු කුමක්ද?

බොහෝ දෙනා විශ්වාස කරන පරිදි “ආහාර සුරක්ෂිතතාවය” යනු අර්බුදයකදී පරිභෝජනයට ප්‍රමාණවත් තරම් ආහාර රට තුල තිබීමයි. අර්බුදයකට හොඳම උදාහරණයක් නම් අප මුහුණදී සිටින COVID-19 ව්‍යසනයයි. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ තවත් පොදු මිත්‍යා මතයක් නම් මාස හයක් සඳහා ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් ගබඩා තුල තිබිය යුතු බව සහ පුරවැසියන්ට අවශ්‍ය කැලරි ප්‍රමාණය (calorie intake) රට තුළම නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පැවතීමයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර සමුළුව විසින් ආහාර සුරක්ෂිතතාවය මෙසේ නිර්වචනය කර ඇත; “ක්‍රියාශීලී හා සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍ය ආහාර අවශ්‍යතාවයන් සහ ආහාර අභිරුචීන් (Food preferences) සපුරාලිය හැකි පරිදි ප්‍රමාණවත්, සුරක්ෂිත හා පෝෂ්‍යදායී ආහාර සඳහා සියලු ජනතාවට සෑම කල්හිම භෞතික හා ආර්ථික ප්‍රවේශය ඇති විට ආහාර සුරක්ෂිතතාවය පවතී.”

බහුතරයගේ විශ්වාසය කුමක් වුවද, ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට නම්, යම් රටක් සිය ආහාර අවශ්‍යතාවය රට තුළම නිෂ්පාදනය කරගත යුතු නොවේ. ඇත්තටම අවශ්‍ය වන්නේ ආහාර නිසි පරිමාණයෙන් හා අපේක්ෂිත ගුණාත්මකභාවයෙන් යුතුව පිරිමැසුම්දායී ලෙස නිෂ්පාදනය කිරීමයි. එසේ නොමැතිනම් අප අපේ වටිනා මෙන්ම සීමා සහිත වන සම්පත් අපතේ යවනු ඇත. උදාහරණයක් ලෙස, වර්ග කි.මී. 65,610 ක් වන ශ්‍රී ලංකාවට සාපේක්ෂව වර්ග කි.මී. 725.7 ක් පමණක් ඇති සිංගප්පූරුව දෙස බලමු. වාණිජමය කෘෂිකර්මාන්තය නොමැතිව වුවද දෙවන වසරටත් සිංගප්පූරුව ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයේ ඉහලින්ම සිටීමට සමත් වී ඇත. මීට හේතුව වී ඇත්තේ සිංගප්පූරුව ගෝලීය ආහාර සැපයුම් දාමයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ වී, සිය පුරවැසියන්ට බාහිර ව්‍යසනයකදී යැපීමට ප්‍රමාණවත් තරම් ගබඩා පහසුකම් දියුණු කර තිබීමයි.  FAO විසින් නිර්වචනය කර ඇති පරිදි සුරක්ෂිත මෙන්ම ප්‍රමාණවත් ලෙස සහ පාරිභෝගිකයාගේ අභිරුචිය අනුව සිංගප්පූරු වැසියන්ට ආහාර පරිභෝජනය කළ හැකි බැවින්, මෙය සැබවින්ම විශිෂ්ට තත්වයක් වේ. ඒ හා සැසඳීමේදී ශ්‍රී ලංකාව එම දර්ශකයේම 66 වන තැනට පත්ව තිබේ. ශ්‍රී ලාංකික පුරවැසියන් හට සෑම කල්හිම භෞතික හා ආර්ථික වශයෙන් ආහාර ලැබීමට අවස්ථාව ඇති බවට අප තහවුරු කරගන්නේ කෙසේද? FAO හි නිර්වචනයට අනුව, මෙම COVID-19 වසංගතයෙන් පැහැදිලි වන්නේ අප සතුව ආහාර තිබුනද මෙම ආහාර සඳහා රටෙහි ජනතාවට භෞතික සහ ආර්ථික ප්‍රවේශය නොමැතිකම හේතුවෙන්, රටක් වශයෙන් අපගේ ආහාර සුරක්ෂිතතාවය බිඳ වැටී ඇති බවයි. ජනතාවගේ දෛනික වැටුප් ලැබීමට බාධා වීම හේතුවෙන් ආහාර සඳහා ආර්ථිකමය හා භෞතිකමය ප්‍රවේශය අහිමිවීම, බෙදාහැරීමේ ගැටළු හා ආහාර අභිරුචීන් නොමැතිකම මීට හේතු විය. බණ්ඩාරනායක රජය විසින් අනුගමනය කරන ලද අසාර්ථක සමාජවාදී අත්හදා බැලීම තුලින්ද ඉහත කී කිසිවක් ළඟා කර ගැනීමට අසමත් විය. ආහාර ප්‍රමාණවත් නොවූ අතර තෝරා ගැනීම සිහිනයක් පමණක් විය. එමෙන්ම තිබුණු ආහාර වල ගුණාත්මකභාවයක් ද නොතිබුනි. පුරවැසියෙකු නියම කරන ලද සලාකයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් සමඟ හසු වීම සාහසික අපරාධයක් සේ සළකන ලද අතර ඔහු හෝ ඇය වහාම සිරගත කරනු ලැබීය. පිටි වල ගුල්ලන් සිටි අතර සහ සහල් වල ගල් බොහෝ ප්‍රමාණයක් විය. ඇඳුම් වලින් භූමිතෙල් වල සුවඳ හැමූ අතර, මෙම ඇඳුම් ඇඳ දර ලිප් භාවිත කිරීමේදී ඉතාම ප්‍රවේසම් විය යුතු විය. ඉතා පහළ ගුණාත්මකභාවයකින් යුත් පාන් සඳහා ලෝකයේ වූ දිගම පෝලිම් වල අපට ඉන්නට සිදුවූ අතර එහිදීද, ඔබගේ පවුලේ ප්‍රමාණය කුමක් වුවද ලබාගත හැකි වූයේ එක් පාන් රාත්තලක් පමණි. නගරබද ප්‍රජාවගේ (එනම් බහුතරය ආහාර මිළදී ගැනීම සඳහා මුදල් තිබූ පිරිස) ආහාර සුරක්ෂිතතාවය බිඳ වැටුනේ ආහාර වෙත භෞතික ප්‍රවේශය සහ ආහාර අභිරුචීන් නොමැතිවීම හේතුවෙන් වූ අතර ගම්බද සහ වතු ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාවය බිඳවැටුනේ ආදායම නොමැතිකමින් මෙන්ම ආහාර අභිරුචීන් නොමැතිවීමද හේතුවෙනි. ඔවුන්ට සිදුවූයේ ඔවුන්ගේ ගෙවතු වල වැවුනු හෝ ඔවුනට කැලෑවෙන් සොයාගත හැකි වූ කිසිවක් ආහාරයට ගැනීමටය. එබැවින් ස්වයංපෝෂිත වීමට උත්සාහ ගැනීමෙන් පමණක් ආහාර සුරක්ෂිත තාවය ළඟා කර ගත නොහැකි අතර, ඒ සඳහා ප්‍රවේශය, මිළදී ගැනීමේ හැකියාව, ආරක්ෂාව, අභිරුචීන් සහ පෝෂණ වටිනාකම වැනි සාධක ගණනාවක් බලපාන බව පැහැදිලි වේ. FAO ට අනුව, දෛනික සාමාන්‍ය ඒක පුද්ගල ආහාර අවශ්‍යතාවය කිලෝ කැලරි 1,680 ක් වන අතර ශ්‍රී ලංකාවේ සාමාන්‍යය අගය මෙම සීමාවට වඩා කිලෝ කැලරි 500 ක් පමණ වැඩිවේ. කෙසේ  නමුත් සංගණන සහ සංඛ්‍යා ලේඛන දත්තයන් අනුව, ශ්‍රී ලාංකික දුගී ප්‍රජාවගේ ආහාර පරිභෝජනය ලෝක සම්මත මට්ටමට වඩා පහළ පවතියි. එසේ හෙයින්, අප දීර්ඝකාලීනව ආහාර සුරක්ෂිතතාවය ලබා ගැනීමට නම් ජනතාවට සුරක්ෂිත මෙන්ම පෝෂ්‍යදායී ආහාර මිළදී ගැනීමට හැකි බව තහවුරු කරගත යුතු අතර ආහාර සඳහා ප්‍රවේශය පවත්වා ගනිමින්, ස්වයංපෝෂිත වීමේ මිත්‍යාවෙන් මිදී, තෝරාගැනීම සඳහා ජනතාවගේ අභිරුචීන්ට අවස්ථාව ලැබෙන බව තහවුරු කරගත යුතුය. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, ගෝලීය ආහාර සැපයුම් දාමයන්ට සුරක්ෂිත ප්‍රවේශයක් නිර්මාණය කිරීම තුලින් අපගේ ජනතාවට සමබර ආහාර වේලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය විවිධ වූ ආහාර වර්ග ලබා ගත හැකි වනු ඇත. මේ අනුව යමෙකුට නැගෙන මීළඟ ප්‍රශ්නය නම් අප මෙයින් අදහස් කරන්නේ අප අපගේ සියලු ආහාර ආනයනය කල යුතුද යන්න සහ එසේ අවශ්‍ය සියල්ල ආනයනය කිරීමට තරම් විදේශ විනිමය ප්‍රමාණයක් අප සතුව තිබේද යන්නයි.

අඩු කෘෂිකාර්මික ඵලදායීතාවය 

පෙර සඳහන් ප්‍රශ්න දෙකටම පිළිතුරු සැපයීමට නම් අපගේ කෘෂිකර්මාන්තයේ (අංශයේ) ඵලදායිතාවය අඩු මන්දැයි සොයා බැලිය යුතුය. බොහෝ විට අපට පවසන්නේ,  අපගේ ගොවීන් වෙත තාක්ෂණය ළඟා නොවීම මේට හේතුව  ලෙසය.   එහෙත් ගොවීන් වෙත තාක්ෂණය ළඟා නොවන්නේ මන්ද යන්න පිළිබඳ අප සිතා තිබේද? ශ්‍රී ලංකාවේ භූමි හෙක්ටයාර මිලියන 6.5 න් හෙක්ටයාර මිලියන 5.4 ක් රජය සතු වේ. ප්‍රතිශතයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික ඉඩම් පවතින්නේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 18%ක් පමණි. වැඩි අස්වැන්නක් ලබාදෙන වී වගාකිරීමට අවශ්‍ය නම් ගොවීන් විසින් රජයෙන් බලපත්‍රයක් ලබාගත යුතුවේ. බොහෝ ගොවීන්ට තමා වගා කරන ඉඩම් සඳහා ඔප්පු ලබා දී නොමැති බැවින් බැංකු ණය ලබාගැනීම දුෂ්කර වී ඇත.  කුඹුරු ඉඩම්වල කිසිදු ඉදිකිරීමක් ද සිදු කළ නොහැක. පවතින නියාමන තන්ත්‍රය යටතේ කිසිදු ආයෝජකයෙකු හරිතාගාර සහිත  ගොවිපළක් හෝ අධි තාක්ෂණික ගොවිපළක් සඳහා ආයෝජනය කිරීමට නොපෙළඹේ. මීට අමතරව, බොහෝ කුඹුරු ඉඩම් කොටස් කර ඇති බැවින් විශාල පරිමාණයේ කෘෂි ව්‍යාපාර ඇති කිරීමට හැකි අවස්ථාව සීමා සහිත වේ. මේ හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පවතියි. මෙයින් අදහස් වන්නේ, අප අපගේ ගෙවතු වල වගා කරමින් ස්වංපෝෂිත වීමට නැවත උත්සාහ කළද, අපට වගා කිරීමට, නිවාස තැනීමට සහ අනෙකුත් සියලුම කර්මාන්ත කටයුතු පවත්වාගෙන යාමට ඇත්තේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක කොටසක් පමණක් බවයි. එමෙන්ම මෙයින් අදහස් වන තවත් දෙයක් නම් අපගේ ශ්‍රම බලකායෙන් 25% ක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලුණද අපගේ දළ දේශීය නිෂ්පාදනයට ඉන් ලැබෙන දායකත්වය 7-8% පමණක් වන බැවින්, අපගේ ඉඩම් බොහෝමයක් ඵලදායී ලෙස භාවිතා නොවන බවයි. 

ආහාර ආනයනය සහ වෙළඳ හිඟය

අප සතුව කෙතෙක් උත්සහ ගත්තද, අපට අවශ්‍ය සියල්ල අපටම  නිෂ්පාදනය කර ගත නොහැකි වේ. උදාහරණ ලෙස ඉන්ධන සහ යන්ත්‍රෝපකරණ දැක්විය හැකිය. අපගේ වෙළඳ හිඟය අවම කර ගැනීමට හැකි ඒකම ක්‍රමය වන්නේ අපගේ අපනයන සංවර්ධනය කිරීමයි. අපනයන හා ආනයන එකම කාසියේ දෙපැත්ත වේ. අපට නිෂ්පාදනය කරගත නොහැකි හෝ නිෂ්පාදනය කිරීමෙන් තරඟකාරී වාසියක් අත් කරගත නොහැකි නිෂ්පාදන අප ආනයනය කරමු. අපට තරඟකාරී වාසියක් ලබා ගත හැකි වෙළඳ ද්‍රව්‍ය සහ සේවාවන් අප අපනයනය කරමු. පහත සඳහන් වන්නේ FAO වෙතින් උපුටාගන්නා ලද්දක්  වන අතර එහි සාරාංශය වන්නේ ආහාර සුරක්ෂිතතාවය ළඟා කරගත හැක්කේ ගෝලීය සහයෝගීත්වයෙන් පමණක් වන බවයි. “ගෝලීය ආහාර වෙළඳාම දිගටම පවත්වා ගත යුතුවේ. මිනිසුන් විසින් ආහාරයට ගන්නා කැලරි පහකින් සෑම එකක්ම අවම වශයෙන් එක් අන්තර්ජාතික සීමාවක් වත් පසු කර ඇති අතර මෙම තත්වය මීට වසර 40කට පෙර පැවති අගයෙන් 50%ක වැඩිවීමකි.” එමනිසා, අපනයන වර්ධනය කිරීමට අපගේ ඇති නොහැකියාව සහ ඒ සඳහා වූ අපගේ සාම්ප්‍රදායික උදාසීන වූ ප්‍රවේශය නිසා අපේ ජනතාවගේ සැබෑ හා අර්ථවත් ආහාර සුරක්ෂිතතාවය කැප නොකල යුතුය. 

ප්‍රකාශිත අදහස් කතුවරයාගේ අදහස් වේ. ඔවුන් ඇඩ්වකාටා ආයතනයේ හෝ ආයතනයට අනුබද්ධිත කිසිවෙකුගේ අදහස් අත්‍යාවශ්‍යයෙන්ම පිළිබිඹු නොකරනු ඇත.

ද මෝනිං හි මුලින් පළ වන ලද්දකි The Morning


අපේ දේශසීමා අතර බදු පැනවීමෙන් ඇතිවන ප්‍රශ්ණය මොකක්ද?

මෙම ලිපිය පෙර පලවුනු "Trouble at our borders" හි පරිවර්තනයකි.

එරන්දි ද සිල්වා විසිනි

ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කාලයක සිට පැවත එන “දේශසීමා ගාස්තු” ක්‍රමය සාමාන්‍ය ජනතාවට නොතේරෙන හතර අතේ පැටලුනු නූල් බෝලයක් වගෙයි. දේශසීමා ගාස්තුවක් යනු අපගේ සියලු ආනයන වලට යටත් වන සාමාන්‍ය රේගු බද්ද මත අය කරනු ලබන තීරුබදු වර්ගයකි. මෙරට ආනයනයන්ගෙන් බොහොමයකට සාමාන්‍ය රේගු බද්ද පමණක් නොව වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද, “සෙස්-CESS” (අපනයන සංවර්ධන මණ්ඩල බද්ද) සහ VAT බදු (අගය එකතු කළ බද්ද) ද විඳදරා ගැනීමට සිදුවීම පුදුම සහගත ය.

අපගේ වර්තමාන තීරුබදු ක්‍රමයේ බලපෑම්

මෙම බදු පනවා ඇත්තේ රජයට ආදායම් ලබා ගැනීමේ අරමුණින් සහ ආරක්ෂක ගාස්තු වශයෙනුත්, විශේෂිත දේශීය ව්‍යාපාර ආරක්ෂා කිරීම සහ ආනයන අඩු කිරීම සඳහාත් ය. කෙසේ වෙතත්, තිත්ත ඇත්ත නම්, මේ හරහා දේශීය ජනතාවට ලබා ගත හැකි ආනයනික භාණ්ඩවලට ඇදහිය නොහැකි තරම් අධික මිලක් එක්වීමයි. ඉන් ජාත්‍යන්තර වෙළඳාමට ද වැටකඩුළු බැ‍ඳෙයි. රේගු තීරුබදු දැනටමත් 30% ක් වුවද, දේශසීමා ගාස්තු එක්වූ පසු, බොහෝ භාණ්ඩ සඳහා (ආහාරවල සිට පුද්ගලික භාණ්ඩ දක්වා) වන මුළු බද්ද 50% සිට 100% දක්වා ඉහළ යා හැකිය. මෙය අපට පරිභෝජනය කිරීමට අවශ්‍ය නිෂ්පාදන තෝරා ගැනීමේ හැකියාව දැඩි ලෙස සීමා කරන අතර බොහෝ දෙනෙක්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා මිලදී ගැනීමට ඇති හැකියාව ද නැති කර දමයි.

තවත් මූලික කාරණයක් වන්නේ දේශසීමා ගාස්තු පුළුල් කිරීමේ ක්‍රියාවලියේදී සාමාන්‍ය ජනතාවට විනිවිදභාවයක් නොදැක්වීම යි. මෙම බදු වල සංකීර්ණත්වය සහ අපගේ භාණ්ඩවල පිරිවැය කෙරෙහි ඒවා දක්වන බලපෑම පිළිබඳව බොහෝ දෙනා නොදැන සිටියත්, වර්තමාන ක්‍රමය මඟින් තීරුබදු පිළිබඳව අවබෝධයක් ලබාගැනීම ද අතිශය වෙහෙසකර හා ව්‍යාකූල වී තිබේ. එනම්, කිසියම් භාණ්ඩයකට බදු පැනවෙන්නේ කෙසේදැයි අවබෝධ කරගැනීම ලේසි පහසු වැඩක් නොවේ! සරලව කීවොත් ලංකාවේ බදු පැනවෙන ආකාරය තේරැම් ගැනීම කරන්න අමාරු දේකට වඩා තේරුම් ගැනීමට නොහැකි දෙයක් බවට පත් කර තිබේ.. 

එපමණක් ද නොව, මෙම ‘අන්තෝ ජටා - බහි ජටා’ ආකාරයේ පද්ධතිය කෙතරම් පැටලුම් සහගත ද යත්, දේශීය ආනයනකරුවන්ට තම ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ කර්මාන්තය ගොඩ නගා ගැනීමට අවශ්‍ය උපකරණ ගෙන ඒමේදී ද නොසිතූ විරූ පරිදි සුවිසල් බදු පැනවීම් සිදු වේ. ඉන් ඔවුන්ගේ වියදම් ඉහළ යන අතර, ආනයනික අමුද්‍රව්‍ය මත යැපෙන ව්‍යාපාරවලට දියුණු වීමට ඇති අවස්ථාව ද අහිමි වී යයි. ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් 2019 දී කරන ලද අධ්‍යයනයකින් මෙය අවධාරණය කර ඇති අතර, දේශීය අපනයනකරුවන්ට ආනයනික යෙදවුම් සඳහා තරඟකාරී මිල ගණන් නොලැබීම ප්‍රධාන අභියෝගයක්ව ඇති බව එය වාර්තා කරයි.

ආනයන මත යැපෙන්නේ නැති දේශීය නිෂ්පාදකයින්ට මේ හරහා විදේශීය තරඟය නැතිව යයි. එසේ වුවත්, ඔවුන්ගේ නිෂ්පාදන වැඩි දියුණු කිරීමට සහ ඒවායේ මිල අඩු කිරීමටවත් කිසිදු දිරිගැන්වීමක් නොමැත. ඔවුන්ට ආනයනික නිෂ්පාදන පරිද්දෙන්ම දේශීය නිෂ්පාදනවලත් මිල රිසිසේ ඉහළ දැමිය හැකිය. මින් සිදු වන්නේ අපේ නිෂ්පාදන ජාත්‍යන්තර වශයෙන් තරගකාරී මට්ටමකට නොයා, හුදෙක් අනවශ්‍ය ලෙස මිල ඉහළ යාම ම පමණි. එසේම තම අසාධාරණ ලාභය ආරක්ෂා කර දීමට රජය කටයුතු කරතැයි ඔවුන් බලාපොරොත්තු වෙයි. කෙටියෙන් කිවහොත් මේ පද්ධතිය ඵලදායී බවින් තොර එකකි. ඉන් සිදුවන්නේ ආනයනික භාණ්ඩ මිලදී ගත නොහැකි මට්ටමට පත්වීම සහ දේශීය ව්‍යාපාර රැසකට හිස එසවීමට ඇති හැකියාව අහෝසි කිරීමකි.

සුබදායී ප්‍රතිසංස්කරණ සඳහා මාර්ගෝපදේශ

රජයට ශ්‍රී ලංකා ජනතාවගේ ජීවිත සුපසන් කිරීමට ඇත්තටම අවශ්‍ය නම් කළ යුත්තේ, පාරිභෝගිකයාට තෝරා ගැනීමට ඇති භාණ්ඩ මාදිලි ප්‍රමාණය වැඩි කිරීමත්, දේශීය ව්‍යාපාර නගා සිටුවීමත් ය. මෙය විසඳීමට ගත හැකි හොඳම, සහ ඵලදායී පියවර වන්නේ නිදහස් වෙළඳාමක් ඇති කරලීමයි. වත්මන් සංකීර්ණ පද්ධතිය ඒකාකාර ගාස්තු අනුපාතයකින් ප්‍රතිස්ථාපනය කිරීම එහි පළමු පියවර වනු ඇත.

ඉහත විස්තර කර ඇති කරුණු සැලකිල්ලට ගත් විට, අපගේ වර්තමාන සංකීර්ණ දේශසීමා ගාස්තු ක්‍රමය රටේ ආර්ථික අවශ්‍යතාවන්ට හා අනාගත වර්ධනයට අහිතකර බව පැහැදිලිය. මෙය වෙනස් කළ යුතු කාලය දැන් පැමිණ තිබෙන අතර, යම් තරමකට රජය ද එම තීරණයට එළඹෙමින් සිටියි. ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ එහි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුව යටතේ “දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ සඳහා වන ආනයන බදු අඩු කිරීම” යන්න ඇතුළත් තිබේ. සැබෑ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තීරුබදු ප්‍රතිසංස්කරණ වඩාත් පුළුල් විය යුතු අතර මෙය එහි එක් අංගයක් සේ දැක්විය හැකිය.

