යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ

දිල්මිණී අබේරත්න විසින්
සංචාරක ගමනාන්තයක් විදිහට ලංකාව කියලා කියන්නේ පාරාදීසයක්. අවුරුද්දෙන් වැඩි කාලයක් පුරාවට තියෙන සෞම්‍ය දේශගුණය, එක් දිනක් තුළ පවා එකිනෙකට වෙනස් දේශගුණ කලාපවලට පිවිසීමේ නැතිනම් සංචාරය කිරීමේ හැකියාව ඇරුණාම, ඓතිහාසික උරුමයන්, පැරණි වාරි තාක්ෂණික අරුමයන් වගේම සුන්දර වෙරළ තීරයන් සහිත දිවයිනක් වීම කියන කාරණා එකට එකක් සම්බන්ධ හේතු මාලාවක් වගේ සංචාරයට සුදුසු ලංකාවක් නිර්මාණය කරනවා.

කාලයක් තිස්සේම ලංකාවට ඩොලර් ගේන ප්‍රධාන මාර්ගයක් විදිහට සංචාරක කර්මාන්තය වැඳගත් කාර්‍යභාරයක් ඉටු කරනවා. හැබැයි පහුගිය කාල වකවානුවේ ලංකාවට මුහුණ දෙන්න සිදු වුණ ආර්ථික අර්බුදය සහ ඉන් පෙර ඇති වුණ ගෝලීය වසංගත තත්ත්වය හමුවේ, සංචාරක කර්මාන්තය නොසෑහෙන පසුබෑමකට ලක් වුණා. ලංකාවේ විදේශ විනිමය ඉපයීම්වලට ඒ අඩුවත් බලපෑවා. ආර්ථික අර්බුදයෙන් පස්සේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් තුළ ඉන්න අතරවාරයේ ලංකාවේ සංචාරක කර්මාන්තය ආයෙමත් හෙමි හෙමින් නැඟිටින්න පටන් අරන්. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධයෙන් වාර්තාවන් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් වඩාත්ම මෑතකදී ඉදිරිපත් වුණ සංඛ්‍යා දත්තවලට අනුව 2025 මැයි මාසයේදී සමස්ත සංචාරක පැමිණීම් වාර්තා වෙන්නේ 132,919 විදිහට. ඒක 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව 18.5% වැඩි වීමක්, 2018 වසරත් එක්ක බලද්දි ඒ අගය  2.7% වැඩි වීමක්.

මාසික සංචාරක පැමිණීම

2025 අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් ගණන 174,608ක්. අපේ රටට  සංචාරකයන් පැමිණෙන කලාප ගැන සලකා බැලුවොත්, 2025 අප්‍රේල් මාසය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් ඇවිත් තියෙන්නේ යුරෝපයයෙන්. ඒ පැමිණීම් 83,730ක් එහෙමත් නැත්නම් මුළු පැමිණීම්වලින් 48%ක් විදිහට. ආසියා සහ පැසිෆික් කලාපයෙන් 78,878ක් ඇචිත් තියෙනවා. ඒ කියන්නේ මුළු සංචාරක පැමිණීම්වලින් 45.2%ක්. ඒ අනුව ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් ඇවිල්ලා තියෙන්නේ මේ කියන යුරෝපා කලාපය සහ ආසියා පැසිෆික් කලාපයෙන්. ඒ වගේම සංචාරකයන් තෝරා ගෙන තියෙන ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් වැඩි පිරිසක් (173,386) ගුවන් මාර්ගයත්, 1222 පිරිසක් මුහුදු මාර්ගයෙනුත් ලංකාවට ඇවිත් තියෙනවා. 

යුරෝපයෙන් පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ අගයක් ගන්නේ සෘතුමය සංචාරක රටාවන්, සංස්කෘතික රුචිකත්වයන් සහ හිතකර සංචාරක පැකේජ නිසා කියලා  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. ආසියානු කලාපයෙන් පැමිණෙන පිරිස් වැඩි වෙන්න හේතුව රටවල් අතර සමීපත්වය සහ ගමන් කිරීමේ පහසුව බවත් සඳහන් වෙනවා. ඒ ඇරුණාම මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපයෙන් එන සංචාරකයන්ගේ ප්‍රමාණය අඩු වෙන්නේ සාපේක්ෂව සීමිත සෘජු ගුවන් ගමන් වාර සහ ඉලක්කගත අලෙවිකරණ උපායයන් ප්‍රමාණවත් ලෙස භාවිත නොකිරීම කියන කාරණා නිසා.

අප්‍රේල් මාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් 10

2024 අවුරුද්දත් එක්ක සංසන්දනය කරලා බලනකොට 2025 අවුරුද්දේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් ආපු රටවල් 10 දිහා බලද්දි සැලකිය යුතු වෙනස්කම් කීපයක් දැක ගන්න පුළුවන්. පසුගිය වසරට සාපේක්ෂව ඉන්දියාවේ සංචාරක පැමිණීම් 27,304 ඉඳලා 38,744 දක්වා 41.9% වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව පෙරමුණේ ඉන්නෙ අසල්වැසි ඉන්දියාව. ඇතැම් පුවත් වාර්තා වෙන විදිහට ඉන්දියානු සංචාරකයින් අතර ලංකාව ප්‍රියතම ගමනාන්තයක් වීමේ හේතු අතරට, භූගෝලීය සමීපතාව, දේශීය ආහාර මිල ගණන් සාධාරණ බව සහ රසවත් බව, සීගිරි බලකොටුව සහ දළදා මාලිගාව යන ප්‍රධාන ආකර්ෂණයන් වෙත පැමිණීමේ කැමැත්ත වැඳගත් කාරණා ලෙස සැලකෙනවා. 

ලැයිස්තුවේ දෙවෙනියට ඉන්න එක්සත් රාජධානිය පසුගිය වසරට සාපේක්ෂව 31.7% සංචාරක වර්ධනයක් පෙන්වනවා. ඒ ඇරුණාම ජර්මනිය, ඕස්ට්‍රේලියාව, බංලාදේශය සහ නෙදර්ලන්තය කියන රටවල්වලිනුත් ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ වැඩිවීමක් දකින්න පුළුවන්. ඒ අතරිනුත් බංග්ලාදේශයෙන් ලංකාවට පැමිණෙන පිරිස 2024ට සාපේක්ෂව දෙගුණයකට වඩා වැඩිවෙලා තියෙනවා ඒ 2,354 ඉඳලා 5,428 විදිහට.