දේශීය නිෂ්පාදකයන්ට රැකවරණය සලසන ‘ආරක්ෂණවාදයේ’ සිට ‘ලිහිල් වෙළඳ ක්‍රමයක්’ වෙත පිය මං කරමින් සිටින චිලී රාජ්‍යය දේශසීමා ගාස්තු අඩු කිරීම තුළින් දැවැන්ත සංවර්ධනයක් අත්විඳ තිබේ. දේශසීමා ගාස්තු ක්‍රමය සරල කිරීම සඳහා වූ මෙම ප්‍රතිසංස්කරණ මඟින් දේශීය සම්පත් ඵලදායීව බෙදීයෑමෙන් ඇතැම් කර්මාන්ත සහ දේශීය නිෂ්පාදකයන්ට විශේෂ කොට සැලකීම වැළකිණි. එමඟින් වෙළඳපළ වඩාත් තරගකාරී ලෙස පරිණාමය වූ අතර දේශීය ව්‍යාපාරවලට අවශ්‍ය ආනයනික භාණ්ඩ / අමුද්‍රව්‍ය ලබා ගැනීම පහසු විය. මෙය අපනයන අංශයේ වර්ධනය වේගවත් කිරීමට උපකාරී වූ අතර 1990 සිට 2003 දක්වා මුළු අපනයන පරිමාව 8.1% ක වාර්ෂික අනුපාතයකින් ඉහළ ගියේ ය. මුල් කාලීන ගාස්තු අනුපාතය සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතිය ද, ඒකීය අනුපාතයක් ක්‍රියාත්මක කිරීම ධනාත්මක ප්‍රතිඵල සමග නිදහස් වෙළඳ ආර්ථිකය දිරි ගැන්වීය. ඒකීය ගාස්තු අනුපාතය 2003 වර්ෂය දක්වා කාලයත් සමඟ ක්‍රමයෙන් අඩු වූ අතර, දැන් චිලී රාජ්‍යය 6% ක් තරම් අඩු ඒකීය ගාස්තු අනුපාතයක් සහ ඊට සම්බන්ධ රටවල් සඳහා වන තීරුබදු මුළුමනින්ම ඉවත් කරන නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) යටතේ කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ තත්වය ඊට සමාන නොවූවත්, ගාස්තු ක්‍රමය සරල කිරීම තුළින් එය අවබෝධ කරගැනීමේ පහසුව, විනිවිදභාවය වැඩිවීම, වෙළඳාමට පැනවෙන බාධක අවම වීම යනාදිය හරහා ආර්ථික වර්ධනයට නිදහස හිමි වනු ඇත. එය මේ ගමනෙහි අන්තය නොවූවත්, රජයට එම ගාස්තු සාපේක්ෂව ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය නම්, දේශසීමා ගාස්තු ක්‍රමය ඉවත් කර, සියලු දේශීය කර්මාන්ත සඳහා එකම මට්ටමේ ආරක්ෂාවක් ඇතුළත් තනි, ඒකීය අනුපාතයක් පැනවිය හැකිය.

අවම වශයෙන්, එම පද්ධතිය සරල කිරීමෙන් සහ නිෂ්පාදන තීරුබදුවල අපැහැදිලිතාවන් ඉවත් කිරීමෙන් වඩාත් හොඳ ආනයන වෙළඳාමකට දොරටු විවෘත වෙයි. චිලී රාජ්‍යයේ සිදු කරන ලද මෙම ප්‍රතිසංස්කරණ මෙන් අපේ රටේ දේශීය සමාගම් සඳහා ද ආනයනික යෙදවුම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීමෙන් දේශීය ව්‍යාපාර සහ අපනයන අංශය වැඩිදියුණු කළ හැකි වනු ඇත. කෙසේවෙතත්, දිගු කාලීනව බදු අනුපාතය තවදුරටත් ඇදහිය නොහැකි තරම් ඉහළ මට්ටමක පවතී නම්, ඒකීය ගාස්තු ක්‍රමයක් බිහි නොවනු ඇත. එවිට ශ්‍රී ලංකාවට සමස්ත තීරුබදු අනුපාතය ක්‍රමයෙන් අඩු කිරීමටත්, වඩාත් පැහැදිලිව වටහා ගත හැකි තීරුබදු පද්ධතියක ප්‍රතිලාභ ලබමින් වෙළඳ කටයුතු පහසු කිරීම සඳහා නව උපාය මාර්ගවල නිරත වීමටත් සිදුවනු ඇත.

රජය නිවැරදි ක්‍රියාමාර්ග ගන්නේ නම්, මෙය වඩාත් ක්‍රියාකාරී හා ඵලදායී තීරුබදු ක්‍රමයක් සඳහා වූ ස්වර්ණමය මාවතක ආරම්භය විය හැකිය. නමුත් ගැටළුව නම්, “ඒ වෙනුවෙන් කැප කිරීමක් කරන්නට අප සූදානම් ද?” යන්නයි.

මුල් වරට පළ කරන ලද්දේ: The Morning


කොවිඩ්-19 ප්‍රතිපත්ති සඳහා ප්‍රතිචාර: ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත සටහනක්

මෙම ප්‍රතිපත්ති සටහන 2020 අප්රේල් මසදී ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලද අතර සිංහල පරිවර්තනයේදී සමහර තොරතුරු තවදුරත් යාවත්කාලීන කර ඇත

කොවිඩ්-19 ප්‍රතිපත්ති සඳහා ප්‍රතිචාර

ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත සටහනක්

මෙය ලියන අවස්ථාව වන විට කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව පුරා 76,023,488 කට වඩා පිරිසක් රෝගී වී ඇති අතර 1,694,128 කට අධික පිරිසක් මරණයට පත්ව තිබේ.1 මානව වර්ගයා මින් පෙර කිසි දිනෙක අත් නොවිඳි ගෝලීය අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. එවන් තත්වයක් යටතේ සෞඛ්‍ය අංශය, ආරක්ෂක හා හදිසි සේවා සේවකයින් දක්වන අප්‍රතිහත කැපවීම වෙනුවෙන් ප්‍රශංසාව හා කෘතඥතාව හිමි විය යුතුය.

මෙවැනි අර්බුදකාරී තත්වයකදී මිනිස් ජීවිත ආරක්ෂා කිරීම පළමු ප්‍රමුඛතාව වන අතර, එය දැනටමත් රට තුළ ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් පිළිබිඹු වේ. පාසල් සහ සේවා ස්ථාන වසා දමා තිබූ අතර දිවයින පුරා ඇඳිරි නීතිය පනවා, ප්‍රදේශ හුදෙකලා කිරීමත් සමඟ ආර්ථික කටයුතු අඩාල වී තිබුණි. විශේෂයෙන් මෙරට ජනගහනයෙන් 30% කට2 ආසන්න ප්‍රමාණයක් සිටින, සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 38% ක් පමණ දරන බස්නාහිර පළාත තුළ කොවිඩ්-19 වසංගතය පැතිරීමේ ඉහළ අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශ වෙත අඛණ්ඩ ඇඳිරි නීතිය පණවාතිබුණි3​. ආර්ථික බාධක සේ ම මිනිස් ජීවිත ද ක්‍රමයෙන් වසංගතය තුළ ගිලී යන ආකාරය දිවයින පුරාම දකින්නට ලැබෙමින් පවතියි. මෙහිදී මහජන සෞඛ්‍යය පිළිබඳව මූලික වශයෙන් සැලකිලිමත් විය යුතු අතර, ආර්ථික පීඩනය ද ඒ හා සමාන අවුල් සහගත තත්වයක් ඇති කරමින් පවතියි.

මෙම සටනේ පෙරමුණ ගෙන සිටින අයට ඒ සම්බන්ධ පූර්ණ අවබෝධය ඇති බව අපි දනිමු. එහෙත් අතීතයේ සිදුව ඇති ප්‍රතිපත්ති සම්පාදනයන් දෙස බලන විට දිගුකාලීන ගැටළු බිහි විය හැකි බවට අනුමාන කළ හැකිය.

ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය සමඟ පොරබදන බැවින් අනාගතය සම්බන්ධ දුෂ්කර තීරණ ගන්නා ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත අපි පහත සඳහන් දෑ ඉදිරිපත් කරන්නෙමු.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ දළ විශ්ලේෂණයක්

ශ්‍රී ලංකාවට කොවිඩ්-19 අර්බුදයට මුහුණ දීමට සිදු‍වූයේ දුර්වල ආර්ථික තත්ත්වයන් සමඟ ය. 2019 දී අපගේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2.6% ක්4 (2020 පළමු කාර්තුවේදී සෘණ 1.6% ක් ලෙසද දෙවන කාර්තුවේදී සෘණ 16.3% ලෙසද ආර්ථිකය හැකිලී තිබේ) වූ අතර සංචාරක කර්මාන්තය වැනි වැදගත් අංශ තවමත් පාස්කු ප්‍රහාරයේ බලපෑම් වලින් යථා තත්ත්වයට පත්වෙමින් සිටියි. කෙටිකාලීන වියදම් වැඩිවීම හේතුවෙන් දිගු කාලීනව හා මධ්‍ය කාලීනව ආර්ථික අස්ථාවරත්වයන් සහ රටට අහිතකර ලෙස බලපාන ආර්ථික අසමතුලිතතාවයන් ඇති වෙමින් පවතී. 2018 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම සැලකිය යුතු ලෙස අඩු විය. සංචාරක කර්මාන්තයේ මෑත අනාගතය යහපත් නොවන අතර 2019 වසරේ ආදායම 10% කින් පහත වැටුණි.5​

සමස්තයක් වශයෙන් මෙරට අපනයන ආදායම ද ආර්ථිකයට සහාය විය හැකි තරම් ඉහළ ගොස් නොමැත. එසේම, අපේ විදේශ විනිමය සංචිතය, ණයට ගත් අරමුදල්වලින් කොටසක් ද ඇතුළුව ඩොලර් බිලියන 7.0 ක් තරම් අඩු මට්ටමක පවතී.6​​ එවන් තත්වයක් යටතේ, 2020-2023 ඉදිරි සිව් වසර තුළ අපට ඇමරිකානු ඩොලර් බිලියන 16.0ක පමණ විශාල ණයක් ආපසු ගෙවීමට සිදුව තිබේ.7​

කොවිඩ්-19 ශ්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු ආර්ථික බලපෑමක් ඇති කරනු ඇති බවට මඳ වශයෙන් අනුමාන කළ හැකිය. වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථභාවය ඇතුළු ආරක්ෂණ පියවර නිසාත්, වැඩ කරන දින ප්‍රමාණය අඩුවීම නිසාත්, වෛද්‍ය හා සෞඛ්‍යමය වියදම් ඉහළ යාම නිසාත් නිෂ්පාදන ප්‍රතිදානය වෙත ඍජු බලපෑමක් එල්ල වේ. ආදායමට ක්ෂණික බලපෑමක් ඇතිවන අතර, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා භාවිතා කරන ප්‍රතිපත්ති නිසා මධ්‍යම හා දිගු කාලීන බලපෑම් ඇති විය හැකිය. ඇඟලුම් අංශය දෙස බලන විට කොවිඩ්-19 විසින් නිර්මාණය කරන ලද ආර්ථික පිරිවැය ක්‍රමයෙන් පිළිබිඹු වන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව, මෙරට මුළු ඇඟලුම් අපනයනයෙන් 42% ක්8 පමණ ඇ.ඩො. බිලියන 1.5 ක9 පාඩු වලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දළ දේශීය නිෂ්පාදිතයෙන්, දළ වශයෙන් 8% ක් වන අභ්‍යන්තර ප්‍රේෂණ ද පහත වැටෙනු10 ඇතැයි අපේක්ෂා කරන අතර රජයට එල්ල වන පීඩනය ද වැඩි වනු ඇත. එමඟින් භාණ්ඩ මිල ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

මෙය ජීවනෝපායන් කෙරෙහි ඇති කරන බලපෑම තක්සේරු කිරීම අසීරු නමුත් අපගේ ශ්‍රම බලකායෙන් 66% ක් පමණ වන පෞද්ගලික අංශයේ11 අය ඉන් දැඩි පීඩාවට පත්ව ඇති බව පැහැදිලි ය.  සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව මෙරට ශ්‍රම බලකාය මිලියන 8 ක් වන අතර, මිලියන 2.6 ක්12 කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන අංශවල ස්වයං ව්‍යවසායකයන් වේ. දැනට රට තුළ කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට අවසර ලබා දී තිබුණ ද, මිලියන 1.5 ක කෘෂිකාර්මික නොවන ස්වයං ව්‍යවසායකයන් මෙම හුදෙකලා කිරීම් හරහා දැඩි ලෙස පීඩාවට පත්වනු ඇත. සීමිත ආදයමක් හමුවේ සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම හා සේවකයන් ඉවත් කරලීම නිසා පුද්ගලික අංශයේ මිලියන 3.5 ක14 සේවකයන්ට දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දීමට සිදුවනු ඇත.

මෙම ආර්ථික කම්පනය ගෝලීය මූල්‍ය අර්බුදයේදී (2008-2012) අප මුහුණ දුන් තත්වයට වඩා භයානක ය. මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ගත් කල, කොවිඩ්-19 හි සෘජු බලපෑමට ලක් වූ රටවල් සංඛ්‍යාව බෙහෙවින් අඩු වූවත්, ශ්‍රී ලංකා ආර්ථිකයට එය ‘කොරේ පිටට මරේ’ වැනි විය. මෙරට ආර්ථිකය පාස්කු ඉරිදා බෝම්බවලට මුහුණ දී අපහසුවෙන් හිස ඔසවන්නට උත්සහ කරත්ම, කොවිඩ්-19න් බැට කෑවේය.

කෙටිකාලීන ගැටළු සඳහා, පවතින යාන්ත්‍රණ භාවිතා කරන්න
වෑන්ගාඩ් සමීක්ෂණ ආයතනය මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ජනගහනයෙන් අවම වශයෙන් හතරෙන් එකකට අවශ්‍ය ආහාර හෝ ඖෂධ ලබා ගැනීම දුෂ්කර වී ඇති බවයි.15​​ එසේම, ශ්‍රී ලංකාවේ සිටින විශාල වැඩිහිටි ජනගහනය නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගවලින් පීඩා විඳින්නෝ ය.

භාණ්ඩ බෙදා හැරීම සහ බෙදා හැරීම සඳහා රජයේ සතුව කේන්ද්‍රීය හා පාලිත ප්‍රවේශය නිසා පාරිභෝගිකයින්, වෙළඳුන් සහ නිෂ්පාදකයින් සැපයුම් දාමයේ සෑම අංශයකදී ම පීඩනයට පත් වෙයි.

වර්තමාන අර්බුදය සැලකිල්ලට ගත් කල සමාජයේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාවය හිමි විය යුතු වේ. එහෙත් ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ට ගනුදෙනු කිරීමට නිදහස ඇති විට ය. හුදෙකලා කිරීම සති ගණනාවක් සිදුවන විට අත්‍යාවශ්‍ය භාණ්ඩවලට වඩා අනෙකුත් අවශ්‍යතා වැඩි වශයෙන් ජනතාවට ඇති වේ. ආර්ථිකයේ ඇතැම් කොටස්වලට අවම අවදානමකින් ක්‍රියාත්මක වීමට සහ ජනතා දිරි දීමනා අඩු කිරීම නම්, අත්‍යවශ්‍ය සේවාවන් යන්නෙහි අර්ථ දැක්වීම පුළුල් කිරීම පිළිබඳව රජය සලකා බැලිය යුතුය.

මෙමඟින් නිවසේ සිට වැඩ කිරීමට හැකියාව ඇති අයට වැඩි ඵලදායිතාවයකින් යුතුව කටයුතු කිරීමට හැකි වන අතර ආර්ථිකය ක්‍රියාත්මක වීමට යම් ඉඩක් නිර්මාණය වේ. Delivery කරන අය ඇතුළු සැපයුම් දාම ක්‍රියාකාරීන්ට ඇඳිරි නීති කාලය තුළ කටයුතු කළ හැකි ආකාරයේ ස්ථාවර ප්‍රතිපත්තියක් සකස් කිරීම තුළින් පාරිභෝගිකයින් වෙත භාණ්ඩ සැපයීමට නිෂ්පාදකයින්ට ඇති පීඩනය ලිහිල් වෙයි. ඉන් පාරිභෝගිකයාට ද පහසුකම් සැලසෙයි.

පවත්නා යාන්ත්‍රණයන් හා වෙළඳපළවල් කොවිඩ්-19 අර්බුදයට පෙර පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට සමත් වී තිබේ. දැන් රජය කළ යුත්තේ රාජ්‍ය කේන්ද්‍රීය විසඳුම් වලින් ඒවා ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කිරීම නොව, වර්තමාන තත්වය යටතේ පවා ඒවායේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කිරීම ය.

ආර්ථිකය නැවත විවෘත කිරීම සඳහා මාර්ග සිතියමක්

කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා ග‍ොඩනගන ප්‍රතිපත්ති පිළිබඳව අදියර වශයෙන් සිතීම වැදගත් වේ. පළමු අදියරේදී ඇඳිරි නීතිය පණවා ජනගහනයෙන් වැඩි පිරිසකට ස්වයං නිරෝධායන ක්‍රමෝපායක් භාවිතා කරමින් වෛරසය පැතිරීම මන්දගාමී කළ හැකි වුවත්, ඇඳිරි නීතිය සැලකිය යුතු මානව හා ආර්ථික බලපෑමක් ඇති කරන බැවින් එය සදහටම පැණවිය නොහැකිය. එබැවින් ආර්ථිකය ක්‍රමයෙන් විවෘත කිරීමේ දෙවන අදියර වෙත ඉඩ සලසන උපාය මාර්ගයක් අනුව රජය කටයුතු කළ යුතු වේ. මෙම දෙවන අදියරේදී ද කොවිඩ්-19 අවම කිරීම සඳහා ආරක්ෂිත හා ඵලදායී ක්‍රමවේද බිහිවන තෙක්, භෞතික දුරස්ථභාවය සහ වෙනත් ආරක්ෂණ ක්‍රම භාවිතය අත්‍යාවශ්‍ය වේ.

කෙසේ නමුත්, මෙම හදිසි තත්වය නොගැලපෙන දිශානතියක් වෙත යොමු වී ඇති බව පෙනී යයි. රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ අසමානරූපීව යි. මෙම තාවකාලික ප්‍රතිපත්ති නිසා ආර්ථික සැලසුම් කිරීම් සංකීර්ණවී ඇති අතර, ජනතාවට මෙන්ම ලාංකික ආර්ථිකයට එහි අතුරු බලපෑම් ඇතිවිය හැකිය.

පරීක්ෂණ පුළුල් කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක්

කොවිඩ්-19 ට සාපේක්ෂව හොඳින් මුහුණ දී ඇති දකුණු කොරියාව වැනි රටවල “හඳුනා ගැනීම - පරීක්ෂණ කිරීම - පිළියම් යෙදීම” යන ක්‍රමය ඵලදායී බව තහවුරු වී ඇත. ප්‍රජාව අතර පැතිරීම හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ පුළුල් කිරීමට මාර්තු 31 වන දින රජය ගත් පියවර ප්‍රශංසනීය ය.

GMOA වැනි අනෙකුත් කණ්ඩායම් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද අවධාරණය කරන්නේ පුළුල් වශයෙන් පරීක්ෂණ සිදු කළ යුතු බව නමුත්, ස්වාධීන වෛද්‍ය වෘත්තිකයන් ප්‍රශ්න කරනු ලබන්නේ රජය සතුව දැනට පවතින පරීක්ෂණ ධාරිතාවය ප්‍රමාණවත්ද කියා යි. දැනට, වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නියම කර ඇති පරිදි පරීක්ෂණ17 මාර්ගෝපදේශ අනුව, කොවිඩ්-19 ආසාදිතයෙකුයැයි තහවුරු කරන ලද අයෙකු සමඟ සම්බන්ධතා පවත්වා ඇති හෝ පසුගිය දින 14 තුළ විදේශ ගතවී උග්‍ර ශ්වසන රෝගයකින් පෙළෙන පුද්ගලයින් වෙත පමණක් පරීක්ෂණ සිදු කෙරේ. එසේම, උග්‍ර නියුමෝනියාවෙන් පෙළෙන රෝගීන්  සහ අදාල රෝග ලක්ෂණ ඇති අයව වෛද්‍යවරයාට සුදුසු යැයි හැඟෙන්නේ නම් පමණක් පරීක්ෂාවට ලක් කළ හැකිය. පසුකාලීනව උණ සහ ශ්වසන අපහසුතා ඇති පුද්ගලයින් පරීක්ෂා කිරීම ද මෙම මාර්ගෝපදේශ වෙත ඇතුළත් කිරීම සඳහා අදාල අර්ථ දැක්වීම පුළුල් කරන ලද නමුත් සුළු රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් ද මෙම පරීක්ෂණ සඳහා බඳුන් කළ හැකි පරිද්දෙන් එම මාර්ගෝපදේශ පුළුල් කළ යුතුය.

රජයේ, විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන මෙන්ම පෞද්ගලික අංශය සහභාගී කරගෙන රටේ පරීක්ෂණ ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් පැහැදිලි හා ඉලක්කගත ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. රජයට ජාත්‍යන්තර සැපයුම් දාමයන් වල සහයෝගය ගැනීමට පුද්ගලික අංශය සමග කටයුතු කළ හැකි අතර, පරිත්‍යාගශීලීන් සමඟ ද සම්බන්ධ විය හැකිය.

මුහුණු ආවරණ පැලඳීම පිළිබඳ ප්‍රතිපත්තිය නැවත පරීක්ෂා කරන්න

කොවිඩ්-19 තත්වය තුළ ආසාදිතයන් ඉහළ යාම වැළැක්වීම උදෙසා අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් පිටතට යාම, පුද්ගල දුරස්ථභාවය සහ මුහුණු ආවරණ පැලඳීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල ස්ථාවරය වන්නේ, ඔබ වෛද්‍ය සේවකයෙකු නොවන්නේ නම් සහ ඔබ ආසාදිතයකු නොවන්නේ නම්, ඔබට මුහුණු ආවරණයක් පැළඳීම අවශ්‍ය නොවන බව ය. ගෝලීය මුහුණු ආවරණ හිඟයක් පවතින බැවින් ඊට අනුකූල වෙමින් ඔවුන් එසේ නිර්දේශ කර ඇති බව පැහැදිලිය.18​

ඉතා මෑතකදී, එක්සත් ජනපදය ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කළ අතර, ඔවුන්ගේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) මුහුණු ආවරණ භාවිතය නිර්දේශ කරමින් මෙසේ දක්වා තිබේ.

​“දැනට ලැබී ඇති පර්යේෂණ දත්ත දෙස බලද්දී, බොහෝ ආසාදිතයන්ට සෑම රෝග ලක්ෂණයක්ම පවතින්නේ නැහැ. තවත් අයට රෝග ලක්ෂණ නොමැතිවම රෝග වාහකයන් බවට පත් විය හැකියි. මෙයින් අදහස් වන්නේ ළඟ ගැවසෙන (කතා කිරීම, කැස්ස, හෝ කිවිසුම් මඟින්) පුද්ගලයින් සතුව රෝග ලක්ෂණ නොතිබුණත්, වෛරසය පැතිර යා හැකි බවයි. ඉතින් ප්‍රජාව අතර රෝගය පැතිරීම වළක්වන්නට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) නිර්දේශය වන්නේ, ප්‍රසිද්ධ ස්ථානවල (උදා: සිල්ලර කඩ, සහ ෆාමසි) ගැවසෙද්දී මුහුණු ආවරණ පැළඳ, සමාජ දුරස්ථභාවය ද පවත්වා ගත යුතු බවයි.”​19

පෙරමුණෙහි සිට කටයුතු කරන (සෞඛ්‍ය සේවා, ආරක්ෂක අංශ ආදී) පුද්ගලයින් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර, රෝගය පැතිරීම අඩු කිරීම සඳහා මුහුණු ආවරණ පැළඳිය යුතු බවට වන සාමාන්‍ය වෛද්‍ය මතය ද අප බැහැර නොකළ යුතුය. එනිසා පෙරමුණෙහි සිට කටයුතු කරන්නන්ට මුහුණු ආවරණ සැපයීම සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දිය යුතු වන්න‍ා සේ ම, සාමාන්‍ය ජනතාවට ද තමාට රෝග ලක්ෂණ නොතිබුණත් මුහුණු ආවරණ පැළඳිය යුතු බවට දැන්විය යුතුය.

එහිදී මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ රජයේ නිල ස්ථාවරය නැවත සලකා බැලීම සහ මුහුණු ආවරණ නිෂ්පාදනය වේගයෙන් ඉහළ නැංවීම සඳහා පෞද්ගලික අංශය සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ වීමත් අත්‍යවශ්‍ය වේ.

වෙළඳපොළට ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න

වසංගතය හේතුවෙන් ඇති විය හැකි පසුකාලීන බලපෑම් පිළිබඳව රජයේ මූලික අවධානය යොමු විය යුතුය. අවදානමට ලක් වූවන්ට ඇති වන ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා පියවර ගත යුතු අතර එවිට ඉදිරි මාස කිහිපය තුළ ආර්ථිකය යළි පණ ගැන්වීමට හැකි වනු ඇත.