අනිත් අතට රුසියාවෙන් පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය 10.5% අඩුවෙලා. ඒකට හේතුව විදිහට ආර්ථික හෝ භූගෝලීය කාරණා හේතු වන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ ඇරුණහම චීනය සහ ප්‍රංශය කියන රටවල්වලින් එන සංචාරක පිරිසත් අඩුවෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවෙන් එන සංචාරකයන්ගේ ප්‍රමාණය 24.6% වගේ විශාල අගයකින් අඩුවෙලා. ඒකට හේතුව විදිහට ආර්ථිකමය තත්ත්වයන්, වෙනත් ගමනාන්තයන්වල තියෙන තරගකාරී ස්වභාවය හෝ දීර්ඝ පැය ගණන් සහිත ගුවන් ගමන් වාරවලට ඇති අකමැත්ත වැනි කාරණා වෙන්න පුළුවන්.  

සමස්තයක් විදියට ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනය සිදුවන්නට ඇතැයි සැලකෙන හේතු අතරට වැඩිදියුණු කළ ගුවන් සහ මුහුදු සම්බන්ධතා, සාර්ථක අලෙවි ප්‍රවර්ධන කටයුතු, කලාපීය සමීපතාවය සහ ආර්ථික තත්ත්වයන් වගේ දේවල් සලකා බලන්න හැකියාව තියෙනවා.   

සංචාරයේ අරමුණු

සංචාරකයන් අපේ රටට එන්නේ මොන මොන අරමුණු මතද කියලා දැනගෙන ඉන්න එක සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා ඉතාමත් වැදගත් වෙනවා.  2025 අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම සලකා බලනකොට වැඩිම පිරිසක් (57%) ලංකාවට පැමිණීමේ අරමුණ විදියට සඳහන් කරලා තියෙන්නේ විවේකය ගත කිරීම කියන කාරණය. එයින් පැහැදිලි වන කාරණය තමයි, ලංකාවේ තියෙන ස්වභාවික සුන්දරත්වය, දර්ශනීය වෙරළ තීරයන්, සංස්කෘතික උරුමයන් සහ ස්වභාවධර්මය දායාදයන්, ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ මූලික අඩිතාලම දමනවා.

ඥාතීන් සහ හිත මිතුරන් මුණගැසීම වෙනුවෙන් ලංකාවට පැමිණෙන පිරිස 8.35%  අගයකුත්, රැස්වීම් සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ආදී කටයුතු සඳහා සම්බන්ධ වීමට ලංකාවට පැමිණෙන පිරිස 6.15% අගයකුත් ගන්නවා. 

ඊට අමතරව ව්‍යාපාරික කටයුතු සඳහා ලංකාවට සංචාරය කරන පිරිස 2%, ආයුර්වේද කටයුතු සම්බන්ධ සංචාරක කටයුතු සඳහා 0.6%, ආගමික කටයුතු සඳහා 0.5% ආදී වශයෙන් අනෙකුත් කාරණා සම්බන්ධයෙනුත් කුඩා කුඩා ප්‍රතිශතවලින් සංචාරකයන් ලංකාවට පැමිණෙමින් සිටිනවා. 

සංචාරකයන් ලංකාවේ රැඳී සිටින කාලය

සංචාරක කර්මාන්තයේදී රටකට පැමිණෙනන සංචාරකයන් වැඩි දින ගණනක් රට තුළ රඳවා ගන්න පුළුවන් නම් තමයි ඒ සංචාරයේ වාසිය සත්කාරක රටට ලබා ගන්න පුළුවන් වෙන්නේ. සංචාරකයන් නිසා ලැබෙන විදේශ ඉපයීම් වැඩි වෙන්නෙත් ඒ අනුව. දැනට වැඩි වශයෙන් ලංකාවට සංචාරකයන්  එන රටවල්වලින් වුණත් මෙරට තුළ රැඳී සිටීමේ දින ගණන අඩුයි. 


මේ රූප සටහනින් පේනවා ඉන්දියාවෙන් වැඩි වශයෙන් සංචාරකයන් ආවත්, ඔවුන් ලංකාවේ රැඳී ඉන්න කාලය අඩුයි. ඒත් නෙදර්ලන්තය සහ ස්විස්ටර්ලන්තය වගේ රටවල්වලින් එන සංචාරකයන්ගේ ප්‍රමාණය අඩු වුණත්, ඒ අය රට තුළ රැඳෙන කාලය වැඩියි. මේ තත්ත්වයන් දෙකෙන්ම සාර්ථකව ඵල නෙලා ගන්න සංචාරක කර්මාන්තයේ නියැලී සිටින්නන්ගේ අවධානය යොමු වෙන්න ඕන. 


අනාගත අභියෝග 

ලංකාවට මේ මොහොතේ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන රටවල් සහ කලාප තියෙනවා. නමුත් යුරෝපය සහ ආසියා පැසිෆික් කලාපය මත දැඩි ලෙස රඳා පැවතීම දිගු කාලීනව හිතකර නොවෙන්නත් පුළුවන්. මොකද ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්ම්ක වෙන කර්මාන්ත නිරන්තරයෙන්ම ජාත්‍යන්තර දේශපාලන, ආර්ථික සහ සමාජීය කම්පනයන්ට සංවේදී වෙනවා. මේ නිසා වෙළඳපළ විවිධාංගීකරණය කිරීම මඟින් විශේෂයෙන් ඇමරිකාව, මැදපෙරදිග සහ අප්‍රිකාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන එක කාලීනව ඉතා වැඳගත්. ඊට අමතරව, ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම මගින් සමස්ත සංචාරක පැමිණීම් ස්ථාවර කිරීම, වැඩිදියුණු කළ ගුවන් ගමන් සම්බන්ධතාවය සහ ඉලක්කගත සංචාරක දිරිගැන්වීම් ඔස්සේ සංචාරක නියෝජනය අඩු කලාපවලින් වැඩි වැඩියෙන් සංචාරකයන් ලංකාවට ආකර්ෂණය කර ගන්න අවස්ථාව ලැබෙනවා.

ඇමරිකාව, ප්‍රංශය සහ රුසියාව  වගේ රටවල්වලින් ලංකාවට එන සංචාරකයන්ගේ ප්‍රමාණය සෑහෙන දුරකට අඩුවෙලා තියෙනවා. ඒ වගේ කාරණා සලකා බැලුවහම ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පවතින පහසුකම්වලට වඩා පහසුකම්වල වර්ධනයක්, සංචාරකයන් වැඩි දින ගණනක් රට තුළ රඳවා ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් පවත්වා ගැනීම වැදගත්. විශේෂයෙන්ම වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය නම්‍යශීලී කිරීම, යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගත් විට ගුවන් තොටු‍පොළ සංවර්ධනය සහ නවාතැන් පහසුකම් ගුණාත්මක බවින් යුතුව පවත්වා ගැනීම, ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන දිරි ගැන්වීම සහ ඔවුන්ට තරඟකාරී වෙළඳපළ තත්ත්වයක් නිර්මාණය කිරීම අතිශයින් වැඳගත්. 

ඒ විතරක් නෙවෙයි, ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, විවේකය වෙනුවෙන් පැමිණෙන සංචාරකයන්ට විනෝදාස්වාද කටයුතු සඳහා අවස්ථාවන් සුලභ කිරීම සහ  ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තයේ ඇති වී තිබෙන නව ප්‍රවණතාවයන් සමඟ සමීප වී නවීන කාලීන අවශ්‍යතාවයන් සපුරන සංචාරක කර්මාන්තයක් පවත්වා ගැනීම ලංකාවේ ආර්ථිකයේ ඉදිරිය වෙනුවෙන් අද දවසේ ගන්නා වැඳගත්ම තීරණයක් වේවි. 

බදු සතියේ සතියෙන් බදු ගෙවීම

දිල්මිණී අබේරත්න විසින්
‘බදු ශක්ති’ නමින් හැඳින්වෙන බදු සතිය පහුගිය ජූනි 2වෙනිදා ඉඳන් 7වෙනිදා දක්වා ක්‍රියාත්මක වුණා. බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ අරමුණින් හඳුන්වා දුන්නු මේ ජාතික වැඩසටහනේ තේමාව වුණේ ‘ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්’ කියන එක. මේ කතාබහත් එක්ක බදු සතියේ කොහොමද සතියෙන් බදු ගෙවන්නේ කියලා අපි හොයලා බලමු. 

සතියෙන් බදු ගෙවමු

කලබල වෙන්න එපා! අපි මේ කියන්නේ සතියක් ඇතුලත බදු ගෙවන්න කියලා එහෙම නෙමෙයි. සතියෙන් එහෙම නැත්තම් හොඳ සිහියෙන් බදු ගෙවන්න නම් අපි දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද කියලා පැහැදිලි කරගන්න ඕන කියන කතාවයි අපි මේ කියන්නෙ. 

සාමාන්‍යයෙන් බදු කියපු ගමන් හුඟක් අයට හිතෙන්නෙ, ඒක අපි මග ඇරලා යන්න ඕන කතාවක් කියලයි. තවත් සමහරු හිතනවා අපි කොහොමද බදු නොගෙවා ඒකෙන් මිදෙන්නෙ කියලා. අපිට එහෙම හිතෙන්නේ බදු අපට කරදරකාරී සහ නරක දෙයක් නම් විතරයි. අපි ආසා කරන, අපිට ප්‍රතිලාභයක් තියෙන දෙයක් මග ඇරලා යන්න මිනිස්සු විදිහට අපි කැමති නෑ. හැබැයි අපිට කරදරයක් වෙන ඕනම දේකින් මිදෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඇත්තටම බදු කියන්නෙ කරදරයක්ද? නැත්තම් ඒකේ හොඳක් තියෙනවද? අද අපි මේ අවුල ලිහාගමු. 

බදු කියන්නේ මොනවද?

බදු කියලා කියන්නේ රජයක් විසින් ආදායම් උපයාගන්න ප්‍රධාන ක්‍රමයක්. රජයේ වියදම් පියවා ගැනීම සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම කියන කාරණාවලදි රජයට ආදායම් බදු ආදායම වියදම් කරන්න සිද්ධ වෙනවා. 

ශ්‍රී ලංකාවේ බදු සලකලා බැලුවහම ලංකාවේ රජයට බදු ආදායම අවශ්‍ය වෙන්නේ, සුභසාධන වියදම් පියවා ගැනීමට. උදාහරණයක් විදිහට නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට, යටිතල පහසුකම් සංවර්ධනයට වගේම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළවල් වෙනුවෙන් යොදවන්න බදු මුදල් අවශ්‍ය වෙනවා. ලංකාවේ බදු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින්.

බදු කියලා කියන්නේ තනි පුද්ගලයන් සමාගම් හෝ පාරිභෝගිකයන් විසින් රජයට ගෙවනු ලබන අනිවාර්ය මූල්‍ය ගෙවීමක්. ඒක මගාරින්න හැකියාවක් අපිට නෑ. බදු ගෙවීම පැහැර හැරියොත් ඒ වෙනුවෙන් දඩ මුදල් ගෙවන්න හෝ නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම බදු කියලා කියන්නේ අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. රජ කාලේ පවා නොයෙක් හේතු මත මිනිස්සුන්ට බදු ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. 

බදු වර්ග

ඉතින් බදු කිව්වම එකක් කියලා නෑ; වර්ග කිහිපයක් තියෙනවා. බදුවල තියෙන ප්‍රධානම කොටස් දෙක තමයි සෘජු බදු සහ වක්‍ර බදු කියන්නේ. ඍජු බදු කියලා කියන්නේ ඍජුවම පුද්ගලයන් හෝ කිසියම් ඒකකයක් මත පනවන බදු.ඒ කියන්නේ කෙනෙකුගේ ආදායමට එහෙම නැත්නම් ලාභයට සෘජුවම පනවන බදු. වක්‍ර බදු කියලා කියන්නේ එහෙම බැලූ බැල්මට එකපාරටම පේන්නෙ නැති බදු වර්ගයක්. ඒක අපේ ආදායමට පනවන එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් වක්‍ර බදු පනවන්නේ අපි පාවිච්චි කරන භාණ්ඩ හා සේවාවලට. එතකොට අපි කඩේට ගිහින් හරි ඔන්ලයින් හරි ක්‍රමයකට මොකක් හරි භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් මිලට ගනිද්දි, ඒ භාණ්ඩයේ හෝ සේවාවේ මිලට බදු එකතු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපිට භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නකොට වක්‍ර බදු ගෙවන්න සිද්ධ වෙනවා. 

සාමාන්‍යයෙන් රටක බදු පැනවීම නිසා සිද්ධ වෙන ප්‍රතිඵල කීපයක් තියෙනවා. ඒ අතර තියෙනවා,

  1. රජයේ ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අරමුදල් සපයා ගැනීම. 

  2. ආර්ථික අසමානතාවයන් තුලනය කිරීම. 