කෙටිකාලීන ආර්ථික බලපෑමට විසඳුම් සෙවීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය වුවද, අද ගනු ලබන එම ක්‍රියාමාර්ග නිසා ඇතිවිය හැකි දිගු කාලීන ගැටලු ගැනත් සිතීම අත්‍යවශ්‍ය වේ.

මිල පාලනයන් ප්‍රතිසැකසුම සහ ඒවායේ මධ්‍යම හා දිගු කාලීන බලපෑම අවබෝධ කර ගැනීම

රජය දැනටමත් විවිධ භාණ්ඩ සඳහා මිල පාලනයන් පනවා තිබේ. Advocata ආයතනය කළ පර්යේෂණ හරහා හෙළිවූයේ, සාමාන්‍ය කාලවලදී පවා මෙම පාලනයන් බොහෝ දුරට දේශපාලන අතකොළු ලෙස පවතින බවත්, බොහෝ පාරිභෝගික භාණ්ඩ පාලිත අනුපාතයට වඩා වැඩි මිලකට අලෙවි වන බව රජය විසින්ම පළ කරන දත්ත පෙන්නුම් කරන බවත් ය. හුදෙකලා කිරීම් වලදී මෙම මිල පාලනයන් භාණ්ඩ සැපයුම වෙත උග්‍ර ගැටළු ඇති කරවයි. ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි, මිල යනු වටිනාකමක් පමණක් නොව, භාණ්ඩ සැපයුම පිළිබඳව ද ඉඟියකි. මිල අනුව භාණ්ඩ සැපයුම් හිඟතාවයන් සහ අතිරික්තයන් ගැන අවබෝධයක් ලද හැකිය. නිෂ්පාදකයකුට නිෂ්පාදනය තුළින් ලාභයක් ලැබිය නොහැකි නම් ඔවුන් එය නිෂ්පාදනය කිරීමට කරදර වන්නේ නැත. ඉතින්, මෙවන් හදිසි තත්වයක් උද්ගත වී ඇති සමයක භාණ්ඩ හිඟතාවන් ඇති වීම පුදුමයට කාරණයක් නොවේ!

ඉදිරි මාසවලදී, සැලකිය යුතු ආර්ථික පසුබෑමක් අපට දැකගත හැකිවනු අතර, එම කාලය තුළ තවදුරටත් මිල පාලනයන් හඳුන්වා දීමට රජය කටයුතු කරනු ඇත. ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා වේගවත්ම මාවත වන්නේ වෙළඳපළට ක්‍රියාත්මක වීමට ඉඩ දීමයි. එහිදී අනතුරුදායක ප්‍රදේශවල සිටින ජනතාවට අවස්ථාවන් නොලැබී ගිය ද වෙළඳපොළ ක්‍රියාත්මක වන අතරතුර රජයට කෙටි කාලීන ආරක්ෂණ පිළිවෙත් වෙත යොමු වීමට අවස්ථාව ලැබේ.

සැලසුම් කළ ආනයන සීමාවන්ගෙන් ඉවත්වීම

විනිමය අනුපාතය වෙත එල්ල වී ඇති පීඩනය ලිහිල් කිරීමට සහ දේශීය කෘෂිකර්මය ආරක්ෂා කිරීමට දරන උත්සාහයක් ලෙස රජය විසින් අත්‍යවශ්‍ය නොවන සියලුම ආනයන නතර කරන බව නිවේදනය කර තිබේ.20​​ මෙම ප්‍රකාශය මහ බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය විසින් සනාථ කර නොමැති අතර ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතතාවයක් ද ඇති කරවන්නකි. එහෙත් කෙටිකාලීන පියවරක් ලෙස, රුපියලෙහි අගය පවත්වා ගැනීමට ආනයනය නොකරන අයිතමයන්ගේ ලැයිස්තුවක් හඳුන්වා දුන්නාට කම් නැත.

එහෙත් දීර්ඝ කාලීන ආනයන සීමා කිරීම් සහ රජය විසින් ‘අත්‍යවශ්‍ය භාණඩ ලැයිස්තු’ නම් කිරීමෙන් පාරිභෝගිකයින්ගේ, නිෂ්පාදකයින්ගේ සහ අත්‍යවශ්‍ය සැපයුම් දාමයන්ගේ යහ පැවැත්මට අහිතකර බලපෑම් ඇති වේ. අපගේ කර්මාන්ත හා නිෂ්පාදන අපනයන අංශයේ පුනර්ජීවනය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට මුල් වනු ඇත. 201721 දී ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 46% ක් 

අතරමැදි භාණ්ඩ හා අමුද්‍රව්‍ය වන අතර දිගු කාලීන ආනයන සීමා කිරීම් මඟින් මෙම වසංගතය අවසන් වූ පසු දේශීය ව්‍යාපාරවලට පාඩු පියවා ගැනීමට ඇති හැකියාව අඩාල වනු ඇත. මෙමඟින් දේශීය නිෂ්පාදකයන් ආනයන සහනාධාර මත යැපෙමින් තරගකාරීත්වයෙන් මිදීමට පෙළඹේ.

නැවත හිස එසවීමට කටයුතු කරමු

විශ්වසනීය සාර්ව ආර්ථික වැඩසටහනක් මත පදනම්ව මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හොඳින් ක්‍රියාත්මක විය යුතුය. කොවිඩ්-19 හේතුවෙන් කෙටිකාලීනව එහි කාර්යක්ෂමතාව අඩු වුණත්, වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට එය රජයට පහසුවක් වනු ඇත.

ශ්‍රී ලංකා රජයේ මූල්‍ය තත්වය එතරම් යහපත් එකක් නොවේ. කොවිඩ්-19 අර්බුදය නිසා රජයේ වියදම් විශාල ලෙස ඉහළ යනු ඇති අතර, සාමාන්‍ය වාර්ෂික වියදම්වලටත් රජයේ ආදායම ප්‍රමාණවත් නොවනු ඇත. රජය විසින් යහපත් ආර්ථිකයක් ඇති කිරීමේ අරමුණින් නව බදු කප්පාදුවක් හඳුන්වා දුන්න ද එය ද දැඩි සේ ඍණාත්මක බලපෑම් ඇති කර තිබේ. එමඟින් ඉදිරි මාස කිහිපය තුළ ව්‍යාපාර කාර්යසාධනය දුර්වල වන බව නම් නොරහසකි.

හදිසි කටයුතු සම්බන්ධ වියදම් මඳකට අමතක කළත්, රජයට දැනට ලබා ගෙන ඇති ණය ආපසු ගෙවීමට පැහැර හැරිය නොහැකිය. 2020 වසර සඳහා ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවීය. මේ සමග එල්ලවන පීඩනයෙන් මිදීමට ජනාධිපතිතුමා ජාත්‍යන්තර ආධාර දෙන ආයතනවලින් කොවිඩ්-19 සඳහා ණය සහන ඉල්ලා තිබේ.22​

මෙරට ආර්ථික ක්‍රමයේ හැම විටම සිදු වන්නේ යහපත් ප්‍රතිසංස්කරණ තීරණයක් යැයි කියමින් IMF වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් බාහිර අරමුදල් ලබා ගැනීමයි. ඉන්පසු ආසියානු සංවර්ධන බැංකුව සමඟ එම ණය බෙදා හැරීම වේගවත් කරතැයි බලා සිටියි. එලෙස අපට ඇ.ඩො. මිලියන 128.6ක23 ලෝක බැංකු ව්‍යාපෘතිය පිහිටට පැමිණෙන අතර, එය ලබා ගැනුමත් සමග ලංකාවට IMF සමග ස්ථාවර සබඳතාවක් පවත්වා ගන්නටත් හැකි වෙයි. භාණ්ඩාගාරය දැඩි පීඩනයකට ලක්ව ඇති මෙවන් අවස්ථාවක අරමුදල් ලබා ගන්නට හැකි මාර්ගයක් වශයෙනුත්, මෙරට මූල්‍ය විනය ඇති කිරීමටත් එවන් IMF වැඩසටහන් උපකාර වේ. සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ සමස්ත අරමුණ විය යුත්තේ ගෙවුම් ශේෂයෙහි උද්ධමනය සහ ජංගම ගිණුම් හිඟය තිරසාරව තබා ගැනීම වන අතර, එවිට අදාල අංශවල ප්‍රතිසංස්කරණයන් කිරීමට අවශ්‍ය පසුබිම ද නිර්මාණය වෙයි. ඒ යටතේ භාණ්ඩ හා සේවා නිදහසේ හුවමාරු කර ගැනීම සහතික කිරීම සඳහා වන වෙළඳ ප්‍රතිසංස්කරණ, සහ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමට සහ නැවත ආරම්භ කිරීමට දේශීය නියාමන ප්‍රතිසංස්කරණ වෙත වැඩි අවධානයක් යොමු කළ යුතුය.

මේ සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඉතා වැදගත්ය. ස්වාධීන මනසක් ඇති එම විශේෂඥයන් සමඟ පැහැදිලි, ස්ථාවර සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන් මහ බැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට උපදේශන ලබා ගන්නට හැකි වේ. ඒ හරහා රජයට ලෝකය තුළ විශ්වාසයක් ගොඩනගා ගනිමින්, ශ්‍රී ලංකාව තුළ ඵලදායී ආර්ථිකයක් ස්ථාපිත කිරීමට හැකි වනු ඇත.

රටවල් සංසන්දනය (2020.04.07 දින වන විට)

Screenshot (340).png



සටහන්

  1. World Health Organization,​Coronavirus (COVID-19)​,April 7, 2020, https://who​.sprinklr.com/​,(Accessed April 07, 2020).

  2. Government of Sri Lanka, Ministry of National Policies and Economic Affairs, Department of Census and Statistics, Censusof Population and Housing Sri Lanka 2012​,2012, http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/Pages/Activities/Reports/SriLanka.pdf​,(Accessed April 07, 2020).

  3. Government of Sri Lanka, Ministry of Finance and Mass Media, Central Bank of Sri Lanka, Press​ release​,September 25, 2019, https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_images/press_20190925_Provincial_Gross_Domesti c_Product_-_2018_e.pdf​,(Accessed April 07, 2020).

  4. Central Bank of Sri Lanka, “GDP Growth,” CentralBank of Sri Lanka​, https://www.cbsl.gov.lk/en/economic-and-statistical-charts/gdp-growth-chart,​(Accessed April 07, 2020).

  5. EconomyNext, “Sri Lanka tourist earnings down 10-pct in Nov 2019,” EconomyNext​​,December 14, 2019, https://economynext​.com/sri-lanka-tourist-earnings-down-10-pct-in-nov-2019-35822/​,(Accessed April 07, 2020).

  6. EconomyNext, “Sri Lanka ends 2019 with US$7.6bn in forex reserves,” EconomyNext​​,January 12, 2020, https://economynext.com/sri-lanka-ends-2019-with-us7-6bn-in-forex-reserves-39859/,​(Accessed April 07, 2020).

  7. Government of Sri Lanka, Ministry of Finance,​Budget Speech 2018, http://www.treasury.gov.lk/documents/10181/470884/budgetspeech2018E.pdf/9a9b081b-a709-418f-88 ee-64f397db6ab4,​(Accessed April 07, 2020).

  8. Verité Research Institute, “COVID-19: Insights and Information,” VeritéResearch​, https://www.veriteresearch.org/insight/covid19-sri-lanka/,​(Accessed April 07, 2020).

  9. Mahadiya Hamza, “Sri Lanka apparel industry to lose US$1.5bn as Coronavirus cripple buyers,” EconomyNext​,March 31, 2020, https://economynext.com/sri-lanka-apparel-industry-to-lose-us1-5bn-as-coronavirus-cripple-buyers-63205 /​,(Accessed April 07, 2020).

  10. Daily Mirror, “Workers’ remittances to feel coronavirus pinch,” DailyMirror​,March 12, 2020,​http://www.dailymirror.lk/business-news/Workers-remittances-to-feel-coronavirus-pinch/273-18473 1,​(Accessed April 07, 2020).

  11. Ramani Gunatilaka, InformalEmployment in Sri Lanka: Nature, Probability of Employment, and Determinants of Wages​,(New Delhi: ILO Publications, 2008), page 3, https://www.ilo.org/wcmsp5/groups/public/---asia/---ro-bangkok/---sro-new_delhi/documents/publicatio n/wcms_123348.pdf​,(Accessed April 07, 2020).

  12. Government of Sri Lanka, Ministry of National Policies and Economic Affairs, Department of Census and Statistics, QuarterlyReport Of The Sri Lanka Labour Force Survey: Third Quarter​,2019, page 3, http://www.statistics.gov.lk/samplesurvey/2019Q3report.pdf,​(Accessed April 07, 2020).

  13. Government of Sri Lanka, Ministry of National Policies and Economic Affairs, Department of Census and Statistics, QuarterlyReport Of The Sri Lanka Labour Force Survey: Third Quarter​,2019, page 3, http://www.statistics.gov.lk/samplesurvey/2019Q3report.pdf,​(Accessed April 07, 2020).

  14. Government of Sri Lanka, Ministry of National Policies and Economic Affairs, Department of Census and Statistics, QuarterlyReport Of The Sri Lanka Labour Force Survey: Third Quarter​,2019, page 3, http://www.statistics.gov.lk/samplesurvey/2019Q3report.pdf,​(Accessed April 07, 2020).

  15. EconomyNext, “63% Sri Lankans don’t think COVID-19 will spread into their area: Vanguard survey,” EconomyNext, April 4, 2020, https://economynext.com/63-sri-lankans-dont-think-covid-19-will-spread-into-their-area-vanguard-survey-63890/,​(Accessed April 07, 2020).

  16. EconomyNext, “Sri Lanka to begin sample Covid-19 testing to check community transmission of Coronavirus,” EconomyNext​​,March 31, 2020, https://economynext.com/sri-lanka-to-begin-sample-covid-19-testing-to-check-community-transmission-of-coronavirus-63134/​,(Accessed April 07, 2020).

  17. Government of Sri Lanka, Ministry of Health, ProvisionalClinical Practice Guidelines on COVID-19 suspected and confirmed patients, March2020, http://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/covid-19%20cpg%20_%20version%204. pdf​,(Accessed April 07, 2020).

  18. World Health Organization, WHODirector General’s opening remarks at the media briefing on Covid-19​, April 6, 2020, https://www.who.int/dg/speeches/detail/who-director-general-s-opening-remarks-at-the-media-briefing-o n-covid-19---6-april-2020​,(Accessed April 07, 2020).

  19. Center for Disease Control and Prevention, “Recommendation Regarding the Use of Cloth Face Coverings, Especially in Areas of Significant Community-Based Transmission,”​Centers for Disease Control and Prevention​,April 3 2020, https://www.cdc.gov/coronavirus/2019-ncov/prevent-getting-sick/cloth-face-cover.html​,(Accessed April 07, 2020).

  20. EconomyNext, “Sri Lanka to control imports except oil and medicines, grow vegetables”, EconomyNext​,April 2, 2020, https://economynext.com/sri-lanka-to-control-imports-except-oil-and-medicines-grow-vegetables-ministe r-63544/,​(Accessed April 07, 2020).

  21. World Bank, “Sri Lanka Intermediate goods Imports By Region 2017,” WorldIntegrated Trade Solution​, https://wits.worldbank.org/CountryProfile/en/Country/LKA/Year/2017/TradeFlow/Import/Partner/by-regi on/Product/UNCTAD-SoP2,​(Accessed April 07, 2020).

  22. EconomyNext, “Sri Lanka asks for international debt relief on Coronavirus hit”, EconomyNext​​,March 25, 2020, https://economynext.com/sri-lanka-asks-for-international-debt-relief-on-coronavirus-hit-61984/,​ (Accessed April 07, 2020).

  23. World Bank Press release, “World Bank fast tracks $128 Million Covid-19 support for Sri Lanka, April 2, 2020, https://www.worldbank.org/en/news/press-release/2020/04/01/world-bank-fast-track-support-covid19-c orona​,(Accessed April 07, 2020).

බදු සහ අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳ නීතිය / බදු සහ බදු වල අවුල්

මෙම ලිපිය පෙර පලවුනු "Tariffs and the Law of Unintended Consequences” හි පරිවර්තනයකි.

අනීතා වරුසවිතාරන විසිනි

Covid -19 තත්වයත් සමගම සෑම රටකම රජයන්  ඉතා ඉක්මනින්ම  ජනතාවට බලපාන තීන්දු තීරණ ගන්නා බව පෙනෙන්නට තිබේ. එම බොහෝ තීරණ ජනතාවට  යහපතක්  සිදුකරන චේතනාවෙන් ඉටු කරත් ප්‍රතිපත්ති   සම්පාදන‍ය  පිළිබඳ ඇති අවබෝධය අඩුවීම නිසා  ජනතාවට යහපතක් ඉටු කරන බලා බලාපොරොත්තුවෙන් ගන්නා බොහෝ තීරණ  එම ජනතාව අපහසුතාවයට පත් කරන අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇතිකරන තීරණ බවට පත්වේ.  මේ ලිපියෙන් ඉතිහාසය පුරා එලෙස සිදු වූ අවස්ථා ගැන සාකච්ඡා  කිරීමට බලාපොරොත්තු වේ. 


අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳ නීතිය ඇඩම් ස්මිත්ගේ කාලය තරම් දුර අතීතයකට හිමිකම් කියන්නකි. ඒ නමුත් මෙම සංකල්පය ජනගත කරනු ලැබුවේ සමාජවිද්‍යාඥ රොබට්. කේ. මර්ටන් විසිනි. මෙම නීතියෙන් කියා පාන සරල යථාර්ථය වන්නේ රජයක් කිසියම් ප්‍රතිඵල දාමයක් බලාපොරොත්තුවෙන් ක්‍රියාත්මක වුවත්, (අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී) ඇතිවන වෙළඳපළ සමතුලිතය ළඟා කර ගත නොහැකිවාක් මෙන්, මෙම අවස්ථාවේදීද අනපේක්ෂිත ප්‍රතිවිපාක ලැබෙන බවයි.

යටත් විජිත ඉන්දියාව සහ නාගයෝ

බ්‍රිතාන්‍ය ජාතිකයන් මුල්වරට ඉන්දියාව යටත් කර ගත් කාලය තරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම නීතිය ‘Cobra Effect’ යනුවෙන්ද හැඳින්වේ. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවේ සිටි විෂඝෝර සර්පයන් පිළිබඳවත්, ඒ අතරින් නාගයන් කිසියම් දෝමනස්සයකට හේතුවක් බවත් දැන සිටියෝය. ඊට පිළියමක් ලෙස නාගයෙක් මරා ගෙනෙන ඕනෑම කෙනෙකුට ත්‍යාගයක් ලබා දීමට ඔවුහු ක්‍රියා කළහ. මෙමඟින් ඔවුහු දුටු තැන නාගයන් මරා දැමීමට ස්වදේශිකයන් තුළ පෙළඹවීමක් ඇති කළෝය. මුල් කාලයේදී මෙය සාර්ථක විසඳුමක් වුවත්, පසුකාලීනව ව්‍යාපාරික චේතනාවෙන් යුත් ඉන්දියානුවන් ලාභදායී ව මුදල් ඉපයීම පිණිසම නාගයන් බෝ කරනු දක්නට ලැබුණි. මේ බව හෙළිදරව් වීමත් සමඟම ඒ වෙනුවෙන් ත්‍යාග පිරිනැමීම නවතනු ලැබිණි. නාගයන් ඇති කිරීමෙන් තවදුරටත් වාසියක් නොමැති බව වටහා ගත් පිරිස් ඔවුන් බෝ කළ නාගයන් මුදා හැරියහ. අවසානයේදී සිදු වූයේ ඉතාමත් අනපේක්ෂිත ලෙස නයි ප්‍රමාණය පෙරටත් වඩා ඉහළ යාමයි. එනම් ළඟා කර ගැනීමට අපේක්ෂා කළ අරමුණට හාත්පසින්ම වෙනස් ප්‍රතිවිපාකයක් අවසානයේදී අත් විය.

මෙම සිදුවීම රසවත් කතන්දරයක් නිර්මාණය කළත්, අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳ නීතිය මඟින් හෙළිදරව් කෙරෙන ආර්ථික යථාර්තයන් බොහෝ විට ඉතාමත් භයානක ගණයේ ඒවාය.  වෙළඳපළට ඉදිරිපත් කරන නවෝත්පාදනයන් ඉතා හොඳින් සැලසුම් කර අපේක්ෂා කරන ප්‍රතිවිපාක සම්පූර්ණයෙන්ම කණපිට ගැසිමේ හැකියාවක් පවතී. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය වන්නේ බදු සම්බන්ධයෙනි. මෑතකදී ෆෝර්බ්ස් සඟරාව විසින් ඇමරිකා එක්සත් ජනපදයේ රෙදි සෝදන යන්ත්‍රවලට අදාළ බදු ඉහළ නැංවීම තුළින් ඇති වූ අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳ දීර්ඝ විස්තර දැක්වීමක් සිදු කර තිබුණි. මෙම බදු පැනවීමේ අරමුණ වී තිබුණේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීමත් එම කර්මාන්තය තුළ රැකියා අවස්ථා ඉහළ නැංවීමත් ය. එකී කරුණු දෙක සැලකිල්ලට ගනිමින් යමෙක් මෙම බද්දේ ඵලදායිතාවය තක්සේරු කරනු ලැබුවේ නම් සරලවම මෙම බද්ද ඉතාමත් සාර්ථක වූවකි. ඇමරිකා එක්සත් ජනපදයේ රෙදි සේදුම් සහ වියළුම් කර්මාන්තය තුළ නව රැකියා අවස්ථා 1800ක් පමණ නිර්මාණය වී තිබුණි. එම කෝණයෙන් බලන කල මෙය සාර්ථක කතාවක් ලෙස ලියා දැක්විය හැකිය.

රෙදි සෝදන යන්ත්‍රවලට බලපෑ “The Cobra effect”

කෙසේවෙතත්, මෙහිදී සැලකිල්ලට ගෙන තිබුණේ නිෂ්පාදකයා සම්බන්ධයෙන් පමණි.  පාරිභෝගිකයා පිළිබඳ අවදානයක් යොමු නොකෙරුණි. පළමු අනපේක්ෂිත ප්‍රතිවිපාකය වූයේ, දේශීය නිෂ්පාදකයන්ට විකුණුම් පිළිබඳ කිසිදු බියක් හෝ සැකයකින් තොරව සිය රෙදි සේදුම් යන්ත්‍රවල මිල ඉහළ දැමීමට හැකිවන පරිදි ආනයනය කරනු ලබන රෙදි සේදුම් යන්ත්‍රවල මිල ගණන් ඉහළ මට්ටමක පැවතීමයි. දෙවැනි අනපේක්ෂිත ප්‍රතිවිපාකය වූයේ වියළුම් යන්ත්‍රද ඉතාමත් මිල අධික වීමයි.  ඇමරිකා එක්සත් ජනපදයේ රෙදි සේදුම් යන්ත්‍රයක් භාවිත කරන්නේ නම් ඒ සමඟම භාවිත කළ යුතු තවත් භාණ්ඩයක් (අනුපූරක භාණ්ඩයක්) වන වියළුම් යන්ත්‍ර නිෂ්පාදකයෝද උද්ගත වී තිබූ තත්ත්වය යටතේ ලාභය උපරිම කර ගැනීමේ අරමුණින් සිය නිෂ්පාදිතයන්හි මිල ඉහළ නැංවූහ. (මෙකී අනපේක්ෂිත ප්‍රතිවිපාකය ශ්‍රී ලංකාවට බල නොපන්නේ රෙදි වැල් බැඳීම හේතුවෙනි.)

ෆෝර්බ්ස් සඟරාව වාර්තා කරන ආකාරයට මේ තත්ත්වය යටතේ, ඇමරිකානු පාරිභෝගිකයන්ට ඇ.ඩො. බිලියන 1.5ක වියදමක් දැරීමට සිදුව තිබේ. අලුතින් බිහිවූ රැකියා 1800 නිසා යම් කෙනෙකුට මෙම ඉහළ නැංවූ මිල ගණන් යටතේ පාරිභෝගිකයාට දරන්නට සිදු වන වියදම සාධාරණීකරණය කළ හැකිය. යථාර්තය වන්නේ බිහිවූ සෑම රැකියා අවස්ථාවක්ම ඉහළ ගිය පාරිභෝගික වියදමින් ඇ. ඩො. 815,000 කට සමාන වීමය. මෙකී බදු ප්‍රතිපත්තිය තමන්ගේම පාරිභෝගිකයන්ගේ වියදමින් සිය දේශීය වෙළඳපළ ඵලදායීව ආරක්ෂා කරනු ලබයි.