  3. පරිභෝජනය නියාමනය කිරීම සහ හානිකර භාණ්ඩ හෝ සේවාවන් පරිභෝජනය අධෛර්යමත් කිරීම.


මේ කාරණා ටික අපි පැහැදිලි කර ගත්තොත්, අපි කලින් කතා කළා වගේ ලංකාවේ තියෙනවා විශාල සුභසාධන ආර්ථිකයක්. අපි බොහෝ දෙනෙක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය. ඒ දේවල් වෙනුවෙන් වැය වෙන්නේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල්. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයත් ඒ වගේ. 

දෙවනි කාරණය තමයි සමාජයක තියෙන ආර්ථික අසමානතාවයන් තුලනය කිරීම. එතනදි සිද්ධ වෙන්නේ වැඩි ආදායම් උපයන කාණ්ඩවලින් අය කරගන්නා බදු මුදල් සමාජ ආරක්ෂණ ජාල වෙනුවෙන්; සමාජයේ ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්වෙලා සිටින දුප්පත් සහ අන්ත දුගී කොටස්වලට සහනයක් සැපයීම.

මීට අමතරව තුන්වෙනි කාරණය විදිහට කතා කරපු හානිකර භාණ්ඩ හෝ සේවාවන් වෙනුවෙන් බදු පැනවීම සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට සිගරට් සහ මත්පැන් වැනි භාණ්ඩ මත ඉතා විශාල බද්දක් පැනවීමෙන් බලාපොරොත්තු වෙනවා ඒවායේ පරිභෝජනය සීමා කරවීමට. 

බදු පැන ලිහමු

බදු කියලා කිව්වට එක් එක් බදුවල කාර්‍යය, ක්‍රියාත්මක වන ස්වරූපය, පනවනු ලබන පිරිස සහ අරමුණ අනුව ඒවා වෙනස් වෙනවා. අපි ඒ වෙනස්කම් කෙටියෙන් පැහැදිලි කර ගමු. 

රටක දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආනයනය කරනු ලබන තරඟකාරී භාණ්ඩ මත තීරු බදු පැනවීමත් එක්තරා විශේෂ බදු ක්‍රමයක්. මේ වෙද්දි මුළු ලෝකයේම කතාබහට ලක් වෙලා තියෙන ඇමරිකන් තීරු බදුවලිනුත් ඇමරිකාවේ තියෙන දේශීය නිෂ්පාදනවලට විදෙස් රටවල භාණ්ඩවලින් එල්ල වෙන බලපෑම අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවෙන් උදාහරණයක් ගත්තොත් දේශීය කහ නිෂ්පාදකයා රැක ගැනීම වගේ උද්ධෘත පාඨ යටතේ ආනයනය කරන කහවලට බදු පැනවීම කළොත් සිද්ධ වෙන්නේ, ආරක්ෂණවාදී බද්දක් පැනවීම. 

මෑත කාලයේදී ලංකාව බදු සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීල තියෙනව ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ බදු ගෙවෙන පිරිස වැඩිකර ගැනීම, බදු ආදායම වැඩි කර ගැනීම සහ පීඩාවට පත් ආර්ථිකය යළි ගොඩනැංවීම කියන දේවල්. කාර්යක්ෂම බදු ප්‍රතිපත්තියක් සහ කළමනාකරණයක් පැවතීම, රටේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් වැදගත් වෙනවා වුණත්, වැඩි වැඩියෙන් බදු පැනව්වාම සහ හැම අතින්ම බදුවලින් මිරිකෙනකොට මිනිසුන්ට බදු කරදරකාරී බවක් දැනෙනවා.

සාමාන්‍යයෙන් මේ නිසා බදු ගෙවීමේ අනුකූලතාව ඇති වෙලා, ඒ ගැන කැමැත්තෙන් මිනිස්සු බදු ගෙවන්න නම් බදු වල තිබිය යුතු ලක්ෂණ කීපයක් තියෙනවා. බදුවල ස්වරූපය, බදුවලින් බලපෑමක් ඇතිවන සමාජ කණ්ඩායම, අය කර ගන්නා බදු විය පැහැදම් කරන ආකාරය, ඒවායේ විනිවිදභාවය සහ බදුවල සාධාරණත්වය කියන කාරණා මෙතනදි වැදගත් වෙනවා. සාර්ථක බදු ක්‍රමයක් පවත්වා ගැනීම වෙනුවෙන් බදු මූලධර්ම අනුගමනය කිරීම අවශ්‍ය වෙනවා. දැන් අපි හොයලා බලමු මොනවද බදු මූලධර්ම කියලා කියන්නේ කියලා. 

බදු මූලධර්ම

රජය විසින් අය කරන බදුවලින් ඇතිවිය හැකි අයහපත් ප්‍රතිවිපාක හැකිතාක්  අවම කරගැනීම සහ බදු ක්‍රමය කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුව් ‍යහපත් බදු ක්‍රමයක් තුළ අන්තර් ගත විය යුතු යැයි පිළිගැනෙන මූලධර්ම කීපයක් තියෙනවා. ඒ අතරින් වඩා වැඳගත් මූලධර්ම හතරක් ගැන සොයා බලමු. 

  1. සරල බව (simplicity)

  2. විනිවිදභාවය (transparency)

  3. මධ්‍යස්ථ බව (neutrality) 

  4. නිශ්චිත වීම (stability)

සරල බව (simplicity)

ඕනෑම දෙයක් සරල වෙන තරමට පහසුවක් තියෙනවා. බදු පද්ධතිය එහෙම නැත්නම් බදු ගෙවන ක්‍රමය, බදු අනුපාතය කියන මේ කිසිම දෙයක් බදු ගෙවන මිනිස්සුන්ට තේරෙන්නේ නැත්නම් ඒක සරල නෑ. බදු ගෙවන මිනිස්සුන්ට විතරක්ම නෙමෙයි, බදු පරිපාලනයේ නිරත වෙලා ඉන්න නිලධාරීන්ට සහ බදු මෙහෙයුම් කටයුතු සිදු කරන ආයතනවලට, බදු පද්ධතිය එක්ක වැඩ කරන එක අමාරු වෙනවා නම් ඒ බදු පද්ධතිය අසාර්ථකයි. බදු පද්ධතිය සංකීර්ණ වෙන්න වෙන්න, මිනිසුන්ට ඒ ගැන තේරුම් ගන්න අමාරු වෙනවා. ඒ වගේම බදු පද්ධතිය ආකාරයක්ෂම වෙලා බදු පැහැර හැරීම් වැඩිවෙනවා.

විනිවිදභාවය (transparency)

බදු ක්‍රමයක විනිවිදභාවයක් තියෙනවා කියන්නෙම අපි ගෙවන බදු සල්ලි යෙදවෙන්නේ මොනවටද, කොහොමද කියන එක අපි හොඳින්ම දන්නවා කියන එකයි. හැබැයි එහෙම නොවෙන තැන් ඕන තරම් තියෙනවා. ඒ විදිහට විනිවිදභාවයක් නැති බදු ක්‍රමයක, මිනිස්සු බදු ගෙවනවාට වඩා බදු පැහැර හරින්න පෙළඹෙනවා. ආදායම් බදු සම්බන්ධයෙන් නිරන්තරයෙන් වෙනස්කම් සිද්ධ වෙද්දිත්, මිනිස්සුන්ට ඒ ගැන තියෙන විශ්වාසය හීන වෙනවා. ඒ නිසා බදු ක්‍රමය නිතරම විනිවිදභාවයක් ඇතිව පවත්වා ගන්න ඕන. 

මධ්‍යස්ථ බව (neutrality) 

බදු අය කිරීමේදී අපක්ෂපාතී සහ සාධාරණ පිළිවෙතක් අනුගමනය කිරීමයි වැඳගත් වෙන්නේ. බදු පැනවීම ඔස්සේ කිසියම් නිශ්චිත කර්මාන්ත හෝ නිෂ්පාදන  අංශ ඉලක්ක කරගෙන ඒවට විශේෂයෙන් බදු පැනවීම සිදු කළ යුතු නැහැ 2015 අවුරුද්දේ පෙර වසරේ ලාභය සලකා බදු පැනවීමක් සිද්ධ වුණා. . බදු පැනවීමෙන් කිසිම වෙලාවක පවතින පද්ධතිය, ආර්ථික කටයුතු විකෘති කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. බදු පැනවීම සිදු  කරන්නේ රජයට ආදායමක් ලබා ගැනීමේ අරමුණින්. මේ නිසා පනවන බදු සාධාරණ වගේම  නිශ්චිත වීම බදු අනුකූලතාවය වැඩිකර ගැනීමටත් බදු ආදායම වැඩි කර ගැනීමටත් එකසේ වැදගත් වෙනවා. 

නිශ්චිත වීම(certainty)

කාලෙන් කාලෙට බදු අනුපාත වෙනස් වෙනවා නම්, ගිය අවුරුද්ද 2% තිබ්බ අනුපාතය, මේ අවුරුද්දෙ 3% වෙලා, ලබන අවුරුදු 5% වෙනවා නම් බදු ගෙවීම ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය කඩ වෙනවා. අනාගතයේදී ගෙවන්න තියෙන බදු ප්‍රමාණය කොච්චරක්ද කියලා හරියට හිතා ගන්න බැරි නිසා ආයෝජකයන් අධෛර්‍යමත් වෙලා, එවැනි කටයුතුවල නිරත නොවී ඉන්න පුළුවන්.

ආදායම් උපයාගැනීමේ මාර්ගයක් විදිහට බදු පැනෙව්වට මිනිසුන්ව බදු බරින් පීඩිත තත්ත්වයකට ගේන්න හොඳ නෑ. මොකද ඉතිරි කිරීම් සහ ආයෝජන කටයුතු වෙනුවෙන් මිනිසුන් අතේ සල්ලි තියෙන්න ඕන. එතකොට තමයි ආර්ථික වර්ධනයක් ඇතිවෙන්නේ. ඒ වගේම තමයි වෙළඳාමේදී පනවන බදු. විශාල වශයෙන් වෙළඳ තීරු බදු පැනෙව්වම ඒක තරගකාරීත්වයට බාධාවක්. දේශීය නිෂ්පාදකයන් රැක ගැනීමේ අරමුණින් ආනයන භාණ්ඩවලට අනවශ්‍ය තරම් බදු පැනෙව්වම පීඩාවට පත්වෙන්නේ පාරිභෝගිකයාමයි. ඒ වගේම දේශීය පාරිභෝගිකයාට ගුණත්වයෙන් වැඩි කාර්යක්‍ෂම භාණ්ඩ පරිභෝජනය කිරීමේ හැකියාවත් සීමා වෙන්න පුලුවන්. එතනින් පටන් ගත්තහම තීරු බදු යුද්ධ දක්වාම ඇදී යන්න පුළුවන් කියලා  අපිට අද ලෝකෙ දිහා බැලුවහම දකින්න පුළුවන්. 

ඉතිං ‘බදු ශක්ති’ බදු සතියේ අරමුණත් බදු ගෙවන්න මිනිස්සු කැමති කර ගන්න එකයි, බදු ආදායම වැඩි කරගන්න එකයි. ඒ වෙනුවෙන් බදු ගැන හරි අදහසක් ගන්න මේ බදු මූලධර්ම ගැන දැනුවත්ව ඉන්න එක වටිනවා. බදු ගැන අපි මින් පෙර පළ කරපු ලිපිවලට මේ පහත සබැඳි හරහා හැකියාව තියෙනවා. 

ඔබත් බදු වාර්තා ගොනු කළාද?

එකතු කළ අගය මත බදු හරහා රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම: අවස්ථා සහ අභියෝග

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම: රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයට සහ ආර්ථික වර්ධනයට මාවතක්




ශ්‍රී ලංකාවේ සංවර්ධනය ලෝක බැංකුවේ ඇසින්

දිල්මිණී අබේරත්න විසින්ශ්‍

ශ්‍රී ලංකාව වැල් පාලමෙන් එතෙර වුණාද? එහෙමත් නැත්නම් අපි යන්නේ හරි පාරෙද? කියන ප්‍රශ්න ආර්ථික අර්බුදයකින් බැට කාපු ජනතාවකට මඟ ඇරලා ඉන්න පුළුවන් දේවල් නෙවෙයි. ලංකාවේ කාර්‍යසාධනය ගැන හුඟක් අය කියන කතා අතරේ, අපි හිතුවා ලෝක බැංකුවේ අදහස මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න. පහුගිය අප්‍රේල් මාසේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන වාර්තාවක් එළි දැක්වුවා. මේ සටහන ඒ ගැන. 

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක්, එනම් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන නොඑසේ නම් නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක සිටින අයයි. මෙම ප්‍රකෘතිමත් වීම සෑම කෙනෙකුටම, විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට පවා යහපත් ප්‍රතිඵල ගෙන එන බව සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකාවට කළ හැක්කේ රැකියා නිර්මාණය කරන සහ දුප්පතුන්ට සහාය වන ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කිරීමයි.” 