ශ්‍රී ලාංකිකයන් ඇමරිකා එක්සත් ජනපදයේ රෙදි සේදුම් යන්ත්‍රවල මිල ගණන් පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ඉහත සිද්ධිය අධ්‍යයනය කිරීම මඟින් අවාසනාවන්ත අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳවත්, දේශීය පාරිභෝගිකයන්ට මුහුණ පෑමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳවත් දැනුවත්භාවයක් ලැබුණත්, සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව ඒ පිළිබඳ වද විය යුත්තේ ඇයි? කෙසේ වෙතත් අප සතුව හිරු එළිය, සබන් සහ රෙදි වැල් තිබේ. ශ්‍රී ලාංකිකයන් ඈත රටක හටගත් මෙකී අනපේක්ෂිත ප්‍රතිවිපාක පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ මෑතක පටන් ඒවා මේ කුඩා දිවයින තුළද සිදු වන බැවිනි. කාලාන්තරයක් පුරාවට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම පාහේ සුලබම මෙවලම වී ඇත්තේ බදු පැනවීමයි. බදු යන වචනය සුන්දර එකක් වන්නේ එය කිසියම් ලේඛනයක දකින තුරාවටය. එය මැතිවරණ ප්‍රකාශනයක් තුළදී නම් තවදුරටත් මනබඳිනා සුළුය. “අපි අපේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරන්නෙමු.” පාඨය බොහෝමයක් ඡන්ද දායකයන්ගේ හදවත් තුළ රැව් පිළිරැව් දෙන්නකි. “ දේශීය පාරිභෝගිකයන්ගේ වියදමින් එසේ කරන්නෙමු” යන ඌණපූරණ වාක්‍යය එහි සඳහන් නොවනමුත්, සඳහන් කළ යුතුම වාක්‍යයකි.

ගෙදර දොර භාණ්ඩ, පෞද්ගලික පරිහරණය සඳහා වන භාණ්ඩ සහ ආහාර සඳහා බදු පනවනු ලැබේ. පාසල් පාවහන්වල සිට ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල දක්වා වන විවිධ මට්ටමේ භාණ්ඩල මිල වෙනස්කම් බදු පැනවීම නිසා සිදුවේ. සියලුම රටවැසියන් ඉහළ යන ජීවන වියදම පිළිබඳවත් ඊට හේතුවන ප්‍රධාන සාධකයන් වන බදු පැනවීම පිළිබඳවත් මැසිවිලි නඟති. අවාසනාවකට මෙලෙස බදු පැනවීම මඟින් ඇමරිකානු පාරිභෝගිකයන්ට සේම අපටත් අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදුවේ. සතිපතා කරන මිලදී ගැනුම් සඳහා දෙල්කඳ පොළට, ළඟම සුපිරි වෙළඳසැලට හෝ හන්දියේ කඩයට යනෙන සියලු දෙනා මෙකී බදු බලපෑමට ලක් වේ. දේශීයව නිපදවන තක්කාලි වුවත් එය අලෙවි කළ යුතු මිලට වඩා ඉහළ මිලකට අලෙවි වේ. ඒ මන්ද යත් ආනයනය කරන තක්කාලිවල මිල ඉහළ දැමීමත් සමඟ පාරිභෝගිකයන් අහිමි වනු නොදී මිල ගණන් ඉහළ නැංවීමට දේශීය නිෂ්පාදකයාට සිදුවන බැවිනි.

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන බදු අනුපාත 45% සිට 107.6% දක්වා විහිදේ. අපේ ආර්ථිකය තුළ බදු ක්‍රියාකාරීත්වය- ඒවා පැනවීමේ මුලික හේතුව, බදු පැනවීමේ ප්‍රතිවිපාක (හොඳින් අවබෝධ කර ගෙන ඇති, නොසලකා හැරිය නොහැකි ඒවා) සහ ඒවා ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීමට සමත් කඩිනම් ආණ්ඩුවක් සම්බන්ධයෙන් තදබල තක්සේරුවක් යළිත් සිදු කළ යුතුය.

COVID 19 ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍යකරනය කෙරෙහි ඇති කල බලපෑම්

COVID 19 ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍යකරනය කෙරෙහි ඇති කල බලපෑම් ගැන දැනගන්න සම්පූර්ණ Impact of COVID-19 on Sri Lanka's Banking and Finance බලන්න. https://youtu.be/3xeos7cFiGM

Presentation එක download කරගන්න.






COVID 19 ශ්‍රී ලංකාවේ අපනයනය කෙරෙහි ඇති කල බලපෑම්

COVID 19 ශ්‍රී ලංකාවේ අපනයනය කෙරෙහි ඇති කල බලපෑම් ගැන දැනගන්න සම්පූර්ණ Impact of COVID-19 on Sri Lanka's Exports බලන්න. https://youtu.be/Uua8o4n7dAY

Presentation එක download කරගන්න. https://static1.squarespace.com/static/55697ab8e4b084f6ac0581ef/t/5fdc68466542785c7ec3baff/1608280168667/COVID19+Impact+on+Sri+Lanka%27s+Export+Presentation.pdf

The presentation by Dhananath can be found here.






ලංකාවේ සංචාරක ක්ශේත්‍රය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිකරන බලපෑම

ලංකාවේ සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිකරන බලපෑම ගැන දැන ගන්න. සම්පූර්ණ Impact of COVID-19 on Sri Lanka's Tourism Industry එක බලන්න. https://youtu.be/lmduI63aN-U Presentation එක download කරගන්න. https://static1.squarespace.com/static/55697ab8e4b084f6ac0581ef/t/5fce4052920f47545bc0000c/1607352454966/Impact+of+Covid+19+on+Sri+Lanka%27s+Tourism+sector+%28Presentation%29.pdf. මේ වීඩියෝ එකේ Impact of COVID-19 on Sri Lanka's Tourism Industry එක අපි publish කරේ April 2020.

The presentation by Dhananath can be found here.






ජීවන වියදම ඉහළ යාම කෙරෙහි බදු කෙතරම් බලපාන්නේද?

මෙම ලිපිය පෙර පලවුනු "How import taxes drive up the cost of living" හි පරිවර්තනයකි.

රවී රත්නසාබපති විසිනි

ජීවන වියදම ගැන නැවතත් කතාබහක් ඇතිවෙලා. ජීවන වියදම ගැන කතාබහ ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. කෝවිඩ් තත්වය හමුවේ දීත් ජීවන වියදම ගැන කතාබහ පෙරදා ටත් වඩා ජනතාවට සමීප මාතෘකාවක් බවට පත් වෙලා.බොහෝ අය ජීවන වියදම ඉහළ යාම Covid-19 තත්ත්වය නිසා ඇතිවූ බවට සිතුවත් පහතින් දක්වා තිබෙන්නේ 2017 පළවූ පුවතක්

ඉන්දියාව සහ චීනය වැනි දැවැන්තයින්ට ආර්ථිකය විවෘත කිරීමට පෙර කර්මාන්තයේ නියැලී සිටින දේශීය සමාගම් ආරක්ෂා කිරීම සඳහා ‘තහනම් කරන ලද නිෂ්පාදන ලැයිස්තුවක්’ හඳුන්වා දීම සඳහා රජයට මැදිහත්වන ලෙස ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) ඉල්ලා සිටියි. - ඩේලි එෆ්ටී, 2017 සැප්තැම්බර් 25

ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන සංසිද්ධියකට උදාහරණයකි - එනම් දේශීය කර්මාන්තයක් විසින් තමන් විදේශීය තරඟකාරිත්වයෙන් ආරක්ෂා කරදීම අපේක්ෂා කරන අවස්ථාවකි. මෙම ආරක්ෂාව සාමාන්‍යයෙන් ලබාදෙන්නේ තීරුබදු පැනවීමෙනි. එනම් දේශීය නිෂ්පාදනයට අය නොකරන, නමුත් ඒ හා සමාන ආනයනික නිෂ්පාදනයන් මත පැනවෙන බද්දකි. ඉහත අවස්ථාවෙහිදී, නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) අත්සන් කර තිබුනද, කර්මාන්තය විසින් දැනට භුක්ති විඳින තීරුබදු ආරක්ෂාව අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස LCMA විසින් රජයෙන් ඉල්ලා සිටී. (නිදහස් වෙළඳ ගිවිසුමක “තහනම් ලැයිස්තුවේ” ඇති අයිතමයක් නිදහස් වෙළඳ ගිවිසුමට යටත් නොවේ. ඒ අනුව වෙළඳ ගිවිසුම පැවතියද අදාල භාණ්ඩය ආනයනයේදී තීරුබදු අයකරයි). උදාහරණයක් ලෙස ආනයනික බිස්කට් සඳහා එහි මිලෙන් 107% ක් පමණ බදු අය කෙරෙන අතර බිස්කට් තහනම් ලැයිස්තුවේ තිබේ නම් නිදහස් වෙළඳ ගිවිසුම නොතකා මෙම බද්ද දිගටම පවතිනු ඇත.

තීරුබදු පැනවුවද, සාමාන්‍යයෙන් විදේශීය අපනයනකරුවන් විසින් සිය නිෂ්පාදිතය සඳහා අය කරන මිල අඩු නොකරති. එබැවින් ආනයනික නිෂ්පාදනයේ දේශීය මිලට තීරුබදු මිල ද අමතරව එකතු වේ.

මෙම ආනයනයන් සමඟ තරග කරන දේශීය නිෂ්පාදකයින් හට ආනයන බද්ද ගෙවීමට අවශ්‍ය නොවන බැවින් වඩා වාසියක් හිමිවේ. තීරුබදු පැනවූ පසු තරඟකාරී ආනයනික නිෂ්පාදන සඳහා පැවති මිලට වැඩි මිලක් දැන් නියමවන බැවිනි දේශීය නිෂ්පාදකයින්ට තමන්ගේම විකුණුම් මිල ඉහළ නැංවීමට මෙයින් අවස්ථාව ලැබේ.

දේශීය නිෂ්පාදකයා ඔහුගේ මිල ගණන් ඉහළ නංවයිද? ඔව්, නැතහොත් එහි කිසිදු ඵලයක් නොමැත. ආනයන සඳහා බදු අය නොකරන අවස්ථාවේ දී දේශීය නිෂ්පාදකයා විසින් පැනවූ මිලට සමානවම ආනයන සඳහා බදු අය කරන අවස්ථාවේදී ද දේශීය නිෂ්පාදකයා විසින් මිල නියම කරන්නේ නම් ආනයන වලින් තීරුබදු ආරක්ෂාවක් ලබා ගැනීමේ කිසිදු තේරුමක් නොමැත. තීරුබදු වල පරමාර්ථය වන්නේ දේශීය නිෂ්පාදකයාට තම නිෂ්පාදනය වැඩි මිලකට විකිණීමට හැකියාව ඇති කිරීමයි.එබැවින් තීරුබදු පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස දේශීය නිෂ්පාදකයාට වඩා හොඳ තත්වයක් උදා වේ.

පාරිභෝගිකයින්ට සිදුවන්නේ කුමක්ද?

තීරුබදු පැනවීමෙන් නිෂ්පාදනය භාවිත කරන දේශීය පාරිභෝගිකයා ද සමානව බලපෑමකට ලක්වේ. ආනයනික නිෂ්පාදන වලට මෙන්ම දේශීය නිෂ්පාදන සඳහා ද ඔවුන් වැඩි මිලක් ගෙවිය යුතුය.

වෙනත් වචන වලින් කිවහොත්, දේශීය කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඇත්ත වශයෙන්ම ඉහළ මිල ගණන් ගෙවීමට සිදුවන්නේ පාරිභෝගිකයාටය.

තීරුබදු පනවන රජය පිළිබඳ කුමක් කිව හැකිද?

රජය විසින් විදේශයන්ගෙන් ආනයනය කරන ප්‍රමාණයට බදු අය කරගන්නා අතර දේශීය නිෂ්පාදකයාගෙන් බදු අය නොකරයි. එබැවින් රජය විසින් ආනයනික නිෂ්පාදන වල මිළ ඉහල දැමීමෙන් ලැබෙන ප්‍රතිලාභය හිමිකර ගන්නේ දේශීය නිෂ්පාදකයාය. මෙසේ දේශීය නිෂ්පාදකයා විසින් උපයා ගන්නා අතිරික්තය හැඳින්වෙන්නේ “බදු කුලිය” (rent) ලෙසයි.

මෙසේ බැලූ කල මෙම තීරුබදු පැනවීම හේතුවෙන් දේශීය නිෂ්පාදකයා සහ රජය යන දෙපාර්ශවය ජයග්‍රාහකයන් බවට පත්වන අතර දේශීය පාරිභෝගිකයා පමණක් පරාජිතයෙකු බවට පත්වේ.

තීරුබදු හේතුවෙන් පාරිභෝගිකයාගෙන් වැඩි මිලක් අය කරගැනීමට සමත් වන දේශීය නිෂ්පාදකයා මෙම “බදු කුලිය” වාසියක් ලෙස අත්විඳියි. ආර්ථික විද්‍යාවේදී මෙම “බදු කුලිය (Rent)” හැඳින්වෙන්නේ උපයා නොගත් ත්‍යාගයක් ලෙසයි. නිෂ්පාදකයා හට ඉහල මිලක් නියම කළ හැකි වන්නේ විශිෂ්ඨ ගුණාත්මක භාවය හෝ ඉහළ මට්ටමේ සේවාවක් නිසා නොව රජය විසින් පනවන ලද බද්දක් හේතුවෙනි.

වඩාත් හොඳ ගුණාත්මක භාවයකින් යුත් නිෂ්පාදන ඉදිරිපත් කිරීමෙන් වැඩි මිලක් අය කිරීමට හැකි වූයේ නම් වෙළඳ‌පාලෙහි අඩු මිල ආනයනික නිෂ්පාදන පැවතියද දේශීය නිෂ්පාදකයා විසින් අධිමිලක් උපයා ගනු ඇත. මෙහි ඉතා වැදගත් වෙනසක් ඇත.

මිල අඩු නිෂ්පාදන වෙළඳපොලෙහි පවතින විටදී ඉහළ මිලක් ඇති භාණ්ඩ පාරිභෝගිකයා විසින් මිලදී ගන්නේ එසේ ගෙවන මිලට සරිලන වටිනාකමක් නිෂ්පාදනයේ පවතිනවා නම් පමනි. සිය නිෂ්පාදනය උසස් හා වැඩි මිලක් ගෙවා මිලදී ගැනීමට සුදුසු යැයි පාරිභෝගිකයාට ඒත්තු ගැන්වීමට නම් නිෂ්පාදකයා විසින් සාමාන්‍ය නිෂ්පාදන වලට වඩා අමතර විශේෂත්වයක් සිය නිෂ්පාදන වලට එක් කළ යුතු වේ.

නමුත් තීරුබදු වැඩි කළ විට, සිය නිෂ්පාදනයන් මඟින් පාරිභෝගිකයාට ලැබෙන වටිනාකම වැඩි නොකරම වැඩි මිලක් අය කිරීමට දේශීය නිෂ්පාදකයාට හැකි වේ. මෙම තත්වය මත පාරිභෝගිකයා හට මිල අඩු ආදේශකයන් තෝරා ගත හැකිව තිබුනද තීරුබදු හේතුවෙන් ආදේශක වල මිල ඉහල ගොස් ඇත. එහෙයින් පාරිභෝගිකයා හට වැඩි මිලක් ගෙවීමට අවශ්‍ය නොවූවද වෙනත් විකල්පයක් නොමැති බැවින් එසේ වැඩි මිලක් ගෙවීමට සිදුවේ. මේ හේතුවෙන් මෙම අවස්ථාවේදී නිෂ්පාදකයාට හිමිවන ඉහළ මිල උපයා නොගත් ඉහළ මිල/අධිමිල ලෙස හැඳින්වේ. මෙයින් අදහස් වන්නේ නිෂ්පාදනයෙන් පාරිභෝගිකයාට වැඩි වටිනාකමක් නොලැබුනද පාරිභෝගිකයා විසින් වැඩි මිලක් ගෙවනු ලබන බවයි.

මෙලෙස, නිෂ්පාදකයින් විසින් පාරිභෝගිකයාගෙන් අමතර ලාභ උපයා ගනියි. ඉහත සඳහන් කළ පරිදි, දේශීය කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගෙවීමට සිදුවී ඇත්තේ දේශීය පාරිභෝගිකයාටයි. (විදේශීය නිෂ්පාදකයන්ට නොවේ.) මෙහි අවසන් බලපෑම වනුයේ පාරිභෝගිකයාගෙන් නිෂ්පාදකයා වෙත මුදල් ගලා යාම වන අතර ඊට පහසුකම් සලසා ඇත්තේ තීරු බදු විසිනි. මෙය යහපත් ප්‍රතිපත්තියක්ද?

මෙම තත්වය කර්මාන්ත සුළු ගණනකට පමණක් සීමා වී නම් එය එතරම් බලපෑමක් ඇති නොකරනු ඇත. නමුත් ශ්‍රී ලංකාවේ මෙය විශාල කර්මාන්ත ගණනාවකටම පැතිරී තිබේ. එසේ බලපා ඇති ගෘහස්ථ භාණ්ඩ 30කට වඩා ප්‍රමාණයක් පහත ලැයිස්තුගත කර ඇත. මේ එවන් භාණ්ඩ විශාල සංඛ්‍යාවකින් තෝරාගත් අතළොස්සක් පමණි. ශ්‍රී ලංකාවේ ජීවන වියදම ඉහල යාමට හේතුව මෙයින් පැහැදිලි වේ. ආහාර (පළතුරු, මස්, පැස්ටා, ජෑම්) සහ ශෝධන උපකාරක (සබන්, ෂැම්පු, දන්තාලේපන) වල සිට ගෘහස්ථ නිෂ්පාදන දක්වා සියලුම භාණ්ඩ මත 62% සිට 101% දක්වා බදු අය කෙරේ.

Food+Items+total+tax.jpg

දේශීය කර්මාන්ත වලට සහය වීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයා හට අධික ජීවන වියදමක් දැරීමට සිදුවී තිබේ. දීර්ඝ කාලීනව දේශීය නිෂ්පාදකයින්ට සහය වීමෙන් කර්මාන්ත පදනමක් ඇතිවී වර්ධනය වේගවත් වනු ඇතැයි මතයක් පවතියි.

ජපානය, කොරියාව සහ තායිවානය කර්මාන්ත ප්‍රතිපත්තිය (IP) පිළිපැදි රටවල් වේ. නමුත් මෙම ප්‍රතිපත්ති ඉදිරිපත් කළ පිරිස පවා පිළිගත් දෙයක් නම් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නිවැරදි කර්මාන්ත තෝරාගැනීමේදී ප්‍රවේශම් විය යුතු බවයි. ජපානයේ සහ කොරියාවේ ප්‍රධාන කර්මාන්තයන් වානේ, නැව් තැනීම, බර විද්‍යුත් යන්ත්‍රෝපකරණ, රසායන ද්‍රව්‍ය වූ අතර මෝටර් රථ ද පසුව ඒ අතරට එක් විය. තායිවානයෙහි බර හා රසායන ද්‍රව්‍ය කර්මාන්තයන්ට හා ඉලෙක්ට්‍රොනික උපාංග කර්මාන්තයන්ට යොමු වීමට පෙර ප්‍රධාන කර්මාන්ත ලෙස සැහැල්ලු නිෂ්පාදන පැවතින. (විදුලි උපාංග, රෙදිපිළි)

සබන්, ෂැම්පු, රෙදි සෝදන කුඩු, බිම ඔප දමන පොලිෂ්, පැස්ටා, චීස් සහ බිස්කට් වැනි ශෝධන උපකාරක, ගෘහස්ථ පිරිසිදුකාරක නිෂ්පාදන සහ ආහාර සඳහා මෙය අනුකරණය කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පෙනේ.

hhdsjhd.jpg


සාර්ථක වීමට නම්, කාර්මික ප්‍රතිපත්ති මඟින් ආර්ථිකයේ ව්‍යුහාත්මක පරිවර්තනයක් ඇති කළ යුතු අතර එමඟින් රැකියා අවස්ථා, විශේෂයෙන් වඩා ඵලදායී හා වඩා හොඳ රැකියා අවස්ථා උත්පාදනය වනු ඇත. නිවැරදි කර්මාන්තය තෝරාගැනීම වැදගත් වේ.

“රටේ තාක්‍ෂණික හැකියාවන් සහ ලෝක වෙළඳපොල තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉලක්කගත කර්මාන්ත තෝරාගනු ලබන්නේ කෙතරම් ප්‍රායෝගිකවද යන්න වැදගත් වේ” [1]

කර්මාන්ත ප්‍රතිපත්තිය යෝජනා කළ පිරිස විසින් කර්මාන්ත අංශයන් තෝරාගැනීම සඳහා ඉදිරිපත් කළ නිර්ණායකයන් කෘග්මන් [2] විසින් මෙලෙස සාරාංශගත කර සිටියි:

එක් සේවකයෙකු සඳහා ඉහළ අගය එකතු කිරීම. සැබෑ ආදායම ඉහළ යා හැක්කේ එක් සේවකයෙකුට වැඩි වටිනාකමක් එක් කරන සම්පත් ව්‍යාපාර වෙත ගලා එන්නේ නම් පමණි.

වානේ සහ අර්ධ සන්නායක වැනි එකිනෙකට සම්බන්ධ කර්මාන්ත. එක් කර්මාන්තයක නිෂ්පාදනය කෙරෙන ඵලය වෙනත් කර්මාන්තයක යෙදවුම් ලෙස භාවිත කරමින් කාර්මිකකරණ චක්‍රයක් නිර්මාණය කළ හැකිය. ජපානයේ ලාභ, උසස් තත්ත්වයේ වානේ මගින් නැව්, මෝටර් රථ, රේල් පීලි, දුම්රිය එන්ජින්, බර විදුලි උපකරණ යන කර්මාන්ත වලට තරඟකාරී වාසියක් ලබා දුන්නේය.

ලෝක වෙළඳපොළවල වර්තමාන හෝ අනාගත තරගකාරීත්වය. කර්මාන්තයට මෙම පරීක්ෂණයට මුහුණ දිය හැකි නම්, සම්පත් කාර්යක්ෂමව වෙන් කර ඇතැයි අපට අනුමාන කළ හැකිය. එකිනෙකට සම්බන්ධ ප්‍රතිලාභ ගලායාම සඳහා තරඟකාරිත්වය ඉතා වැදගත් වේ.

මහා පරිමාණ නිෂ්පාදනය තුළින් වැඩි ආර්ථික වාසි ලබා ගැනීම සඳහා තෝරාගත් කර්මාන්ත අපනයන ඉලක්ක කර ගත යුතුව ඇත (නමුත් අපනයන පමණක්ම නොවේ). එසේම “රජය විසින් ප්‍රවර්ධනය කරන ලද ව්‍යවසාය වල ක්‍රියාකාරිත්වය විනිශ්චය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට පැහැදිලි නිර්ණායකයක්” [3] සපයන බැවින් ද තෝරාගත් කර්මාන්ත අපනයන ඉලක්ක කළ යුතු වේ. ලතින් ඇමරිකාවේ කාර්මික ප්‍රතිපත්තිය අසමත් වීමට ප්‍රධාන හේතුව නම් අපනයන ප්‍රවර්ධනය කිරීමට අපොහොසත් වීමයි. (Chang, 2009)

අපනයන අවධානය තරඟකාරිත්වය ද සහතික කරයි. මෙම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ අකාර්යක්ෂමතාව ආරක්ෂා කිරීම නොව ඵලදායිතාව වැඩි දියුණු කිරීමයි.

එබැවින් කාර්යසාධන ඉලක්කයන් සපුරාලීමේ කොන්දේසි සහිතව කර්මාන්ත සඳහා සහය සැපයිය යුතුවේ.