- ඩේවිඩ් සිස්ලන්, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ

ගෙවුණු වසරේ ලංකාවේ ආර්ථිකය 

ඉදිකිරීම් හේතුවෙන් ඇති වූ කර්මාන්තවල පිබිදීම සහ සංචාරක ආශ්‍රිත සේවාවන්වල ශක්තිමත් ක්‍රියාකාරිත්වය නිසා 2024 වසරේදී ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. බලශක්ති මිල ගණන්වල පහළට ගැලපීම්, රුපියලේ අගය ඉහළ යාම සහ ගෘහස්ථ ඉල්ලුම අඩුවීම කියන හේතු නිසා කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන ප්‍රධාන උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ ඉඳන් සෘණ අගයක පවතිනවා (2025 පෙබරවාරි මාසයේදී සියයට -4.2 දක්වා). උද්ධමනය පහත වැටීමත් එක්කම, මහ බැංකුව 2024 දී ප්‍රතිපත්ති අනුපාත පදනම් ලකුණු 150 කින් අඩු කළ අතර, 2023 සිට මුළු පදනම් ලකුණු 800ක අඩුවීමක් පෙන්නුම් කළා. වාණිජ ණය අනුපාත අනුගමනය කළ විට, පුද්ගලික ණය යථා තත්ත්වයට පත්වීමට පටන් ගත් අතර, 2024 දෙසැම්බර් මාසයේදී 10.7% කින් වර්ධනය විය.

අපනයනවලට වඩා වේගයෙන් ආනයන වර්ධනය වීම නිසා 2024 දී වෙළඳ භාණ්ඩ වෙළඳ හිඟය 23.9% කින් වැඩි වුනත්, ශක්තිමත් සංචාරක ආදායම් සහ විදේශීය ප්‍රේෂණ ප්‍රවාහයන් නිසා 2024 දී අඛණ්ඩව දෙවන වරටත් ජංගම ගිණුම් අතිරික්තයක් සටහන් වුණා. දිගින් දිගටම ණය සේවාකරණ වියදම් අත්හිටුවීම සහ සංවර්ධන හවුල්කරුවන්ගෙන් ආයෝජන ගලා ඒම් නිසා මහ බැංකුවේ විදේශ විනිමය මිලදී ගැනීම් මඟින් භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය සටහන් වුණේ මාස 3කට අවශ්‍ය වන ආනයන වියදම්වලට සම වෙන විදිහට. මේ අතරේ රජය මින් පෙර පනවා තිබූ, ඉතිරිව ඇති සියලුම ආනයන සීමාවන් (ප්‍රධාන වශයෙන් වාහන ආනයන සීමාද ඇතුළුව) ඉවත් කිරීමට හැකි වුණා. 2022 වසර අවසානයේ අගයයට සාපේක්ෂව රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 19.4% ක සමුච්චිත වර්ධනයක් පෙන්නුම් කළා.

2024 දී ප්‍රාථමික අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2% ක් වූ අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම මඟින් 2024 වෙනුවෙන් පනවලා තිබුණු 0.8%ක ඉලක්කය පවා අභිබවා ගියා. මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න හේතුව, වැට් බදු අනුපාත ඉහළ නැංවීම, බදු නිදහස් කිරීම් ඉවත් කිරීම සහ ප්‍රාග්ධන වියදම් සඳහා ක්‍රියාත්මක නොකිරීම මගින් සිදු විය. ආර්ථික වර්ධනය සහ රුපියලේ අගය වැඩිවීමට අමතරව, වැඩිදියුණු කළ ප්‍රාථමික ශේෂය මඟින් 2024 වසර අවසානය වන විට රාජ්‍ය සහ රජය විසින් සහතික කළ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 102.4% දක්වා අඩු කිරීමට හැකියාව ලැබුණා. බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම (විදේශීය ණය දෙන්නන්ට ගෙවිය යුතු ණය කොන්දේසි වෙනස් කිරීම) බොහෝ දුරට අවසන් වී ඇති අතර, යුරෝ බැඳුම්කරවලින් 98% ක් පමණ හුවමාරු වීමත් රජයේ නිල ණය හිමියන් සමඟ ගනුදෙනු කිරීමේදී සැලකිව යුතු ප්‍රගතියක්ද ලබා ඇත. මීට අමතරව, 2025 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මඟින් සිදු කරන තුන්වන සමාලෝචනය අවසන් කරන ලදී.

සමාජීය ප්‍රවණතා

Image by bestbauch from Pixabay

2024 වසරේදී  ඇති වූ ආර්ථිකයේ වර්ධනය නිසා දුප්පත්කම 2.7% කින් අඩු වෙලා. ඊට හේතු වුණේ දුප්පත්ම 20%න් වැඩි ප්‍රතිශතයක් (60%) කර්මාන්ත හා සේවා අංශයේ සේවය කිරීමත්, එම අංශවලට ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම සාධනීය බලපෑමක් කිරීමත් නිසා. කොහොම වුණත්, ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම පුළුල් සුභසාධනයක් ඇති කරන තරමට වැඩිදියුණු වෙලා නෑ. දරිද්‍රතාවය තවමත් 24.5%ක මට්ටමේ තියෙන්නේ. ඒ අගය 2019 වසරේ දරිද්‍රතා මට්ටම වගේ දෙගුණයක්. උද්ධමනය අඩු වුණත්, 2021 සහ 2024 අතර කාලයේ ආහාරවල මිල ගණන් දෙගුණයකටත් වඩා වැඩි වීම නිසා මන්දපෝෂණය සහ ආහාර අනාරක්ෂිතභාවය ඉහළ ගිහින්. 2023 වසරේ දෙවන කාර්තුවේ 46% තිබුණු රැකියා අනුපාතය  2024 දෙවන කාර්තුවේදී 45.5% දක්වා අඩු වෙලා. සැබෑ වැටුප් තවමත් 2019 මට්ටමට වඩා අඩු අගයක තියෙන නිසා මිලදී ගැනීම් හැකියාවත් පහළයි. මුදල් උත්පාදනය කළ හැකි ආර්ථික අවස්ථා ප්‍රමාණයෙන් සීමිත වීම නිසා, ජනතාව වෙනත් රටවලට සංක්‍රමණය වීමත් තවම සිදු වෙනවා. 2024 මුල් මාස නවය තුළ විදේශ රැකියා කාර්යාංශයට මේ සම්බන්ධයෙන් ලැබුණු අයදුම්පත් ගණන ඉහළ ගිහින් තියෙනවා.