“කාර්මික ප්‍රතිපත්තියේ (හෝ සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රතිපත්තියක) ප්‍රතිඵල ප්‍රබල ලෙස රඳා පවතින්නේ අපේක්ෂිත ප්‍රතිඵල රජයට කෙතරම් ඵලදායී ලෙස අධීක්ෂණය කළ හැකිද යන්න මත වේ. එමෙන්ම ලැබෙන ප්‍රතිඵල අනුව වෙන් කරන ප්‍රතිපාදන වෙනස් කිරීම සහ ආධාරක කොන්දේසි වෙනස් කිරීම මත ද අවසන් ප්‍රතිඵලය රඳා පවතියි” [4]

කර්මාන්තය සමඟ එක්ව කටයුතු කරමින් ඉලක්ක සකස් කිරීම සඳහා ජපානයේ සහ කොරියාවේ විචාරණ විධායක සභා (Deliberation Councils) පිහිටුවන ලදී. ඉලක්ක වල දැඩි බව සහතික කිරීම සඳහා ස්වාධීන තාක්ෂණික විශේෂඥයින්, ශාස්ත්‍රීය විද්වතුන් සහ වෙනත් අය ද සම්බන්ධ කර ගන්නා ලදි.

කාර්ය සාධනය අධීක්ෂණය කරමින් ඉලක්කයන් සංශෝධනය කෙරේ. ප්‍රතිපත්තියක් අකාර්යක්ෂම යැයි පෙනෙන විට එය සංශෝධනය කරනු ලබයි. කාර්මික ප්‍රතිපත්තිය යනු ජයග්‍රාහකයින් තෝරා ගැනීම පමණක් නොව පරාජිතයින් ඉවත් කිරීම ද වේ.

“කාර්මික ප්‍රතිපත්තියේ සාර්ථකත්වය රඳා පවතින්නේ විවිධ ප්‍රතිපත්තිමය ක්‍රම (තීරුබදු, සහනාධාර, පිවිසුම් බාධක) හරහා බදු කුලී ලබන්නන් හික්මවීමට රජය කෙතරම් උනන්දු වන්නේද යන්න හා ඒ සඳහා රජයට ඇති හැකියාව මත ය. මෙහි අර්ථය කාර්මික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී නොවැළැක්විය හැකි වෙළඳ‌ෙපාල හික්මීම නොමැතිකම පාලනය කර එම හික්මවීම ඇති කිරීම සඳහා වන කාර්යභාරය රජය විසින් ඉටු කළ යුතු බවයි. ”[5].

කර්මාන්තයට දක්වන සහය සම්බන්ධයෙන් අපක්ෂපාතී තීරණ ගැනීමට සහ කාර්ය සාධනය මත පදනම්ව සහාය වෙනස් කිරීමට හෝ ඉවත් කර ගැනීමට දේශපාලන පීඩනයෙන් තොර නිලබල ක්‍රමයක් පැවතීම මේ සඳහා අවශ්‍ය වේ.

“පෞද්ගලික අංශයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් නොවී රජය පෞද්ගලික අංශය සමඟ කෙතරම් සමීපව කටයුතු කරනවාද යන්න ඉතා වැදගත්ය.” [6]

සාර්ථක කාර්මික ප්‍රතිපත්තියක් යනු කර්මාන්තය සහ රාජ්‍යය අතර සංකීර්ණ හවුල්කාරිත්වයක් වන අතර එය පාලනය වන්නේ තරගකාරිත්වය සහ ඵලදායිතාවයේ මූලික මූලධර්ම මගින් බව පැහැදිලි වේ. අවාසනාව වන්නේ ශ්‍රී ලංකාවේ මෙය සිදුවන්නේ නැගෙනහිර ආසියාවේ මෙන් නොව ලතින් ඇමරිකාවේ සිදුවූ හා සමානව වීමය.

“නිර්මාණය කරන ලද කර්මාන්ත බොහෝ විට නොනැසී පැවතියේ ආරක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් බැවින් ආනයන ආදේශන ප්‍රතිපත්ති සඳහා, විශේෂයෙන් ලතින් ඇමරිකාවේ දී නරක නාමයක් ලැබුනි. රටවල් අතරමැදි භාණ්ඩ ආරක්ෂා කරන විට එය විශේෂයෙන් පාඩු ඇති කරවන්නක් විය. මන්ද එයින් නිෂ්පාදන දාමයේ පහතින් පවතින භාණ්ඩ වල තරගකාරීත්වය අඩු කළ බැවිනි. මේ ආකාරයේ ආරක්ෂණවාදයන් හේතුවෙන් රටවල් බොහෝ විශාල පාඩු දරා ඇති අතර මෙම ආරක්ෂාව නඩත්තු කිරීම බොහෝ විට දූෂණයට ද සම්බන්ධ විය. ” [7]

මුල්ම ලිපිය Daily News පුවත්පතේ පළ කරන ලදි.

——————————-

[1] Chang, H. J, 2006. Industrial policy in East Asia – lessons for Europe. An industrial policy for Europe? From concepts to action EIB Papers, [Online]. Vol 2 No.6, 106-132. (Accessed 07 January 2019)

[2] Paul R. Krugman, 1983. Targeted Industrial Policies: Theory and Evidence. [Online] (Accessed 07 January 2019)

[3] Ibid

[4] M Khan, 2018. The Role of Industrial Policy: Lessons from Asia. [Online] (Accessed 07 January 2019)

[5] Ibid

[6] Ibid

[7] Joseph E. Stiglitz. Industrial Policy, Learning, and Development. [Online] (Accessed 07 January 2019)

බඩ පිරෙන්න කෑමට ගහන ආනයනික බදු

මෙම ලිපිය පෙර පලවුනු "A bellyful of taxes!" හි පරිවර්තනයකි.

දිල්ෂානි එන් රණවක විසිනි

නත්තල් සමය සහ අලුත් අවුරුදු සමය හෙමින් උදා වෙනවා. මේ අවුරුද්දේ කෝවිඩ් නිසා නත්තල් සහ අවුරුදු බොහෝ අයට අපහසුයි. හැබැයි ආහාර වල මිල අඩුවක් නැහැ. බොහෝ විට අප සිතන්නේ එම මිල ගණන් ඉහල යන්නේ උත්සව අවස්ථාවලදී ඉල්ලුම ඉහල ගොස් ඇති නිසා බවය. ඒ අතරම ශ්‍රී ලංකාවේ ආහාර සැබවින්ම මිල අධික බවද අපි පිළිගනිමු. නමුත් ආහාරවල මිල අධික වන්නේ මන්දැයි ඔබ කවදා හෝ ප්‍රශ්න කර තිබේද? අප සියල්ලන්ගේම මුලික අවශ්‍යතාවක් වන ආහාර පාන සඳහා ඔබ මෙතරම් අධික මුදලක් වියදම් කරන්නේ මන්දැයි යන්න ඔබ ඔබෙන් අසා තිබෙනවාද?

අප ආහාර සඳහා ඉතා විශාල ලෙස බදු ගෙවන බව ඔබ දැන සිටියාද? අප කරන සෑම මිලදී ගැනීමක් සමඟම අප ගෙවන වක්‍ර බදු පිලිබඳ අප කෙතරම් දැනුවත් ද?

පවුලක හතර දෙනෙකුගේ සමබර ආහාර වේලක් සඳහා අවශ්‍ය වන සිල්ලර භාණ්ඩ ලැයිස්තුවක් ගෙන බලමු. (මෙහි එන ප්‍රමාණයන් ආහාර හා කෘෂිකාර්මික සංවිධනය (FAO) මගින් නිර්දේශිත ඒවා වේ)

Balanced+Meal+tax+figures.png

සංඛ්‍යාලේඛන වලට අනුව, මිල දී ගන්නා කුඩා ප්‍රමාණයේ සිල්ලර භාණ්ඩ ලැයිස්තුවක් වෙනුවෙන්, අප රජයට රු. 150 කට වඩා බදු ගෙවන බව අපට පෙනී යයි. රු. 150ක් යනු ඔබට දිවා ආහාරයට ගත හැකි බත් පාර්සලයක මිලට සමානය.

රජය අපගෙන් බදු අය කරනු ලබන්නේ කරණා දෙකක් වෙනුවෙනි. එකක් නම්, බදු රජයේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් වන අතර ශ්‍රී ලංකා රජයේ 80% පමණ ආදායම මෙම වක්‍ර බදු අය කිරීම තුලින් සම්පුර්ණ වේ. වක්‍ර බදු පැනවෙන්නේ භාණ්ඩ හා සේවා සඳහා වන අතර එමෙන්ම, සෘජු බදු පැනවෙන්නේ ආදායමය. දෙවැන්න බදු අය කිරීම මඟින් නිෂ්පාදකයින්, ආනයන මගින් ඇති කරන තරඟයෙන් ආරක්ෂා කල හැක.

පාරිභෝගික භාණ්ඩ සඳහා මෙවැනි අධික බදු අය කිරීම රජය විසින් සාධාරණිකරණය කරනු ලබන්නේ, එමගින් දේශීය නිෂ්පාදකයින් ආනායන වලින් ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම් තර්කයක් ලෙස ගනිමිනි. ඒ අනුව ආනයන සඳහා තීරුබදු පැනවූ විට, ආනයනවල මිල ඉහළ යන අතර, දේශීය නිෂ්පාදකයින්ට වඩා ලාභදායී විකල්පයක් සමඟ තරඟ කිරීමට අවස්ථාව ලබා දෙයි. උදාහරණයක් ලෙස බෝංචි කිලෝ එකක් සඳහා රජය 101% බද්දක් පනවනු ලැබේ. එනම් ඔබ බෝංචි කිලෝ එකක් සඳහා එහි සැබෑ වටිනාකම මෙන් දෙගුණයක් ගෙවනු ලබයි.

මෙම ආනයනික තීරු බදු නිසා දේශීය නිෂ්පාදකයින්ට ආනයන කරන භාණ්ඩ වලට වඩා සාපේක්ෂව අඩු මුදලකට ඔවුන්ගේ නිෂ්පාදන දේශීය වෙළඳපොල තුල විකිනීමට හැකි වෙයි. මෙය බැලු බැල්මට දේශීය නිෂ්පාදකයින්ට වාසි ප්‍රතිපත්තියක් ලෙස පෙනුනද, සැබවින්ම දිගුකාලීනව මෙය යහපත් ප්‍රතිපත්තියක් නොවේ.

පාරිභෝගිකයාට පාඩු පිට පාඩු

දේශීය නිෂ්පාදකයින්ට, මිලෙන් අඩු ආනයන සමඟ තරඟ කිරීම පහසු වීමට රජය විසින් තීරු බදු පැනවූ විට, දේශීය නිෂ්පාදකයින්ට කාර්යක්ෂ්මව හා ඵලදායීව කටයුතු කිරීමට ඇති සියලුම වෙළඳපල දිරිගැන්වීම් ඉවත් වෙයි. මෙහිදී මිලෙන් අඩු ආනයනික භාණ්ඩ මත අධික තීරු බදු හේතුවෙන්, එම භාණ්ඩයේ මිල දේශීය නිෂ්පාදිත භාණ්ඩ වඩා ඉහල යයි.

මේ නිසා දේශීය පාරිභෝගිකයන් වන අපි දෙයාකාරයකින් පාඩු විඳිමු. අපට දේශීයව නිෂ්පාදිත භාණ්ඩයක් මිල දී ගැනීමට අවශ්‍ය වූවත්; දේශීය නිෂ්පාදකයින්ට උසස් තත්ත්වයේ, ආකර්ශනිය භාණ්ඩයක් පාරිභෝගිකයාට ලබාදීමට කිසිඳු විශේෂ හේතුවක් නැත. එසේත් නැතිනම්, යම් අවස්ථාවක පාරිභෝගිකයා දේශීය නිෂ්පාදන පිළිබඳව සෑහීමකට පත් නොවී ආනයනික විකල්පයක් මිලට ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එම භාණ්ඩ, දේශීය නිෂ්පාදකයන්ගේ යහපත වෙනුවෙන් පැනවූ තීරු බදු ගාස්තු අනුපාතයකට යටත් වන බැවින්, අපට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවේ.

මෙම බදු මඟින් අනයනය කරන භාණ්ඩයේ අවසාන මිලත්, දේශීයව භාණ්ඩය නිෂ්පාදනය කිරීමේදී වැයවන පිරිවැයත් අතර විශාල වෙනසක් ඇති කරයි. දේශීය නිෂ්පාදකයින්ට මෙම වෙනස අති විශාල ලාභයක් බවට ලක්කර ගත හැක. නමුත් තමන් නිපදවන භාණ්ඩ වල තත්වය උසස් කිරීමට හෝ වඩා ආකර්ශනීය භාණ්ඩ නිපදවීමට කිසිම උනන්දුවක් ඔවුන්ට මෙමඟින් ඇති නොවේ.

අපි මෙය දිගටම ආරක්ෂණවාදයට ඉඩ දිය යුතුද?

දිරිගැන්වීම් නොමැතිකම නිසා අපේ නිෂ්පාදකයින් අකාර්යක්ෂම නිෂ්පාදන රටාවකට හුරුවී ඇත. මෙම අවස්ථාවේ දී රජය තවදුරටත් දේශීය නිශ්පාදකයින් ආරක්ෂා කල යුතු ද ? එසේ නම්, පාරිභෝගිකයින් සඳහා වන පිරිවැය නම් අපි මේ සඳහා කරන කැපකිරීම ගැන අප සැලකිලිමත්ද ?

ආරක්ෂණවාදය යනු රටේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත. 1977 ශ්‍රී ලංකා ආර්ථිකය විවෘත වූ දා සිටම දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම අරමුණු කරගත් විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක කරන ලදී. අප දකුණු ආසියානු කලාපයේ, තම ආර්ථිකය විවෘත කල පළමු රට වුවුද, වසර 40කට පසුවත් අප විවෘත ආර්ථිකයේ ඵල නෙලාගෙන නොමැත. ‌ෙබාහෝ දේ ගැන අප සිටින්නේ පසුගාමී තැනකය.

ආරක්ෂණවාදය විකල්පයක් ලෙස රජයට කළ හැකි දෙයක් වන්නේ වෙනත් රටවල් සමඟ තාක්ෂණික ආයෝජන ඇති කර ගැනීම සහ, එමඟින් රටේ අඩු ප්‍රථාලාභයන් ලබා දෙන, අඩු කාර්යක්ෂම, ආරක්ෂිත කර්මාන්ත, කාර්යක්ෂම සහ ලාභදායක කර ගැනීමට හැකි තාක්ෂණය අත්පත් කර ගැනීම වේ. රජය විසින් පනවන අධික බදු සහ නියාමනය ලිහිල් කිර, විදේශ ආයෝජන සඳහා ආර්ථිකය විවෘත කිරීම සහ ආයෝජකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම තුලින් මෙය සිදු කල හැක.

දශක ගණනක් තිස්සේ අප සිදු කරන ආරක්ෂණවාදී පියවර දිගින් දිගටම අසාර්ථක වී ඇති බව දැන දැනම, අපගේ නිෂ්පාදකයින් විදේශ තරඟයෙන් ආරක්ෂා කරන ලෙස අපි තවමත් රජයෙන් ඉල්ලා සිටිමු ද?

සන්ඩේ මෝනිං බිස්නස් (The Sunday Morning Business) හි පලවන “The Coordination Problem” සතිපතා කොලම තුළින් ඇඩ්වකාටා හා සම්බන්ධ විද්වතුන් සහ පර්යේෂකයන්, ආර්ථික විද්‍යාව, රාජ්‍ය ප්‍රතිපත්තිය, ඒවා පාලනය කරන ආයතන සහ ඒවායෙන් අපගේ ජීවිත වලට හා සමාජයට ඇති කරන බලපෑම පිළිබඳව ගවේෂණය කිරීමේ උත්සාහයක නිරත වේ.

ද මෝනිං හි මුලින් පළ වන ලද්දකි.

ආහාර සුරක්ෂිතතාව සහ ස්වයංපෝෂිතභාවය

මෙම ලිපිය පෙර පලවුනු "Food security and self sufficiency" (Daily FT) හි පරිවර්තනයකි.

ආචාර්ය රොහාන් සමරජීව

දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද ආහාර සැපයුම් දාම දුර්වල වී හෝ සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. එවැනි තත්වයන් තුළ ආහාර සුරක්ෂිතතාව එනම් අවශ්‍ය ප්‍රමාණයට ආහාර තිබීම ගැන සිතීම ස්වාභාවික හා අත්‍යවශ්‍ය වේ. එහෙත් බුද්ධිමත්ව හා සාක්ෂි මත පදනම්ව සිතීම වැදගත් වේ. Covid - 19 තත්ත්වය තුළ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ සාකච්ඡාව නැවතත් සමාජ අවධානයට ලක් වී ඇත

ඒවායේ පදනම සැකසෙන දත්තවල හෝ ඒවායේ සැලසුම් හේතුවෙන් සියළුම ශ්‍රේණිගත කිරීම්වල සහ දර්ශකවල අඩුපාඩු තිබේ. නමුත් ඒවා සාක්ෂි පදනම් කරගත් සාකච්ඡාවක් සඳහා ප්‍රයෝජනවත් ආරම්භයක් සපයයි.

ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය කොටස් තුනකින් සමන්විත වේ: දැරිය හැකි මිල, ලබා ගත හැකි බව සහ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව. ස්වාභාවික සම්පත් හා ඔරොත්තු දීම යන නව කොටසක් 2019 දී එකතු කරන ලදී.

ගොවිබිම් නොමැති නිසා දේශීයව නිපදවන නිෂ්පාදන නොමැති මිලියන 5 කට අධික ජනගහනයක් සිටින සිංගප්පූරුව මූලික දර්ශකයේ පළමු ස්ථානයට පත් වීමෙන් පෙන්වන්නේ ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව සාමාන්‍ය බුද්ධියට එහා ගිය ප්‍රවේශයක් මත මෙම දර්ශකය පදනම් වී ඇති බවයි. ස්වාභාවික සම්පත් හා ඔරොත්තු දීමේ හැකියාව සැලකීමට ගත් විට සිංගප්පූරුව ස්ථාන 11 කින් පහත වැටේ. සිංගප්පූරුවට මුහුදු මට්ටම ඉහළ යාම, සාගර සුපෝෂකනය සහ ආහාර ආනයන මත යැපීම යන ගැටළු වලට මුහුණ දීමට සිදු වේ. නමුත් 11 වන ස්ථානයේ වුවද එය අනෙකුත් දකුණු ආසියානු රටවලට වඩා හොඳ ස්ථානයක ඇත.

මම අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් අධ්‍යයනය කරමින් සිටිමි. ආපදා අවම කිරීම සහ සහන මෙහෙයුම් සඳහා විදුලි සංදේශ සම්පත් සැපයීම පිළිබඳ ටැම්පෙරේ සම්මුතියට ශ්‍රී ලංකාව ප්‍රවේශ වීම හා Y2K ගැටළුව සඳහා වන සූදානම එයට හේතු විය. තවද අපි දශකයකට වැඩි කාලයක් තිස්සේ කෘෂිකාර්මික සැපයුම් දාමයන් පිළිබඳවද අධ්‍යයනය කරමින් සිටිමු.

ඔරොත්තු දීමේ පිරිවැය පිලිබඳ සම්මුතිය

ඔරොත්තු දීමේ හැකියාව සහ පිරිවැය අතර සම්මුතියක් සෑම විටම පවතී. පිරිවැය ගැන සැලකිලිමත් නොවන්නේ නම්, කෙනෙකුට අසාමාන්‍ය ලෙස ඔරොත්තු දීමේ හැකියාවක් ඇති අතර 100% අතිරික්ත පහසුකම්ද තවදුරටත් සහායට එකතු වේ. නැති වීමට වැදගත් යමක් තිබෙන විට හා පරිසරය අවදානම් සහිත වූ විට කෙනෙකුට බැක්අප් කිහිපයක් තිබිය හැක.

නිදසුනක් වශයෙන්, යුද්ධයේ දරුණුතම දිනවල එල්ටීටීඊය කොළඹට පහර දෙන විට සහ ලංවිම ඉංජිනේරුවන් එසැනින් වර්ජනය කිරීමට සැරසී සිටි කාලයක් විය. එවිට ජංගම බේස් ස්ටේෂන් සඳහා බැටරි බැක්අප් ගැන මට පැවසූ අතර ඒවාට ඩීසල් උත්පාදක යන්ත්‍ර මගින් තවදුරටත් සහාය විය. නමුත් මේ සියල්ල සඳහා මුදල් වැය වේ.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද එය එසේම ය.දේශීයව නිපදවන අර්තාපල් මත යැපීම අවදානම් අඩු කරයි යැයි කෙනෙකුට විශ්වාස කළ හැකිය. නමුත් අර්තාපල් සඳහා දේශීය නිෂ්පාදන වියදම ආනයනික අර්තාපල් වලට වඩා සැලකිය යුතු ලෙස වැඩි බව කවුරුත් දන්නා කරුණකි. ආනයනික අර්තාපල් සඳහා විශේෂ භාණ්ඩ බද්දක් අය කිරීම මගින් දේශීය නිෂ්පාදකයින්ට සහයක් ලබා දෙයි. මෙයින් අදහස් කරන්නේ දේශීය පාරිභෝගිකයින් අකාර්යක්ෂමව නිපදවන දේශීය අර්තාපල් සඳහා වැඩි මුදලක් ගෙවන අතර ඔවුන් පරිභෝජනය කරන ආනයනික අර්තාපල් සඳහා රජයට වක්‍ර බදු ගෙවන බවයි.

ආරක්ෂාව සදහා ඇති කරන තීරු බදු එකතු වීමෙන් සැමට ආහාර මිල අධික වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම පිරිවැය ශ්‍රී ලංකාවේ ඉහළ ය. එබැවින් ගෝලීය වශයෙන් තරඟ කළ යුතු බොහෝ කර්මාන්ත ඉහළ ශ්‍රම පිරිවැයක් දරයි.

අකාර්යක්ෂම දේශීය නිෂ්පාදකයින්ගෙන් නිෂ්පාදන ලබා ගැනීම අවදානම අඩු නොකරයි. කෘෂිකර්මාන්තය අවදානම් සහගතය. ගංවතුර, නියඟය, කෘමීන් හා රෝග බෝග විනාශ කළ හැකිය. සැබවින්ම ඔරොත්තු දෙන සැපයුම් දාමයන් එක් ප්‍රදේශයක් (අර්තාපල් සඳහා වෙලිමඩ වැනි) හෝ තනි රටක් මත රඳා නොපවතී. ඒ ආකාරයටම රටට අවශ්‍ය සහල් ලබා ගැනීමට උදාහරනයක් ලෙස වියට්නාමය මත පමණක් යැපීමක් සිදු නොවේ. සහල් වලින් ස්වයන්පොෂිත වීම ස්ථිර ප්‍රතිපත්ති පරමාර්ථයක් ලෙස සිතීම හොඳ අදහසක් නොවනු ඇත.

COVID-19 සහ ගෝලීය සැපයුම් දාමයන්හි කඩාකප්පල් කිරීම් හමුවේ වියට්නාමය සහල් අපනයනය සඳහා යම් සීමාවන් පනවා ඇති අතර එමඟින් ගනුදෙනුකරුවන් අතර කුකුසක් ඇති වීම සැලකිලිමත් වීමට වලංගු හේතුවක් වනු ඇත. එහෙත්, අනෙක් අතට, 2016 - 2017 දී අත්දුටු ආකාරයට නියඟය හේතුවෙන් 2015-16 දී සහල් මෙට්‍රික් ටොන් 2,903 සිට මෙට්‍රික් ටොන් 1,474 දක්වා අඩු වූ ආකාරයට දේශීය නිෂ්පාදනය මත මුළුමනින්ම රඳා සිටීම ද අවදානම් ය.

එබැවින්, ආහාර සුරක්‍ෂිතතාව සඳහා සැබෑ පිළිතුර වන්නේ ස්වයංපෝෂිත භාවය සඳහා වන සරල උත්සාහය නොව, විවිධ තැන් හරහා ලබා ගෙන පිරිවැය හා අවදානම් කළමනාකරණය සමතුලිත කිරීම සහ සැපයුම් දාම ශක්තිමත් බව සහතික කිරීමයි. තවද ඒකාධිකාරීන් පැන නැගීම වැළැක්වීම ප්‍රතිචාරයේ වැදගත් කොටසකි.ගෝලීය ආහාර ආරක්ෂණ දර්ශකය විවිධ දර්ශක 34 ක බරින් යුත් සංයෝජනයෙන් අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ මෙයයි.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවයේ තක්සේරුව

2019 දී රටවල් 113 න් 66 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්විය.එය පෝෂණ ප්‍රමිතීන්, සාමාන්‍ය ආහාර පිරිවැය වෙනස් කිරීම, ගෝලීය දරිද්‍රතා රේඛාව යටතේ ජනගහනයේ අනුපාතය, ආහාර සුරක්‍ෂිතතාව, ආහාර අහිමිවීම, නාගරික අවශෝෂණ ධාරිතාව, කෘෂිකාර්මික නිෂ්පාදනයේ අස්ථාවරත්වය සහ ගොවීන්ට මූල්‍යකරණය සඳහා ප්‍රවේශය යන අංශයන්හි ඉහළ අගයක් ලබා ඇත.

කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වන රාජ්‍ය වියදම්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, මිලදී ගැනීමේ ශක්තියේ සමානාත්මතාවය, ප්‍රෝටීන් ගුණාත්මකභාවය සහ දේශපාලන ස්ථාවරත්වය (2018 සහ 2019 අතර විශාලතම පසුබෑම) වැනි සාධක මගින් එහි අගය පහත වැටුණි.ශ්‍රී ලංකාවේ සමස්ත ලකුණු සාමාන්‍යයට වඩා මඳක් අඩු වූ අතර ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ තරමක් අඩු විය. එය දකුණු ආසියාවේ සම රටවල් වලට වඩා ඉදිරියෙන් සිටියද ඉන්දුනීසියාව සහ ගිනිකොනදිග ආසියාවේ පිලිපීනය වැනි සම රටවල් වලට වඩා පසුපසින් සිටියේය. ඉන්දියාව 72 වන ස්ථානයට පත්ව ඇති අතර පාකිස්තානය (78 වැනි ස්ථානය) සහ නේපාලය (79 වැනි ස්ථානය) ඊටත් වඩා පහත් මට්ටමක සිටී. සුපුරුදු පරිදි, ශ්‍රී ලංකාව එතරම් නරක නොවූ ස්ථානයක සිටි නමුත් ඊට වඩා හොඳ විය හැකි බව මගේ විශ්වාසයයි.

ස්වාභාවික සම්පත් හා ඔරොත්තු දීමේ හැකියාව මෙම මිශ්‍රණයට එකතු කළ විට ශ්‍රී ලංකාව 113 න් 67 වන ස්ථානයට පසුබසිනු ඇත.ඔරොත්තු දීමේ ආශ්‍රිත සාධකවල බලපෑම සමහර රටවල වැඩි ය. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය විශාල වෙනස්කම් පෙන්වයි. මූලික සම්පත් දර්ශකයේ 12 වන ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියාව ස්වාභාවික සම්පත් හා ඔරොත්තු දීමේ හැකියාව ඇති විට 16 වන ස්ථානයට පපසු බසින අතර නවසීලන්තය ඕස්ට්‍රේලියාව අභිබවා යමින් ස්ථාන පහක් ඉදිරියට විත් 14 වන ස්ථානයට පත්විය.

පිරිවැයට සංවේදී වන ඔරොත්තු දීමේ හැකියාව

COVID-19 සඳහා ප්‍රතිචාරය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර සැපයුම් දාමයන්ට සිදු වූ හානිය සමස්ත කෘෂිකාර්මික පද්ධතියම නැවත සලකා බැලීමට අවශ්‍ය වේ. වත්මන් පද්ධතියේ අස්ථාවරත්වය ඒ මගින් විදහා දක්වයි. නමුත් ප්‍රතිචාරය සාක්‍ෂි පිළිබඳ සන්සුන්ව සලකා බැලීම මත පදනම්ව, ආහාර සඳහා මුදල් සඳහා වටිනාකමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සූක්ෂ්ම ලෙස සකස් කළ යුතුය. අකාර්යක්ෂම නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා ආනයන තහනම් කිරීම සහ පාරිභෝගිකයින් මත බදු පැනවීම වෙනුවට, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවිධාංගීකරණය වී ඇති බැවින් සැපයුම් දාම ඔරොත්තු දෙන බවට රජය සහතික විය යුතුය.මෙය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සැපයුම් දාමයන්හි සම්බන්ධතා ඒකාධිකාරී වීම වැළැක්වීමයි.

ස්වයංපෝෂිතභාවය වැනි සටන් වැකි වලට සරලව පසුබැසීම ප්‍රමාණවත් නොවේ.ශ්‍රී ලංකාවට 1970 දශකයේ සිට එම ප්‍රතිපත්ති පිළිබඳ අත්දැකීම් තිබේ. ධනවත් අයට කළු වෙළඳපොලවල් ඇති කළ අතර දුප්පතුන්ට මන්දපෝෂණය හිමි කළා. සලාක කඩවල් මගින් පාරිභෝගික මනාපයන් තෘප්තිමත් කළ නොහැකි වඩාත් සංකීර්ණ ආර්ථිකයක වැඩ කිරීමට එකල වැනි සරල කාලයක ක්‍රියාත්මක කළ දේ කළ නොහැකිය.

අපි එදා කෑ හැටි සහ අද කන හැටි

මහාචාර්ය රොහාන් සමරජීව

රටක (හෝ කුටුම්භයක) සමෘද්ධියේ මට්ටම ඉහළ යත්ම පරිභෝජනය කරනු ලබන ප්‍රෝටීන් අඩංගු ආහාර ප්‍රමාණය ඉහළ යන බව නිරීක්ෂණය කර තිබේ. අවසාන කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණ තුනෙන් ලබා ගත් තොරතුරු අනුව බලන කල ශ්‍රී ලංකාවේ ද මෙම සංසිද්ධිය සිදුවන බව පෙනෙන්නට ඇත (රූපය 1). ප්‍රෝටීන ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය ක්‍රමවේදයක් වනුයේ කුකුල් මස් ආහාරයට ගැනීම බව ප්‍රකට කරුණකි.  2009/2010 කාලයේ දී මසකට ග්‍රෑම් 233 ක පැවති කුකුල් මස් පරිභෝජනයේ මාසික සාමාන්‍යය  2016 වන විට ග්‍රෑම් 378 දක්වා ඉහළ ගොස් තිබුණි.  මෙය වසර හයක් තුල සියයට 66 ක ඉහළ යාමකි.

කරවල, බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින් ගේ ප්‍රධානතම ප්‍රෝටීන සම්භවයක්ව පැවතිනි.   ප්‍රධාන ප්‍රෝටීන සම්භවයන් අතුරින් මේ සය වසරක කාල පරිච්ඡේදය තුල ස්වල්ප වශයෙන් අඩුවීමක් දක්වා ඇත්තේ කරවල පරිභෝජනය පමණකි.  කරවල පරිභෝජනයෙහි මේ දක්නට ලැබෙන අඩුවීම අළුත් මාළු විසින් පුරවන්නට ඇතැයි උපකල්පනය කල හැකි වුව ද  අවාසනාවකට මෙන්, සංක්ෂිප්ත වාර්තාව තුල එම තොරතුරු අඩංගු කර නැත.  එම තොරතුරු ලබා ගැනීම පිණිස, අවසාන සවිස්තරාත්මක වාර්තාව නිකුත් වන තුරු බලා සිටින්නට අපට සිදුවේ.

ශ්‍රී ලාංකිකයින්ට ප්‍රෝටීන ලබා දෙන තවත් ප්‍රධාන ක්‍රමයක් වන පරිප්පු පරිභෝජනය ද මෙකී සමීක්ෂණ කාල පරිච්ඡේදයන් තුන තුල ඉහළ ගොස් ඇතත් එය කුකුල් මස් පරිභෝජනයේ දක්නට ලැබෙන ඉහළ යාම තරම් විශාල නොවේ.

රූපය 1: ප්‍රෝටීන් පරිභෝජනයේ දක්නට ලැබෙන වෙනස්කම්

මූලාශ්‍රය: ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණය 2016 - අවසාන ප්‍රතිපල

මූලාශ්‍රය: ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණය 2016 - අවසාන ප්‍රතිපල

1977-78දී  ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දී වසර 40 ක් ගත වී ඇති හෙයින් ප්‍රතිසංස්කරණ වලට පෙර සහ වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාව ගේ ප්‍රෝටීන පරිභෝජන රටාවන් සසඳා බැලීම ප්‍රයෝජනවත් වනු ඇත.  1978 ට අදාළ දත්ත ලබා ගෙන ඇත්තේ, නිල සමාජ-ආර්ථික සමීක්ෂණය පාදක කරගනිමින් වෛද්‍ය බ්‍රයිටි ද මැල් මහත්මිය  විසින් සකස් කරන ලද වාර්තාවකින් වන හෙයින් සහ එහි දී භාවිත කර ඇත්තේ වෙනත් ඒකක වර්ගයක් (කුටුම්භයක මාසික පරිභෝජනය වෙනුවට පුද්ගලයකු ගේ දෛනික පරිභෝජනය) වන හෙයින් මේ අවස්ථා දෙකෙහි ඍජු සංසන්දනයක් සිදුකල නොහැක.

1970-77 කාලය තුල ශ්‍රී ලංකාව තුල සමාජවාදය අත්හදා බලන ලද පරිච්ඡේදයේ දී ප්‍රෝටීන් පරිභෝජනය හරි අඩකින් පහත වැටී ඇත.  මේ කාලය තුල, ආහාර ද්‍රව්‍ය ආනයනය දැඩිව පාලනය කරනු ලැබිනි. උදාහරණයක් ලෙස, පරිප්පු ආනයනය මුළුමනින්ම නවත්වා දැමිනි.  කරවල ලබා ගත හැකි වූයේ සමුපකාර සලාක වෙළඳසැල් හරහා පමණකි. කළු කඩ වෙළඳාම සරුවට සිදුවින.  ජනතාව පරිභෝජනය කළයුත්තේ මොනවාදැයි තීරණය කරන ලද්දේ ආණ්ඩුව විසිනි.  සමුපකාර වෙළඳසැල් හරහා එක් සතියක වියලි හාල්මැස්සන් නිකුත් කරන ලද අතර තවත් සතියක වෙනත් කරවල වර්ගයක් නිකුත් කරනු ලැබිනි.

ජනතාව ගේ කැලරි ලබා ගැනීම සහ ප්‍රෝටීන පරිභෝජනය ගැන සඳහන් කරන වෛද්‍ය ද මැල් පවසන්නේ ජනගහනයේ දිළිඳුතම සියයට 43 ට අයත් ජනතාවට, අවම වශයෙන් පුද්ගලයකු විසින් දෛනිකව ලබා ගත යුතු කැලරි 2,200 සහ ප්‍රෝටීන් ග්‍රෑම් 40 හෝ ලබා ගැනීමට මේ සමාජවාදී යුගය අවසානයේදී නොහැකි වූ බවයි.  එකල සේවයේ යෙදුනු වෛද්‍ය නිලධාරීන් පවසන අන්දමට කොළඹ නගරයේ පවා දරුවන් අතර මන්දපෝෂණය සහ ප්‍රෝටීන හිඟකම නිසා ඇතිවන මරාස්මුස් සහ කවෂියොකෝර් රෝග තත්වයන් වාර්තා වී තිබේ.

රූපය 2: වැදගත් ප්‍රෝටීන මූලාශ පරිභෝජනය 1969-75

මූලාශ්‍රය: ජයවර්ධන, ලාල් (2004) Understanding reforms, 1960-2000, in Economic policy in Sri Lanka, edited by S. Kelegama. New Delhi: Sage, pp. 96-108.

මූලාශ්‍රය: ජයවර්ධන, ලාල් (2004) Understanding reforms, 1960-2000, in Economic policy in Sri Lanka, edited by S. Kelegama. New Delhi: Sage, pp. 96-108.

මේ අනුව පෙනී යන්නේ, සංවෘත ආර්ථිකයක් තුල සිටිද්දීට වඩා හොඳින් විවෘත ආර්ථිකය තුල දී ජනතාව හොඳින් ආහාර ගන්නා බවයි.  රජය විසින් පාලනය කරනු ලබන ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමේ ආශාවෙන් තවමත් පෙළෙන පිරිස් වලට මේ තොරතුරු වලින් යමක් උගත හැකි වෙතැයි සිතමි.

COVID-19 සඳහා රෝගීන් පරීක්ෂා කිරීමේ (Testing) හැකියාව කඩිනමින් පුළුල් කිරීම සඳහා පුද්ගලික අංශයේ සහය ලබාගැනීම අත්‍යාවශ්‍ය බව පැහැදිලියි කිරීම

ප්‍රවෘත්ති නිවේදනය

COVID-19  වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇත. එමඟින් අපේක්ෂා කරන්නේ පුද්ගල දුරස්ථභාවය (Physical Distancing) පවත්වා ගනිමින් රෝග ව්‍යාප්තිය අවම කිරීමයි. එමඟින් අලුතෙන් හඳුනා ගැනෙන රෝගීන්  සෞඛ්‍ය සේවාවන්වල ධාරිතාව තුළ පවත්වා ගැනීමට හැකියාව ලැබේ. ඇඳිරි නීතිය දීර්ඝකාලීනව පැනවීම ප්‍රායෝගික නොවන නිසා මෙම කාලය තුළ රෝගයට මුහුණ දීමට සහ අනෙකුත් සෞඛ්‍ය සේවාවන් වල ධාරිතාව හැකි පමණින් වැඩි කරගැනීම ඉතාමත් වැදගත් වේ.  සෞඛ්‍ය විශේෂඥයින් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ COVID-19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන්ව සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් සඳහා පරික්ෂා කිරීමේ හැකියාව කඩිනමින් වැඩි කළ යුතු බවයි.

COVID-19 වසංගතය සඳහා සාර්ථකව මුහුණ දුන් දකුණු කොරියාව සහ අනෙකුත් රටවල් අනුගමනය කළ ක්‍රියාමාර්ගය වූයේ   “රෝග වාහකයන් හඳුනා හඳුනාගැනීම- පරික්ෂා කිරීම- ප්‍රතිකාර කිරීම” (Trace- Test- Treat) යන ක්‍රමවේදයයි.ඒ අනුව මාර්තු 31 වැනිදා රජය  ගත් තීරණයකට අනුව කුඩා ජන කණ්ඩායම්වල පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම ඉතාම නිවැරදි  තීරණයකි. දැනට රජයේ වසංගත රෝග අධ්‍යයන ඒකකය( Epidemiology Unit) නිකුත් කර ඇති උපදෙස් වලට අනුව COVID-19 සඳහා පරීක්ෂණයට භාජනය කරනු ලබන්නේ උග්‍ර ස්වසන ආබාධ ඇති පුද්ගලයන් හෝ පසුගිය දින ද14 ක කාලය තුල විදෙස් ගත වූවන් පමණි. උග්‍ර නිව්මෝනියා (pneumonia) තත්වයන්ට මුහුණ දී සිටින   පුද්ගලයන් රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වෛද්‍ය උපදෙස් මත පරීක්ෂාවට භාජනය විය හැකියි. උණ සහ ශ්වසන හා ආබාධ (respiratory distress) ඇති අයට ද පරීක්ෂාවට ලක් විය හැකි බවට නිර්දේශ පුළුල් වුවද COVID-19 සඳහා සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් හට ද COVID-19 රෝග පරීක්ෂාවට ලක් විය හැකි බවට නිර්දේශ තව තවදුරටත් පුළුල් විය යුතු වේ. 

ශ්‍රී ලංකාව  දැනට COVID-19 සඳහා  මෙහෙයවා ඇති පරීක්ෂණ සංඛ්‍යාව 2277 වේ. එනම් පුද්ගලයන් මිලියනයකට පරීක්ෂණ 87 පමණ වේ. නමුත් මෙම රෝගය සඳහා සාර්ථකව මුහුණ දුන් දකුණු කොරියාව වැනි රටවල් එවැනි පරීක්ෂණ 410,564 ප්‍රමාණයක් සිදු කර ඇත. එනම් පුද්ගලයන් මිලියනයකට පරීක්ෂණ 7971.04  පමණ වේ.  COVID-19 සඳහා මුලින් ඉතා උදාසීන ප්‍රතිචාරයක් දැක්වූ ඇමරිකා එක්සත් ජනපදය ද පසුගිය සති කිහිපය තුල පරීක්ෂණ මිලියනයක් නිම කළ අතර  ඔවුන් දිනකට පරීක්ෂණ 100,000 ඉක්මවා සිදු කරනු ලබයි. “රෝග වාහකයන් හඳුනා හඳුනාගැනීම, පරික්ෂා කිරීම,  ප්‍රතිකාර කිරීම” (Trace-Test- Treat) යන ක්‍රමවේදය ඉතා සාර්ථක ප්‍රතිපත්තිමය තීරණයක් බවට පත්වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ දැනට රාජ්‍ය අංශයේ සහ විශ්ව විශ්වවිද්‍යාලවල  රසායනාගාර හැර පෞද්ගලික අංශයට PCR Testing පරික්ෂා කිරීමේ පවතින ධාරිතාව වනුයේ  විද්‍යා පර්යේෂණාගාර තුනක් පමණි . මුලින්ම පුද්ගලික අංශයට PCR testing පරීක්ෂාව කිරීමට තහංචි පනවා තිබුණත් දැන් එම තහංචි ලිහිල් කර  තිබේ . COVID-19 සඳහා පරීක්ෂණ කිරීමේ හැකියාව රජය, පෞද්ගලික අංශය සහ එම පෞද්ගලික අංශවල සැපයුම් සේවාදායකයින් (Supply chain partners) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් සහ කඩිනම් දැනුම්  හුවමාරුවෙන් (Knowhow transfer) ඉතා ඉක්මනින් “ COID 19 - සඳහා පරීක්ෂණ කිරීමේ හැකියාව” (testing Capacity) වැඩි කර ගත යුතුවේ. ශ්‍රී ලංකාවට මුදල් වියදම් කිරීමේ හැකියාව මේ අවස්ථාවේ එතරම් ධනාත්මක නොවන නිසා මේ සඳහා ආයෝජනය කිරීමට කැමති ධන පරිත්‍යාග ලාභීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් වේ . එමඟින් පරීක්ෂණ කිරීම(Testing) සහ රෝග වාහකයා හඳුනා ගැනීමේ ක්‍රියාවලියට (Tracing)  මූලිකත්වය ලබා දීමට හැකියාව ලැබේ.

COVID-19 මර්දනය සඳහා ගන්නා ප්‍රතිපත්ති තීරණ අදියර වශයෙන් සිතීම වැදගත් වේ.  රෝගය ව්‍යාප්ත වීම පාලනය කර කරග ගන්නා (Containtment) පළමු අදියරේ දී සමාජ දුර්ස්ථ දුරස්ථභාවය පවත්වා (Social Distancing) ගැනීමත්, රෝග පරීක්ෂාවට (Testing) ඇති ධාරිතාව වැඩිකර ගැනීමත්  ප්‍රමුඛත්වයක් ගතයුතු වේ . 

COVID-19 පරීක්ෂණ කිරීමේ ධාරිතාව (Testing Capacity) වැඩි වැඩිකර ගැනීම සඳහා මූල්‍යමය සහ ආර්ථික ප්‍රතිපාදන වැය වුවද,  රජය ක්‍රමවත්ව නිවැරදි තීරණ අනුගමනය කිරීමෙන් එහි බලපෑම් අවම කරගත හැකිවේ. පළමු අදියරේ දී රෝග පරීක්ෂාව සඳහා ධාරිතාව වැඩිකර ගැනීමෙන්, දෙවන අදියරේදී ආර්ථිකමය කටයුතු නැවත ආරම්භ කිරීමටත්, සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම සඳහා ක්‍රමවත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් සහ පරික්ෂා කිරීමේ හැකියා හැකියාව තවදුරටත් පවත්වා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට  හැකි වනු ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගෙන Advocata ආයතනය (Advocata Institute)  පරීක්ෂණ ධාරිතාව (Testing Capacity) වැඩිකර ගැනීම සඳහා අවධානය යොමු කරන ලෙස කාරුණිකව යෝජනා කර සිටිමු. 

  • දැනට විශ්ව විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ පවතින පරික්ෂා කිරීමේ හැකියාව උපරිමයෙන් භාවිතා කිරීම  

  • පුද්ගලික අංශය සමග එක්ව පරික්ෂා කිරීමේ උපකරණ ගෙන්වා ගැනීමට ඇති බාධා ඉවත් කිරීම සහ පරීක්ෂණ ධාරිතාව වැඩිකර ගැනීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කිරීම. 

  •  පරීක්ෂාවට භාජනය වීම සඳහා වසංගත අධ්‍යන ඒකකය (Epidomology Unit) මගින් නිකුත්කර ඇති නිර්දේශ යාවත්කාලීන කිරීම සහ ප්‍රජාවේ කුඩා ඒකක තුළ පරීක්ෂණ මෙහෙයවීම සඳහා ඇති හැකියාව වැඩි කරමින් පුළුල් කිරීමට  කාරුණිකව නිර්දේශ කරනු ලබයි. 

සකල ප්‍රශ්න වලට විසඳුම රාජ්‍ය අයිතිය නොවේ

Originally appeared on Facebook

By Rohan Samarajiva

අලුත් ම කතාව නම් මෙබඳු දුෂ්කර අවස්ථාවල ජනතාවට ආහාර සැපයිය හැකි එක ම ක්‍රමය එය වන නිසා රජයට අයත් සිල්ලර වෙළෙඳ ආයතන තිබීම අත්‍යවශ්‍ය බව යි. ඊට පෙර කීවේ, චීනයේ සිර වී සිටි සිසුන් මුදාගැනීමේ එක ම ක්‍රමය එය වන නිසා මහජන මුදල් ගිලදමන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අවශ්‍ය බව යි. ඉතා ම දැනුම් තේරුම් ඇති උදවිය පවා හැම ප්‍රශ්නයට විසඳුම ඍජු රාජ්‍ය මැදිහත්වීම සහ රාජ්‍ය අයිතිය ඇති සමාගම් යැයි පිළිගැනීමට පෙළඹෙති.

ඇඳිරි නීති අවස්ථාවේ ආහාර සැපයුමේ ඒකාධිකාරය සතොස හා ලක් සතොස ආයතනවලට ලබාදීම හේතු ගණනාවක් නිසා වැරදි ය. පළමුවැනි කරුණ නම් කොතරම් කැපවීමෙන් හා කාර්යක්ෂම ලෙස ක්‍රියා කළ ද, දශ ලක්ෂ 5.4ක් කුටුම්භවලට සැපයුම් ලබාදීමට ඔවුන්ට හැකියාවක් නොවීම යි. සාමාන්‍ය තත්ත්වයේ දී සැපයුම්කරුවන් රාශියක් විසින් භාණ්ඩ සැපයු වෙළෙඳපොළට සැපයීම් කිරීමට මුළු වෙළෙඳපොළෙන් කුඩා කොටසක් පමණක් හිමිව සිටි සැපයුම්කරුවකුට හදිසි නීතිය තිබු පමණින් හැකියාව ලැබෙතැයි බලාපොරොත්තු වීම යථාර්ථවාදී නොවේ. එයට අවශ්‍ය සැපයුම් දාමය හෝ ධාරිතාව ක්ෂණයකින් සකසා ගැනීමට සතොසට හැකිවන්නේ නැත.