Image by Mohamed Hassan from Pixabay

ප්‍රධාන කොන්දේසි සහ අභියෝග

අපි දන්නවා මෑත කාලයේ ඇති වුණ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පස්සේ, 2023 මැද භාගයේදී ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගත්තා. බාහිර කම්පන, දිගුකාලීනව සිදු වුණු වැරදි සාර්ව ආර්ථික කළමනාකරණය සහ ව්‍යුහාත්මක දුර්වලතා නිසා 2022 දී විදේශ සංචිත (ඩොලර් සිඳී යාම) ක්ෂය වීමටත් රාජ්‍ය ණය පැහැර හැරීමටත් හේතු වුණා. රැකියා අහිමිවීම් සහ ඉහළ උද්ධමනය මධ්‍යයේ සැබෑ ආදායම් පහත වැටීම හේතුවෙන් 2021 සහ 2022 අතර දරිද්‍රතාවය 10% කින් වැඩි වුණා. 

IMF විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ මගින් ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාරයක් ලැබුණා. ඒ මඟින් 2021 සහ 2023 අතර සමුච්චිත දළ දේශීය නිෂ්පාදිතයේ හැකිලීම 9.5% දක්වා සීමා වුණා. මේ අතරේ ප්‍රධාන උද්ධමනය (2022 සැප්තැම්බර් මාසයේදී 69.8% සිට 2023 දෙසැම්බර් මාසයේදී 4% දක්වා) අඩු වුණා භාවිතා කළ හැකි නිල සංචිත (2022 අවසානයේ මාස 0.3 සිට 2023 අවසානය වන විට ආනයන මාස 2.1 දක්වා) ඉහළ ගියා. රාජ්‍ය සහ රජය විසින් සහතික කළ ණය දදේනියේ අනුපාතයක් ලෙස (2022 අවසානයේ 119.2 සිට 2023 අවසානයේ සියයට 111.7 දක්වා) පහත වැටීමත් හොඳ ප්‍රතිඵලයක්.  පහත වැටුණි. කෙසේ වෙතත්, උපයෝගිතා මිල ගැලපීම් සහ නව ආදායම් බලමුලු ගැන්වීමේ පියවර ඇතුළුව ප්‍රතිසංස්කරණ, ගෘහස්ථ අයවැය පීඩාවට පත් කළේය.

ඉහළ ජීවන වියදම්වලට මුහුණ දෙමින්, කුටුම්භ මානව ප්‍රාග්ධන වියදම් කපා හැරීම, වැඩිපුර ණයට ගැනීම සහ පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය අඩු කිරීම වැනි අවදානම් සහගතව මුහුණ දීමේ උපාය මාර්ග අනුගමනය කළේය. කොහොම වුණත්, විදුලිය, ආහාර වගේ උපයෝගිතා මිල ගණන් ඉහළ නැංවීම සහ රජයේ ආදායම වැඩි කිරීම සඳහා නව බදු හෝ ගාස්තු හඳුන්වා දීම වැනි රජයේ සමහර ප්‍රතිසංස්කරණ නිසා ගෘහස්ත ආර්ථිකයන්වල; ජීවිතවල තත්ත්වය නරක අතට හැරිලා තියෙනවා. ඒවායේ ප්‍රතිඵල විදිහට, බොහෝමයක් පවුල් ඉහළ ජීවන වියදම් සමඟ පොරබදමින් සිටින අතරම ඒවාට මුහුණ දීමට අවදානම් සහිත ක්‍රම භාවිතා කරනවා. එනම්, අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි අංශ සඳහා වන ප්‍රාග්ධන වියදම් අඩු කිරීම, වැඩියෙන් ණය ගැනීම සහ අඩු සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීම. මෙම ක්‍රියාමාර්ග දිගු කාලීනව පවුල්වලට හානි කරන්න පුළුවන්.

ඉදිරි දැක්ම

Image by G Lopez from Pixabay

2024 වසරේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් වුණත්, අර්බුදයේ බලපෑම්, වර්ධනයට ඇති බාධාවන් සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් හමුවේ මධ්‍ය කාලීන වර්ධනය මධ්‍යස්ථ මට්ටමක පවතියි කියලා අපේක්ෂා කරනවා. අපනයන අඩුවීම සහ ආනයන මත ඇති බලපෑම නිසා 2025 දී ජංගම ගිණුම හිඟයක් ඇති වීමේ ඉඩක් තියෙනවා. දේශීය ඉල්ලුමේ වැඩි වීමත් සමඟ, 2025 වසරේ මැද භාගය වෙද්දි උද්ධමනය ධන අගයකට ළඟා වෙයි කියන පුරෝකථනය තිබුණත්, ඒ අගය මහ බැංකුවේ මධ්‍ය කාලීන ඉලක්කයට වඩා පහළ මට්ටමක පවතීවි කියන විශ්වාසය තියෙනවා. 

ශ්‍රී ලංකාව මූල්‍ය සංචිත නැවත ගොඩනඟා ගැනීමට සහ ජාත්‍යන්තර තත්ත්වය වැඩිදියුණු කිරීමට පටන් ගෙන තිබුණත්, තවමත් ඉතා ඉහළ අවදානම් පහව ගිහින් නෑ. ඒ අතර තියෙන ප්‍රධාන ගැටළු විදිහට, ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම, ඉහළ ගෝලීය පොලී අනුපාත සහ ගෝලීය වෙළඳ ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාවය සලකන්න පුළුවන්. මේවා නිසා විදේශ ආයෝජන අඩු වීම, රටේ අපනයන සඳහා ඉල්ලුම අඩු වීම සහ අපනයන ආශ්‍රිත අංශවල රැකියා අහිමිවීම් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම, රජය වැඩි වශයෙන් වක්‍ර බදු පැනවුවොත්, විශේෂයෙන් ධනවතුන්ට වඩා දුප්පතුන්ට බලපෑමක් ඇති වන නිසා දුප්පත්කම වැඩි වීමේ ඉඩකඩ තියෙනවා. මීට අමතරව, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණනින් වැඩි වීම මඟින් ඔවුන්ගේ අනාගත විභවයට හානි වීමත් පරම්පරා ගණනාවක් පුරා දරිද්‍රතාවයේ චක්‍රය පැවතීමත් සිදු වෙන්න පුළුවන් අයහපත් ප්‍රතිඵල අතර තියෙනවා. රට තුළ පවතින රැකියා අවස්ථා සීමිත වීම නිසා පුහුණු ශ්‍රමිකයින් රට හැර යාමට ඒක හේතුවක්. ඒ නිසාම ආර්ථික ප්‍රකෘතියට සහ රාජ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවයට හානි සිදු වෙනවා. විශේෂයෙන් ජනගහනය වයස්ගත වන විට මේ තත්ත්වය උග්‍ර වෙන්න ඉඩකඩ වැඩියි. 