දෙවැනි කරුණ වන්නේ, ආණ්ඩුවේ ක්‍රියාකාරීන් විසින් තීරණය කරනු ලබන සම්මත බඩු මල්ල ලෙස වුවද, භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාව අත මුදල් තිබිය යුතු වීම යි. පෞද්ගලික සිල්ලර වෙළෙඳුන්ට තම ව්‍යාපාර වසා තැබීමට සිදු වුවහොත් ඔවුනට සේවය කරන සේවකයන්ට මෙන් ම ඔවුන්ට සැපයුම් කරන ආයතනවල සේවකයන්ට ද රැකියා අහිමි වන අතර ඒ නිසා ම ඔවුන් අත මුදල් නැති වෙයි. දශ ලක්ෂ 5.4ක් වූ කුටුම්භ වෙත තම සම්මත බඩු මල්ල සැපයීමට යම් හෙයකින් සතොස සමත් වුව ද , එය මිල දී ගැනීමට ගැනුම්කරුවන් අත මුදල් නොමැති වුවහොත් සියල්ල නිෂ්ඵල බවට පත්වෙයි. කෙනකු අතේ මුදල් නැත්නම් ඔහුට හෝ ඇයට පරිභෝජනය කළ නොහැකි වෙයි.

තෙවැනි කරුණ නම් ආණ්ඩුව තීරණය කරන දේ පරිභෝජනයට මහජනයා පොළඹවා ගත හැකිය යන අදහස ම වැරදි එකක් වීම යි. 1970-77 කාලයේ දී බොහෝ දේ සිදුවුයේ ඒ ආකාරයෙනි. නමුත් මේ අද කාලය යි. ඒ අඳුරු අතීතය අභිබවා අප ඉදිරියට ගොස් ඇතැයි බලාපොරොත්තු විය යුතු ය.

සතොස වලිප්පුවට පහසු විකල්පයක් වන්නේ යම් අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වීමට විශාල සුපිරි වෙළෙඳ ජාලවලට ඉඩ ලබාදීම යි. සැපයුම් ජාලය පවත්වාගෙන යාමේ සහ විද්‍යුත් වෙළෙඳාමේද හැකියාව (කීල්ස් වෙබ් අඩ්විය බිඳවැටී තිබුණ ද) ඔවුන් සතු ය. ඇඳිරි නීතිය ට පෙර සහ අතරතුර පාරිභෝගික ඉල්ලුම උච්චවු අවස්ථාවල ඔවුහු විශාල සේවයක් කළහ. හුරු පුරුදු වෙළෙඳ ආයතනවලින් මිල දී ගැනීමට ඉඩ දුන් විට විවේචනය කරන පන්ති ද නිහඬ වනු ඇත. එම ආයතන ඇත්තේ කිහිපයක් නිසා, ඇඳිරි නීති අවස්ථාවේ අනවසර ගමන් පාලනය අතින් හෝ මේවා නියාමනය කරගැනීම පහසු ය. 1989 දී ජවිපෙ එය රට පුරාම කළේ ය. 90,000 ක පොලිස් බලකායකට අද එය කළ නොහැක්කේ ඇයි ?

හොඳම තත්ත්වය නම් ආණ්ඩුව පහසු විකල්පවලට සීමා නොවීම යි. කුඩා මට්ටමේ සිල්ලර වෙළෙඳුන් කෙසේ හෝ පවත්වා ගෙන යා යුතු ය. පාරිභෝගිකයාට කිට්ටු ඔවුහු විශාල සේවයක් කරති. සෑම කුඩා කඩයක් ම ජීවනෝපාය රාශියකට ආධාර වෙයි. එසේ වුව ද ඒවා නියාමනය කිරීම අපහසුය. දන්න අඳුනන ළඟ පාත ගැනුම්කරුවන්ට ඇඳිරි නීතිය තිබියදීත් බඩු විකිණීමට ඔවුන් පෙළඹෙනු ඇත.

නියාමනයක් කුමටද?

එකිනෙකා අතර පවත්වා ගත යුතු දුරස්ථ භාවය තබාගන්නේ නැති ව පහසුවෙන් ජනයා එහා මෙහා යන තත්ත්වයක් ඇති වුවහොත්, රටට හා ජනතාවට විශාල ආර්ථික හානියක් ඇතිකරන ඇඳිරි නීතිය පවත්වාගෙන යාම අර්ථ ශුන්‍යවෙයි. පහුගිය දවස් වල සමහරු බෙහෙත් වට්ටෝරු පෙන්වා නෑ මිතුරන් ආශ්‍රය කරන්නට ආ ගිය බව පෙනෙන්නට තිබිණි. රජයේ ඔසුසල් හැර සියලු ම ඖෂධ අලෙවිසල් වසාදැමීම තරම් දරුණු තීරණයකින් තොරව මෙය පාලනය කළ හැකිව තිබිණි. කරුණු සොයා බලා නිකුත් කරන හදිසි නීති බලපත්‍ර මෙයට සරල විසඳුමක් නොවන්නේද? නමුත් අසාධාරණ ලෙස මේවා නිකුත්කිරීමට විරුද්ධ ආරක්ෂාවක් ලෙස දුන්නේ කාටද කිනම් හේතුවකට යන්න අන්තර්ජාලයේ පල කල යුතුය.

නියාමනයට තවත් හේතුවක් විය හැක්කේ මිල පාලනයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි. ටින් මාළු සහ පරිප්පු සඳහා නියම කළ යථාර්ථවාදී නොවන මිල ගණන් වල ස්වභාවික ප්‍රතිඵලය වන්නේ සලාක ක්‍රම, සැපයුම අඩුවීම හෝ නැතිවීම සහ කළු කඩ ඇතිවීමයි. සලාක පවත්වා ගැනීම සහ පාඩුවට විකිණීම යන දෙක ම රජයට අයත් සිල්ලර වෙළෙඳ ආයතනවලට පහසුවෙන් කළ හැකි ය. රජයට අයත් ආයතන පවත්වාගැනීමට හේතුව එය ම බව කෙනෙකුට කිව හැකි ය. තම වියදම පියවා නොගත්තොත් බංකොලොත් වන පෞද්ගලික ආයතනවලට මෙන් නොව එපා කියන තෙක් පාඩු පිට විකිණීමට රජයට අයත් සිල්ලර වෙළෙඳසල්වලට හැකියාව ඇත. ඔවුන්ගේ පාඩු භාණ්ඩාගාරය, එනම් අප, විසින් දරනු ඇත.

රාජ්‍ය අයිතියට කළ නොහැකි එක දෙයක් නම් කළු කඩ නැතිකිරීමයි. 1970-77 කාලයේ පෙන්නුම් කළ පරිදි , දුර්ලභ භාණ්ඩ සඟවාගැනීමත් ඒවා වැඩිමිලට විකිණීම හෝ බලවතුන්ට අනුග්‍රහ ලෙස ලබාදීමත් සිදුවිය හැකි ය (සතොසේ සේවය කල මර්වින් සිල්වා දේශපාලනයට ප්‍රවේශවුනේ මේ ක්‍රමයෙන් බව තතු දන්නෝ කියති). පරිප්පු සහ ටින් මාළු කළුකඩ ජාවාරම දැනටමත් ආරම්භ වී තිබිය හැකි ය.

තරඟකාරී වෙළෙඳපොලක දී මිල පාලනය අවශ්‍ය නැත. ඇඳිරි නීතිය තුළ ලබාදෙන කාල සීමාවල දී හෝ බඩු බෙදාහැරීමේ දී සැපයුම්කරුවන් වැඩි ප්‍රමාණයකට ඉඩ ලබාදෙමින් ක්‍රියාත්මක කළ හැකි අසම්පූර්ණ හෝ තරඟකාරීත්වයක් පවත්වාගෙන යා හැකි ය.

රාජ්‍ය අයිතිය යෝජනා කිරීමේ ඇත්ත හේතුව

ආණ්ඩුවේ දැන් සිටින ප්‍රධාන තීරණ ගන්නා උදවිය අතරින් වැඩි දෙනෙකු හැදුණු වැඩුණු කාලය වන්නේ 1960 සහ1970 ගණන් ය. අඛණ්ඩව අළුත් දේ ඉගෙනීම පුරුද්දක් කර නොගත් උදවිය ඇද වැටෙන්නේ තමන් හැදුණු වැඩුණු කාලයේ උකහාගත් අදහස් වෙතට යි. කීර්තිමත් ආර්ථික විද්‍යාඥ ජෝන් මේනාඩ් කේන්ස්ට වඩා හොඳින් මේ ව්‍යාධිය මට විස්තර කල නොහැක.

“ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ දේශපාලන දාර්ශනිකයන්ගේ අදහස් , එවා නිවැරදි වන විට හා ඒවා වැරදි වන විට යන අවස්ථා දෙකේ දීම, අප පොදුවේ තේරුම් ගන්නවාට වඩා බොහෝ බලවත් ය. සත්‍ය වශයෙන්ම ලෝකය පාලනය කරන වෙනත් දේ නැති තරම්ය. කිසිදු බුද්ධිමය බලපෑමකට තමන් හසු වී නැතැයි විශ්වාසකරන ප්‍රයෝගික මිනිස්සු, සාමාන්‍යයෙන් කිසියම් අක්‍රිය ආර්ථික විද්‍යාඥයකුගේ වහල්ලු වෙති. සුළගේ එන හඬවලට සවන් දෙන, බලයේ සිටින පිස්සු මිනිසුන් තම උමතුව පෙරාගන්නේ වසර ගණනකට පෙර ලියැවුණු ඇතැම් ශාස්ත්‍රීය ලියැවිලිවලිනි. අදහස්වල බලපෑම ව්‍යප්තවීම හා සසඳන විට පාර්ශවකරුවන්ගේ බලය විශාල ලෙස අතිශයෝක්තියට නඟා ඇති බව මගේ විශ්වාසයයි.

වයස අවුරුදු විසිපහ හෝ තිහ ඉක්මවූ පසු නව න්‍යායන්ගේ බලපෑමට ලක් වූ වැඩි පිරිසක් නැත. එබැවින් වත්මන් සිදුවීම් සඳහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් මෙන් ම උද්ඝෝෂකයින් පවා යොදාගන්නා අදහස් අලුත් ඒවා නොවේ. ඉක්මනින් හෝ කල් පසු වී, හොඳට හෝ නරකට බල පාන්නේ අදහස් ය.”

ප. ලි.

ආණ්ඩුවේ බලධාරීන්ගේ රාජ්‍ය කේන්ද්‍රීය සැලසුම් අසාර්ථක වන බව පෙනී පෙනී බකන් නිලා නොසිට තම දිවි පෙවෙත රැකගැනීමටත්, එමගින් ජනතාවගේ සාගින්න නිවීමටත්, සුළු ව්‍යාපාරිකයෝ උත්සුක වූහ. මධ්‍යම ආණ්ඩුවේ සහ වැඩ බලන පොලිස්පතිගේ නියෝග පසෙකින් තබා තමන්ගේ ප්‍රදේශ වල කඩ ඇරීමටත් බට්ටෝ වීල් යනාදිය මගින් වෙළෙඳාම කරන්නටත් ජනතාවට සමීප නිලධාරීහු ඉඩ දුන්හ. දඹුල්ලේ එළවලු අලෙවි කරගන්නට බැරි වීමෙන් විදහා දැක්වෙන සැපයුම් දාම වල ගැඹුරු ප්‍රශ්න ඉක්මණින් නොවිසඳුව හොත් මෙම තාවකාලික පැලැස්තර ගැලවෙන්නට ඉඩ ඇත. එසේ නොවේවා යයි අපි පතමු.

සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අපහසු ය - Advocata

Originally appeared on Ada Derana, Citizen.lk, and Lanka News Today

Advocata Institute ‘කුඩා ව්‍යාපාර නියාමනය සහ පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි’ ව්‍යාපෘතියේ නවතම වාර්තාව එළිදක්වයි

කොළඹ , ශ්‍රී ලංකාව - Advocata Institute නවතම වාර්තාව “පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි” 2020 මාර්තු 5දා පවත්වනු ලැබී ය . කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යාපාර මුහුණදෙන නීතිමය හා නියාමන බාධක ඉවත් කරගැනීම සදහා ඔවුන් දැන් කරගෙන යන කටයුතුවල කූටප්‍රාප්තිය ලෙස , රතු පටි ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව ලෙස මෙම උත්සවය වැදගත් වෙයි .

Advocata Institute තමන්ගේ නවතම වාර්තාව ලෙස “ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසාය වලට ඇති බාධා” වාර්තාව

ද එලි දක්වනු ලැබූ අතර දිවයින පුරා කළ සමීක්ෂණයකින් සකස් කළ වාර්තාවෙන් රටේ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසාය පිලිබදව සමස්ත චිත්‍රයක් තේරුම්ගත හැකි වනු ඇත . මෙම ව්‍යවසායයන්ට මුහුණදීමට සිදුව ඇති මුල්‍ය, ලියාපදිංචිය, ඉඩකඩ සහ ශ්‍රමය ඇතුළු විවිධ නියාමන බාධක සමීක්ෂණය මගින් හෙළිදරවු කොට ඇත. මෙම බාධක අතරින් එකක් ගැන අවධානය යොමුකරන වාර්තාව එම ක්‍රියාවලිය විධිමත් හා යථාර්තවාදී කිරීමට නිර්දේශ යෝජනා කොට ඇත.මෙම වාර්තාවෙන් හදුනාගෙන ඇති මුලික කාරණයක් වන්නේ සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකාව තුල අපහසු බවයි

පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මුහුණ

දෙන නීතිමය හා නියාමන බාධක හදුනාගැනීම , අධ්‍යයනය කිරීම හා ඒවා ඉවත්කිරීම වෙනුවෙන් පෙනීසිටීම යි . මෙහි මුල් පියවරක් වශයෙන් Advocata Institute “ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවලට ඇති නීතිමය හා නියාමන බාධා” පිලිබඳ වාර්තාව එලි දක්වනු ලැබූවා. මෙහිදී නීතිමය හා නියාමන බාධක ඉවත් කළ යුතු හෝ සරළ කළ යුතු රජයේ ක්‍රියාවලි හා නීතී රීති පිළිබඳව ව්‍යවසායකයින්ට තම කලකිරීම හෝ අදහස් ඉදිරිපත්කිරීම සදහා www.redtape.lk වෙබ් අඩවියක් ද ආරම්භ කෙළේ ය.

මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යන ලද්දේ, තම ව්‍යාපාර ආරම්භ කිරීමේ දී මුහුණදීමට සිදු වූ බාධක හා ඔවුන් විශ්වාස කරන අන්දමට ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න අඩු කිරීමට හැකිවන ලෙස ක්‍රමය වෙනස් කළ හැකි ආකාරය ගැන විස්තර කරමින් සිංහල, දෙමල, සහ ඉංග්‍රීසි භාෂාවලින් රචනා යොමු කරන ලෙස දිවයින පුරා ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටිමින් Advocata Institute ක්‍රියාත්මක කළ අන්තර්ජාල රචනා තරගය මගිනි. මාඩසාමි සුවෙන්තිරන් ප්‍රථම ස්ථානය දිනා ගත් අතර දෙවන ස්ථානය විකුම් රාජපක්ෂටත් තෙවන ස්ථානය එලිජා හූල්ටත් හිමිවී ය.

ආචාර්ය එස් රාජපතිරණ (සභාපති, අධ්‍යාපනික වැඩසටහන්, Advocata Institute) මිලින්ද රාජපක්ෂ (සභික , කොළඹ මහ නගර සභාව) සහ අචලා සමරදිවාකර (සම ආරම්භක සහ කළමනාකාර අධ්‍යක්ෂ , ගුඩ් මාකට් ආයතනය) සහභාගී වූ කණ්ඩායම් සාකච්ඡාවක් ද උත්සවයට ඇතුළත් විය . ධනනාත් ප්‍රනාන්දු (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, Advocata Institute) විසින් කණ්ඩායම් සාකච්ඡාව මෙහෙයවනු ලැබීය.

View this article in English here.

Advocata Institute ඉදිරිපත් කරන “පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි” විශේෂ වාර්ථාව සහ ව්‍යාපෘතිය මාර්තු 5 වැනි බ්‍රහස්පතින්දා

Originally appeared on Citizen, Daily FT, Daily News, and Daily Mirror.

Advocata Institute සුළු සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණදෙන නීතිමය ගැටලු ගැන නවතම අධ්‍යන වාර්තාවක් මාර්තු 5 වැනිදා ලක්ෂ්මන් කදිර්ගාමර් කෙන්ද්‍රයේ, ලයිට් හවුස් ශ්‍රවනාගාරය, කොළඹ 07දී එළිදක්වනු ලබනවා. එම අධ්‍යන වාර්ථාව නම් කර තිබෙන්නේ “Legal and Regulatory Barriers for Micro and Small Entrepreneurs” (කුඩා ව්‍යාපාරිකයන්ට බාධා කරන නීති සහ රෙගුලාසි) යන නමින්. මේ වාර්ථාව පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසියන දීර්ග ව්‍යාපෘතියක ආරම්භයයි. ඒක පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් ලියාපදිංචි කිරීම ගැන මෙම වාර්තාවෙන් අවධානය යොමු කරනවා.

පොඩි ව්‍යාපාර පොඩි කරන රතු පටි රෙගුලාසි ව්‍යාපෘතියේ මූලික අරමුණ ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට බාධා පමුණුවන අනවශ්‍ය නීති සහ රෙගුලාසි ඉවත් කිරීමට කතිකාවක් ආරම්භ කිරීමයි. එහි පළමු පියවර ලෙස Advocata Institute විසින් Legal and Regulatory Barriers for Micro and Small Entrepreneurs” (කුඩා ව්‍යාපාරිකයන්ට බාධා කරන නීති සහ රෙගුලාසි) යන විශේෂ වාර්තාව එළිදක්වනු ලබනවා. එම උත්සවයේදී කුඩා ව්‍යපාරිකයන්ට රතු පටි රෙගුලාසි නිසා ඇතිවන අපහසුතා පිලිබඳ ඔවුන්ගේ කඳුළු කතා සහ එම අපහසුතා වලින් මිදීමට රජයට ගත හැකි තීරණ භාරදිය හැකි වෙබ් අඩවියක් ද කුඩා ව්‍යාපාරිකයන් වෙත විවෘත කරනු ලබනවා.

මෙම කතිකාවතට සහභාගිවනේ ආචාර්ය සරත් රාජපතිරණ (සභාපති - අධ්‍යන අංශය Advocata

Institute), මිලින්ද රාජපක්ෂ (කොලඹ නගර සභා නාගරික මන්ත්‍රී), අචලා සමරදිවාකර (විධායක අධ්‍යක්ෂිකා සහ ප්‍රාරම්භක - Good Market) සහ ජනාධිපති කාර්ය මණ්ඩල නියෝජිත.

උත්සහවන්ත ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ව්‍යවසායක කතාව ඉදිරිපත් කල #mystorylk තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමත් මේ උත්සවයේ අරමුණක්. තරඟයේ ජයග්‍රාහකයන් අතරින් ප්‍රථම ස්ථානයට රු. 100,000 ද , දෙවන ස්ථානයට රු. 50,000 ද, තෙවන ස්ථානයට රු. 25,000ක්ද තවත් සැනසිලි ත්‍යාග 10ක්ද පිරිනමනු ලබයි.

ඇතුල් වීම නොමිලේ!

මාර්තු 5 (බ්‍රහස්පතින්දා) සවස 6.00 සිට

ලක්ෂ්මන් කදිර්ගාමර් කෙන්ද්‍රයේ, ලයිට් හවුස් ආයතනය, කොළඹ 07

ආසන සීමිතයි. දැන්ම මෙතනින් ලියාපදිංචි වන්න :https://forms.gle/qU7ykDXnHfmV5uLL6

View this article in English here.

ඩොලර් මිලියන 480ක එම්.සී.සී ප්‍රධානය ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධනීය හේතුවක් නොමැත

Originally appeared on Citizen.lk

එම්.සී.සී. ප්‍රදානය පිළිබඳ තීරණය කැබිනට් මණ්ඩලය විසින් ප්‍රමාද කළහොත් ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ඉඩම් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට  ලැබීමට නියමිත පොලී රහිත ආධාර අහිමි විය හැකිය.

වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නන්ගේ උත්සහයන් සහ පාලක ‘සභාගය’ අතර දේශපාලන වෙනස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්සීසී.) ප්‍රදානයක් අහිමි වීමේ අවදානමක් ඇත. එම්.සී.සී. ප්‍රදානය, ශ්‍රී ලංකාවට මෙතෙක් තනි මූලාශ්‍රයකින් සැපයෙන විශාලතම ප්‍රදානය වන අතර රටේ ආර්ථික වර්ධනයට ඇති සමහර සංරෝධකයන් නිරාකරණය කිරීමට වටිනා අවස්ථාවක් ලබා දේ.

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රදානය පිරිනැමීමට නියමිතව  තිබියදීත්, පවතින දේශපාලනික දුෂ්කෘතිය හේතුවෙන් රජය අවසන් ගිවිසුමට අත්සන් කිරීමට අපොහොසත් වී තිබේ. කැබිනට් අනුමැතිය නොලැබුනේ නම් සහ සැප්තැම්බර් 18 වන දින එම්.සී.සී. මණ්ඩල රැස්වීමට පෙර එකගතාවය අත්සන් කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට මෙම ප්‍රදානය අහිමිවීමේ අවදානමට ලක්ව ඇත.

එම්සීසී එකගතාවය යනු කුමක්ද?

එම්සීසී එකගතාවය යනු එක්සත් ජනපද රජයේ විදේශ ආධාර ඒජන්සියක් වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් විසින් අරමුදල් සපයනු ලබන ප්‍රදානයකි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ප්‍රධානීන් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියද, එම්.සී.සී. ස්වාධීනව වෙනම ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. යහපාලනය සඳහා කැපවීම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ආර්ථික නිදහස සඳහා ආයෝජනය කිරීම ඇතුළු විවිධ නිර්ණායකයන් මත රටවල් තෝරා ගැනීම සඳහා ආධාර ඒජන්සිය තරඟකාරී ක්‍රියාවලියක් භාවිතා කරයි. සුදුසුකම් ලත් රටවල්, ලෝක බැංකුවේ වර්ගීකරණයට අනුව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් වලට පමණක් සීමා වේ.

2017 දී ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවට වසර 5 ක ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ප්‍රදානය කර තිබේ. තෝරාගත් රටවල් ආර්ථික වර්ධනය සඳහා ඇති බාධක හඳුනා ගැනීම සඳහා සංරෝධක විශ්ලේෂණ අධ්‍යයනයකට යටත් කෙරේ. ශ්‍රී ලංකාවේ අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ සහ එම්.සී.සී හි සහය ඇතිව ශ්‍රී ලංකා රජය විසිනි. 

හඳුනාගත් සංරෝධක මත පදනම්ව, සංයුක්තය සිය අරමුදල් මගින් වර්ධනය සඳහා වන තීරණාත්මක බාධක දෙකක් විසඳීමට උත්සාහ කරයි: (1) ප්‍රමාණවත් නොවන ප්‍රවාහන යටිතල පහසුකම් සහ සැලසුම්; සහ (2) කෘෂිකර්මාන්තය, සේවා අංශය සහ කාර්මික ආයෝජකයින් සඳහා ඉඩම් සඳහා ප්‍රවේශය නොමැතිකම. 

ප්‍රවාහන ව්‍යාපෘතිය මගින් කොළඹ අගනගරයේ බස් පද්ධති නවීකරණය කිරීමට සහ වඩා හොඳ රථවාහන කළමනාකරණයක් තුළින් මාර්ග ජාලවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. ප්‍රවාහන වියදම් අඩු කිරීමට සහ රටේ මධ්‍යම කලාපය සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල වරාය සහ වෙළඳපොළවල් අතර සංචලතාව ඉහළ නැංවීමටද මෙම ව්‍යාපෘතිය මඟින් කටයුතු කරයි. ඉඩම් ව්‍යාපෘතිය ඉඩම් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට සහ ඉඩම් තක්සේරුකරණ පද්ධති වැඩිදියුණු කිරීමට උත්සාහ කරයි. ජාතික ඔප්පු ලේඛනය ඩිජිටල්කරණය කිරීම සහ රටේ ඉඩම්වල නෛතික පාලනය ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙම ව්‍යාපෘතිය අවධානය යොමු කරනු ඇත.

විරෝධතාවයේ ස්වභාවය

ගිවිසුමට එරෙහි විරෝධතාවය වැඩි වශයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ බාහිර භූදේශපාලනික අභිප්‍රායන් පිළිබඳ  සහ ශ්‍රී ලංකාවේ ජාතික ස්වෛරීභාවයට ඇති තර්ජන කෙරෙහි පවතින බිය මතය. එම්.සී.සී පිළිබඳ අතිශයෝක්තිය, අත්පත් කර ගැනීම සහ හරස් සේවා ගිවිසුම (ඒසීඑස්ඒ) සහ බලකායන් ස්ථානගත කිරීමේ ගිවිසුම  (සෝෆා) අළුත් කිරීම සම්බන්ධ කතිකාව සමඟ ද බැඳී පවතියි. කෙසේ වෙතත්, එම්.සී.සී. ස්වාධීන සංවර්ධන නියෝජිතායතනයක් බවත්, ශ්‍රී ලංකා සංයුක්තය මිලිටරි ගිවිසුම් හා සම්බන්ධ නැති බවත් එම්.සී.සී ප්‍රකාශක වරුන් විසින් පැහැදිලිවම තහවුරු කර ඇත. ශ්‍රී ලංකා සංයුක්තයට ඔවුන් අතර ඇති සම්බන්ධතාවය අවම කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් මෙම මිලිටරි ගිවිසුම් දෙක එතැන් සිට අත්හිටුවා ඇත.1

මෙම ව්‍යාපෘති හරහා එක්සත් ජනපද රජයට ඉඩම් අත්පත් කර ගැනීම සහ ශ්‍රී ලංකා භූමිය තුළ හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා වන රහසිගත මෙහෙයුම් පිළිබඳව ද බියක් මතු වී ඇති අතර, ඉදිරි මැතිවරණයට පෙර එකගතාවය අනුමත කිරීමට කැබිනට් මණ්ඩලයේ කැමැත්තට එය බාධාවක් වී ඇත. ඉඩම් ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු වලට අනුව (එය මුළු ප්‍රදාන අයවැයෙන් 14% ක් පමණක් නියෝජනය කරයි), විධිනියෝගය අපේක්ෂා කරන්නේ හුදෙක් රජයේ පරිපාලන ධාරිතාවය ශක්තිමත් කිරීමට සහ තාක්‍ෂණික වැඩිදියුණු කිරීම්වලට සහාය වීමට ය. ප්‍රදානයේ විශාල කොටස (ඇමරිකානු ඩොලර් මිලියන 350 ක ප්‍රවාහන ව්‍යාපෘතිය) පොදු ප්‍රවාහන යටිතල පහසුකම්1 ප්‍රශස්තීකරණය කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මතු වී ඇති බිය පිළිබඳ කිසිදු යථාර්ථික පදනමක් ඇති බවක් නොපෙනේ.

රට මැතිවරණයකට ආසන්න බැවින්, නව ජනවරමක් ඇති ජනාධිපතිවරයෙකුට එම්.සී.සී. පිළිබඳ අවසන් තීරණය ගැනීමට ඉඩ දිය යුතුය යන තර්කය නිසැකවම යෝග්‍ය වේ. නමුත් සැප්තැම්බර් කාලසීමාව අනුව, මෙය ශ්‍රී ලංකාවට බලා සිටීමට කාලයක් නොමැති විය හැක.

බලය පවරන එක්සත් ජනපද ප්‍රඥප්තිය විසින් සංවර්ධන ව්‍යාපෘති1 සඳහා අඩු ආදායම්ලාභී සහ පහළ මධ්‍යම ආදායම් ලබන රටවලට අරමුදල් සැපයීමට පමණක් ඉඩ දී ඇති අතර, ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වී ඇති හෙයින් මෙම ඒම්.සී.සී ප්‍රදානය ප්‍රාග්ධනීකරණය කරගැනීමට ඇති අවස්ථාව අහිමි වී යා හැකිය. එම්.සී.සී. සැප්තැම්බර් මාසයේ දී මණ්ඩලය රැස්වූ විට, ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස රට වර්ගීකරණය කිරීමේ පදනම මත ප්‍රදානය සඳහා ශ්‍රී ලංකාව නුසුදුසු යැයි කල්පනය කළ හැකි බවට ඒම්.සී.සී.ය  ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.

මෙම කාලසීමාව සැලකිල්ලට ගෙන, සැප්තැම්බර් 18 වන දින මණ්ඩල රැස්වීමට පෙර කැබිනට් මණ්ඩලය විසින් ප්‍රදානය පිළිබඳ අවසන් කැඳවීමක් කිරීම හදිසි කාරණයකි.

අපට එය අවශ්‍ය වන්නේ ඇයි?

පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට බොහෝ සෙයින් ධාවක වී ඇත්තේ රජය විසින් විශාල ලෙස වියදම් කිරීමෙනි. කෙසේ වෙතත්, දුර්වල බදු ආදායම (2018 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.8%), ඉහළ අයවැය හිඟයන් (2018 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.3%1) සහ දැවැන්ත ණය (සමස්ත රජයේ ණය 2018 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 82.8% ක්2 විය) සමඟ වර්ධනය සඳහා රජයේ වියදම් මත දිගින් දිගටම යැපීම තිරසාර නොවන තත්වයට පත්වී තිබේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය මූලාශ්‍ර අතළොස්සක් වෙතින් ඉහළ ණය සංකේන්ද්‍රණයක් පැවතීම හේතුවෙන් බාහිර කම්පන සහ දුර්වල ජාතික සාර්ව ආර්ථික කළමනාකරණයට සහජයෙන්ම අවදානමට ලක්ව ඇත. 2018 දී, ශ්‍රී ලංකාවේ ණය ගැනීම් වලින් අඩක් පමණ පෞද්ගලික ප්‍රාග්ධන වෙළඳපොළවලින් ලබා ගත් අතර, 2018 දී ලබා ගත් මුළු ණය වලින් තුනෙන් එකක් පමණ චීනයෙන් පැමිණේ1. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ විදේශ ප්‍රතිපත්ති ස්ථාවරය යන දෙකටම දැඩි අස්ථායී ඇඟවීම් දක්වයි. 

එම්.සී.සී. ප්‍රදානයට මෙම ගැටළු දෙකටම විසඳුම් සැපයිය හැකිය. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සංවර්ධන මූල්‍ය ප්‍රභවයන් විවිධාංගීකරණය කරන අතරම ඉඩම් පරිපාලනය සහ අභ්‍යන්තර සංචලතා විකල්පයන් වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කරයි. අසමාන සංවර්ධනය හා අවුල් සහගත ඉඩම් පරිපාලනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පවත්වාගෙන යාමට විශාල බාධාවක් වී තිබේ.

අවසන් පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයේ දී සහ ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු මත පදනම්ව, සංයුක්තය ආකර්ශනීය සංවර්ධන අවස්ථාවක් ඉදිරිපත් කරන බව පෙනේ. එම්.සී.සී. යනු ප්‍රදානයක් මිස ණයක් නොවන අතර එබැවින් ආපසු ගෙවීම අවශ්‍ය නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. නියමිත වේලාවට එකගතාවය අත්සන් කිරීමට රජය අපොහොසත් වුවහොත් සහ ව්‍යාපෘති තනියෙන් කිරීමට ගැනීමට උත්සාහ කරන්නේ නම්, එයට අවශ්‍ය අරමුදල් වෙනත් බාහිර ප්‍රභවයකින් ණයට ගැනීම අවශ්‍ය වේ. 

මේ වසර මුලදී රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ජාත්‍යන්තර බැඳුම්කර වාර්ෂිකව 6.85% ක පොලී අනුපාතයකට නිකුත් කරන ලදී. අනාගත ණය ගැනීම් මෙයට සමාන තත්වයන් යටතේ සිදුවෙතැයි අපට උපකල්පනය කල හැක. මෙයින් අදහස් කරන්නේ රජය ණය මුදල ආපසු ගෙවීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ දැනටමත් වර්ධනය වෙමින් පවතින ණය තත්ත්වය වැඩි කරමින් ඒ සඳහා සැලකිය යුතු පොලියක් ද ගෙවීමට සිදුවන බවයි.

ප්‍රදානයට එරෙහිව තර්ක කිරීමට බලාපොරොත්තු වන්නන්, ඔවුන්ගේ තර්ක අප විසින් බැරෑරුම් ලෙස සැලකිය යුතු යයි සිතනවා නම් අදාළ ලියකියවිලි කියවා බලා නිසි සාක්ෂි සැපයිය යුතුය. මෙම අවස්ථාවෙහිදී, රජය විසින් සැප්තැම්බර් 18 ට පෙර එකගතාවය අත්සන් නොකිරීමට තීරණය කරන්නේ නම්, එය ජාතික ණය බර වැඩි කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය සංවර්ධනය ප්‍රමාද කිරීම තෝරා ගැනීමේ අවදානම දරා සිටී. එවැනි තේරීමක් පදනම් විය යුත්තේ හොඳ තර්කනයන් සහ සාක්ෂි මත ය. එය පුද්ගල ගැටුම්, නිරර්ථක බිය පතුවන්නන් හෝ සුළු දේශපාලනය නිසාවෙන්  නොවිය යුතුය.

View this article in English here.

අපේ තරුණ තරුණියන් විරැකියාවෙන් පෙළෙන්නේ ඇයි?

ලෝක යෞවනයන්ගේ දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විස්තර කරන්නේ “වෙනසක් කිරීමට හැකි තරුණ තරුණියන්ගේ වාර්ෂික උත්සවය” කියා යි. ලොව පුරාම තරුණ තරුණියන් නවමු අදහස් සමඟ නව ස්වයං රැකියා අදහස් සමඟ ධනාත්මකව ඉදිරියට ම ඇදෙනු අපට දකින්නට ලැබේ. මේ ‘සහස්‍රයේ දරුවන්’ වනාහි, අලුත් ලෝකයක් වෙත මංපෙත් එළිපෙහෙළි කරමින් තමන්ගේ නවෝත්පාදන හැකියාවන් මිහිතලයට දායාද කරන සුරදූතයන් වැනියි.

නමුත්, අපේ රටේ දකින්නට ලැබෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් කථාවකුයි. අලුත් ලෝකයක් දායාද කරන සුර දූතයන් වෙනුවට අපට දකින්නට ලැබෙන්නේ දක්ෂතාවෙන් ඔප මට්ටම් වූ නමුත්, රැකියාවකින් තොර තරුණ සමාජයකුයි. වැඩිහිටි සමාජය මේ තරුණ පරපුර කුසීත, ගුණමකු, කම්කරු වෘත්තීන්ට අකමැති, සුවිසල් රැකියා නමැති ඉනිමඟට පය තබන්නට අකැමැති අය ලෙස හඳුන්වනවා. කලාපයේ ඉහළම සාක්ෂරතාවය ඇති රට වුවත්, දශක හතරක් පමණ පුරාවට විරැකියාවෙන් පෙළෙන තුරුණු සමාජයක් යනු, සැබැවින්ම සාකච්ඡාවට බඳුන් කළ යුතු මාතෘකාවකි. ගෞරවයෙන් නිරත විය හැකි රැකියා පෙළක් අපිට යෞවනය වෙනුවෙන් දායාද කළ හැක්කේ කෙසේ ද?

උගත්, විරැකියාවෙන් පෙළෙන යෞවනයන් ශ්‍රී ලංකාවේ අවිධිමත් ශ්‍රම බලකායෙන් 30%ක් නියෝජනය කරයි. මෙයට බොහෝ විට හේතු වන්නේ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම්වල ඇති අඬු ලුහුඬුතාවන් වුව ද ඉහළ අධ්‍යාපනය ලැබූවන් පෞද්ගලික අංශයේ රැකියාවන්ට යොමු නොවීම හෝ ඒවායේ සුදුසුකම් ඉක්මවූ අය බවට පත් වීම ද හේතුවක් වග දක්නට තිබේ. කෙසේ නමුත්, ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන්ට පිවිසීමට අකමැත්ත පළ කරන යෞවනයන් ද ඒ අතර වෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන (2017) අනුව, රැකියා වෙළඳපොළ පුරප්පාඩු අඩුවෙන් ම සපිරෙන රැකියාවන් මෙසේයි:

  1. මහන මැෂින් ක්‍රියාකරුවන්

  2. ආරක්ෂක නිලධාරීන්

  3. වාණිජ්‍ය හා විකුණුම් නියෝජිතයින්

  4. වෙනත් නිෂ්පාදන කම්කරුවන්

  5. කාර්යයාල, හෝටල් සහ වෙනත් ආයතනවල පිරිසිදු කරන්නන් සහ සහායකයින්

මෙම දත්ත දෙස බලන විට, අවුරුදු 16ක් පුරාවට හොඳ අධ්‍යාපනයක් ලබා ඉහළ දැනුමක් සහිතව මෙවන් රැකියාවකට කෙනෙක් පිවිසෙන්නට මැළිවීම පුදුමයක් නොවෙයි. ඔවුන් අපේක්ෂා කරන්නේ ඉහළ සමාජ පිළිගැනීමක් ඇති, ජීවිත කාලය පුරාවටම රැඳිය හැකි සහ බදු ගෙවන්නන්ගේ මුදල් වලින් මහළු විය දක්වාම නිදහසේ යැපිය හැකි රජයේ රැකියාවක් ලැබෙන ‍තුරු බලා සිටීමට යි. ජනපතිවරණයක් හා මැතිවරණයක් කිටිටු කාලයකදී රජය ද මෙය ඡන්ද ලබාගැනීමේ හොඳ මාවතක් සේ සලකා පසුගිය මාසයේ උපාධිධාරීන් 16,000කට රැකියා ලබා දිනි. නමුත් දැනටමත් අතිරික්තව පවතින, අඩු වර්ධන වේගයක් දක්වන සහ අඛණ්ඩව ඉහළ විශ්‍රාම වැටුප් භාරයක් ජනතාවගේ කරපිට පටවන මෙම රාජ්‍ය අංශය වෙත කරන තව තවත් පත්වීම් යනු, තිරසාර බවින් තොර, දැඩි අස්ථාවර බවක් ජාතියට උරුම කරන ක්‍රියාවලියකි.

හිඩස වැසීම

“ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත වලට අනුව පෞද්ගලික අංශයේ පුරප්පාඩු වලින් ඉහළ නිපුණතා සහිත රැකියාවල නිරත වන්නේ 7.2% ක් පමණි.”

යෞවන සේවා නියුක්තියෙහි බහුතරයක් පෞද්ගලික අංශය සතු වන අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත වලට අනුව පෞද්ගලික අංශයේ පුරප්පාඩු වලින් ඉහළ නිපුණතා සහිත රැකියාවල නිරත වන්නේ 7.2% ක් පමණි. මන්දගාමී රැකියා උත්පාදනය ශ්‍රී ලංකා ආර්ථිකයේ කළු පැල්ලමක් බවට පත්ව ඇති අතර, අධික ලෙස රැකියා ආරක්ෂණ නීති සම්පාදනය සහ වෘත්තීය සමිතිවල විශෘල බලය සැලකිය යුතු ලෙස ශ්‍රම පිරිවැය ඉහළ නංවමින් රැකියා උත්පාදනය මන්දගාමී කරලීමට දායක වෙයි.

“මිලියන 1.5 ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන් විදෙස් රැකියා වෙත පිවිසෙති”

එහි ප්‍රතිඵලයක් වශයෙන්, මිලියන 1.5 ක් පමණ (ගෘහස්ථ ශ්‍රම බලකායෙන් දළ වශයෙන් පහෙන් එකක්) වූ ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදෙස් රටවලට පිවිසෙති. සුදුසුකම් ලත් ශ්‍රමිකයන් 40% ඉක්මවා මෙම ගණයට අයත් වන අතර මින් පිළිබිඹු වන්නේ මෙරට ඇති අගනා අවස්ථාවන් ඔවුන්ට අහිමිව ගිය බවයි. දේශීය නිපුණතාවන්ට අවස්ථාවක් නොමැති මෙවන් ඉහළ, මධ්‍යම ආර්ථිකයක් වනාහි සැබැවින්ම දෑස් හැර බැලිය යුතු කාරණාවකි.

ජනගහනය තුළ වයස්ගත යැපෙන්නන් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන ශ්‍රී ලංකාව දැන් කළ යුත්තේ, ඉතා හොඳ රැකියා උත්පාදනයක් මඟින් තම ශ්‍රම බලකායෙහි උපරිම ප්‍රයෝජනය ලබමින් තිරසාර වර්ධන රටාවකට පිවිසීම යි. එයට හොඳ ක්‍රමයක් වශයෙන් සෘජු විදේශීය ආයෝජන සඳහා තරගකාරිත්වය සහ විවෘතභාවය වැඩි කිරීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගොඩ නැගීම කළ හැකි බව පෙනේ. එමඟින් විදේශීය සමාගම් නව තාක්‍ෂණය හා වඩා හොඳ කළමනාකරණ භාවිතයයන් ශ්‍රී ලංකා වෙළඳපොළට විවෘත කිරීමෙන් වඩාත් ඵලදායී හා ඉහළ වැටුප් සහිත රැකියා උත්පාදනය වනු ඇත. වෙළඳ නිදහස මඟින් උගත් වෘත්තිකයන්ට ද කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන් තුළ ඉහළ රැකියා අවස්ථාවන් දායාද වෙයි. නිවැරදි ප්‍රතිසංස්කරණයන් සමග විදේශ ආර්ථිකයන් හා සක්‍රීයව සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවේ උසස් රැකියා උත්පාදනයට පුළුල් ද්වාරයන් රැසක් විවෘත වන බැවින් රැකියා විරහිත පුහුණු උපාධිධාරීන් රැසකට ජාතික ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් දිය හැකි වෘත්තීයයන් හි නියැලීමට අවස්ථාව උදා වෙයි.

එසේම, ලෝක ආර්ථිකය වැඩි වශයෙන් සේවා, පුද්ගලික පරිභෝජන සහ ඩිජිටල් අලෙවිකරණය වෙත යොමු වෙමින් පවතින සමයක, සාම්ප්‍රදායික රජයේ රැකියාවන් මත ම නොයැපී නවෝත්පාදන හා ස්වයං රැකියා අවස්ථාවන් වෙත යොමු වීමට තාරුණ්‍යයට මං පෙත් සැලසීම අත්‍යාවශ්‍ය කරුණකි. අප රටේ පර්යේෂණ හා සංවර්ධන ආයෝජනය රජයේ මුළු වියදමෙන් (2017) 0.07% ක් පමණක් වන අතර නව නිෂ්පාදන නිපදවීමේ සහ නව සොයාගැනීම් වලින්  ඉහළ ඵල නෙලාගැනීමට නම්, ඒ වෙනුවෙන් යොදන පෞද්ගලික හා මහජන අරමුදල් ප්‍රමාණය ද ඒ සමාන්තරව වැඩි කළ යුතුය. බුද්ධිමය දේපළ අයිතීන් වෙත වැඩි සහයෝගයක් ලබා දීම, වර්ධනය වන ව්‍යාපාරයන්ට මූල්‍ය සහයෝගයන් ලබාදීම සහ ඒවාට ඉහළට ඒමට අතදීම මඟින් ස්වයං ව්‍යවසායක තාරුණ්‍යයට මහඟු අත්වැලක් සැපයිය හැකිය.

ව්‍යවසායකත්වය (නව ව්‍යාපාර ඇරඹීම) සහ ආර්ථිකයට විවෘත වීම 

ශ්‍රී ලංකාව වඩාත් නව හා පුළුල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සඳහා ව්‍යවසායකත්වය මහත් පිටිවහලක් වේ. එමෙන්ම එය ඉන් නොනැවතී දේශීය හා ජාත්‍යන්තර වෙළඳපළ පුරා විවිධ කර්මාන්තයන් වල අතර තරඟකාරී බවක් හා උසස් තත්ත්වයේ රැකියා රැසක් නිර්මාණයට ද දායක වෙයි. නව නිපැයුම් නිෂ්පාදනය වෙත ආයෝජනය කිරීමෙන් ලෝක තාක්ෂණික දැවැන්තයන්ගේ අවධානය සහ ආයෝජනයන් පහසුවෙන් ළඟා කරගත හැකි බව ඊශ්‍රායලය සහ සිංගප්පූරුව වැනි කුඩා රටවල් හොඳින් පෙන්වා දී තිබේ. එම දෙරටෙහි ම තාක්ෂණයේ නිම් වළලු පුළුල් වන්නට හේතු සාධක වූයේ රජයේ සහ පෞද්ගලික අංශයේ සම-සහයෝගීත්වයෙන් ගොඩනැගූ ආර්ථික පරිසරය සහ විවිධාංගීකරණය වෙත නිදහසේ දෑත දිගු කිරීම යි. 

ශ්‍රී ලංකාව සිය තරුණ ශ්‍රමයෙහි උපරිම ඵල නෙලා ගන්නට අපේක්ෂා කරන්නේ නම්, ප්‍රථමයෙන් ශ්‍රම බලකායේ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු වේ. එහි ලා සාම්ප්‍රදායයෙන් ඔබ්බට ගිය වෘත්තීය මාර්ගයන් ප්‍රවර්ධනය කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශය අතර වැඩි සබඳතාවක් ගොඩ නගාලීම අත්‍යවශ්‍ය වේ. ඒ හා විදේශීය සහභාගීත්වයට ඇති වත්මන් බාධකයන් ද ඉවත් කළ යුතු වේ. චින්තනයේ විවිධත්වය සහ නව අදහස් සන්නිවේදනය වූකලී නවෝත්පාදනයේ ප්‍රධාන ගාමක බලවේගය බවට සනාථව පවතින අතර, ජනතාවට හිතකර ප්‍රතිපත්ති, සහ ආයෝජන රෙගුලාසි ඉවත් කිරීම තුළින් ඒවා ප්‍රවර්ධනය කළ හැක. නවමු ශ්‍රී ලාංකික ආර්ථිකයක් සඳහා පදනම සැකසීමට නම්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විදේශ ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමට සහ ගෝලීය ස්වයං ව්‍යවසාය පුරෝගාමීන්ගෙන් උගෙනීමට ඉඩහසර සැලසිය යුතුය.

සංක්‍රමණික ප්‍රතිපත්ති සහ ශ්‍රම ප්‍රවාහයන් විවෘත කිරීමෙන් ශ්‍රී ලංකාවට දේශීය කුසලතාවන් පිටතට ගලා යන්නට නොදීම මඟින් පුද්ගලික අංශයේ දැනට ඇති අඩු-නිපුණතාමය පුරප්පාඩු සපුරාලන්නට හැකිවනු ඇත. ඉන්දියාව, නේපාලය සමඟ ගොඩනඟාගත් විවෘත දේශ සීමා ප්‍රතිපත්ති මඟින් දැන් අඩ සියවසකටත් වඩා කාලයක් තුරාවට ඔවුන් සාර්ථකත්වයේ ඵල නෙලා ගන්නා අතර දෙපාර්ශවයට ම වාසි සහගත විධිවිධානයන් ගොඩනගා ගෙන තිබේ. ගෝලීයකරණයට එරෙහි වීම වනාහි ඵලදායීතාව මන්දගාමී කරවන, ශ්‍රී ලාංකික ශ්‍රම බලකායට ගෞරවණීය රැකියා අහිමි කරවන අසාර්ථක ක්‍රමවේදයකි. පණ අදින ආර්ථිකය වෙත තවත් බාධක පනවා එහි ගෙල සිරකරන්නේ නැතිව යෞවනය සතු බලය සහ ශක්තිය ඵලදායී වර්ධන ආර්ථිකයක් උදෙසා සකස් කරගැනීම කාලීන අවශ්‍යතාවයක්ව තිබේ.

ඉතින්, මේ ජාත්‍යන්තර යෞවන දිනයේදී අපි තරුණ තරුණියන් වෙනුවෙන් නැගී සිටිමු. අපේ සාම්ප්‍රදායික ඉහළ අපේක්ෂාවන්ට යටවී බලා හිඳනවා වෙනුවට අපි නිසි උපායමාර්ගයයන් යොදමින් ඉන් ගොඩ එන්නට උත්සාහ කරමු. යෞවනයන් යනු දේශීය ආර්ථිකයේ දීප්තිමත් අනාගතය බව දැන දැනත්, ඉතින් අපි ඔවුන් වෙනුවෙන් කිසිවක් නොකර සිටින්නේ කෙසේ ද?


නිශ්තා චාධා විසිනි.

View this article in English here.