ශක්තිමත් මධ්‍ය කාලීන වර්ධනයක් සහතික කිරීම සඳහා, ප්‍රතිපත්තිමය අනුකූලතාව පවත්වා ගැනීම සහ සාර්ව-මූල්‍ය-මූල්‍ය ස්ථාවරත්වයට සහාය වන, තරඟකාරිත්වය වැඩි දියුණු කරන සහ නැවුම්, ණය නිර්මාණය නොකරන ප්‍රාග්ධන ගලා ඒම් ආකර්ෂණය කර ගන්නා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම ඉතා වැදගත්. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සැපයුම් ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමෙන් මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමත් ඒ හා සමානව වැදගත්. සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම මඟින් වඩාත් අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමත් එම ප්‍රතිලාභ අවශ්‍යතා සහිත අය ඇතුළත් සහ පුළුල් පදනමක් ඇති බව සහතික කරනවා ඇති.

විදුලි බලේ අද සහ හෙට

දිල්මිණී අබේරත්න විසිනි 

Originally appeared in The Leader newspaper

ලංකා විදුලිබල මණ්ඩලය කියලා කියන්නේ හුඟක් වෙලාවට පුවත් මවන ආයතනයක්. ඒකට හේතු එකක් කියලා නෑ. ගොඩක් තියෙනවා. කොහොමත් මාස හයෙන් හයට විදුලිබල මණ්ඩලය විසින් මිල සංශෝධන ඉදිරිපත් කරන නිසා, මණ්ඩලේ ගැන කතාව යට යන්නෙම නෑ; ආයෙමත් කරළියට එනවා. විදුලි මිල අනුව විදුලි බිල තීරණය කරද්දි දේශගුණික තත්ත්වයන්, ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ගණන්වල වෙනස් වීම් සහ ලංකාවේ රුපියල උච්ඡාවචනය වීම වගේ මෙකි නොකී බොහොමයක් දේවල් නිසා අපි පාවිච්චි කරන විදුලි ඒකකයක මිල වෙනස් වෙනවා. ඒ නිරන්තර වෙනස්වීම් නිසා ගෘහස්ථ, කර්මාන්ත ආදී ඕනෑම අංශයකට අභියෝගවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මොකද කලින් කලට මිලේ වෙනසක් වෙද්දි, විශේෂයෙන්ම කර්මාන්තකරුවන්ට දිගු කාලීන තීරණ ගැනීමේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ මෑතකදීම අහන්න ලැබුණු කතාව තමයි ලංකා විදුලි බල මණ්ඩල පෞද්ගලීකරණය කිරීමේ වගන්ති ඉවත් කරමින් නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරන වැඩේ. 

ලංකාවේ අතිවිශාල ආර්ථික අර්බුදයක් ඇතිවුණ වෙලාවේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය පිළිබඳ දැඩි කතාබහක් ඇතිවුණා. ඒ වෙලාවෙදි පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියන කාරණයට යෝජනාවත් ආවා. මොකද පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරවල පාඩුව සෘජුව හෝ වක්‍රව දරන්න සිද්ධ වෙන්නේ රජයට බදු ගෙවන ජනතාවට. ඒ කියන්නේ ඔබට සහ මට. අපි විසින් ඒ පාඩුවල බර දරන තාක් කල් අපේ ජීවන වියදම ඉහළ යනවා; ජීවන මට්ටම් පහල යනවා. ඉතිං අද අලුතෙන්ම මේ ඇති වෙලා තියෙන කතා බහත් එක්ක ලංකා විදුලි වල මණ්ඩලයේ ඉතිහාසය, වර්තමානය සහ  අනාගතය එක්ක බැඳුණු ලංකාවේ ආර්ථිකයේ ඉදිරි ගමන ගැන අපි මේ සටහනින් කතා කරනවා.  

Image by Alexa from Pixabay

ලංකාවේ විදුලිබලය සහ එහි ආරම්භය

එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයට තමයි වාසනාව තිබුණේ ලෝකයේ විදුලිබලයෙන් අලෝකමත් වූ පළමු නගරය විදිහට ඉතිහාසයට එකතු වෙන්න. ඒ 1881 ජූනි 26 වෙනිදා. ඒ කාලේ ලංකාව තිබුණේ  බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් හැටියට. 1882දී ශ්‍රී ලංකාවේ කොළඹ වරායට යාත්‍රා කරපු SS Helios කියන නැවේ තිබුණ විදුලිබල පහසුකම ප්‍රථම වරට දැකගන්න ලංකාවට අවස්ථාවක් ලැබුණා. ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් භාවිතයෙන් ශ්‍රී ලංකාව තුළ මුල්ම විදුලි බල්බය දල්වන්න 1890 වර්ෂය තරම් කල් ගත වුණා. ඒ කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරය තුළ. 1895 අවුරුද්දේ බූස්ටඩ් සහෝදරයෝ ආයතනය විසින් කොළඹදී ප්‍රථම වරට විදුලි සැපයුම ආරම්භ කළා. 

පසුකාලීනව ඉංජිනේරු ඩී.ජේ.විමලසුරේන්ද්‍ර මහත්මාගේ ගවේෂණ මගින් අපේ රටේ මධ්‍යම කඳුකරයේ තියෙන ජල විදුලිබල විභවය, සහ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ අනාගතයට එහි ඇති වැදගත්කම හඳුනාගත්තා. ඔය විදිහට කාලාන්තරයක් තිස්සේ ක්‍රමිකව දියුණු වුණ ලංකාවේ විදුලිබල උත්පාදන ක්‍රියාවලිය 1969 නොවැම්බර් පළවෙනිදා 1969 අංක 17 දරණ පාර්ලිමේන්තු පනත මගින් ලංකා විදුලිබල මණ්ඩලය ස්ථාපිත කළා.

Image by Tom from Pixabay

ලංකා විදුලිබල මණ්ඩලය වර්තමානය

ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) 2022 අවුරුද්දේ නිකුත් කරපු වාර්ෂික වාර්තාවලට අනුව මෙගාවොට් 1378.4ක ස්ථාපිත ධාරිතතාවයක් සහිත විදුලි බලාගාර 17, මෙගාවොට් 654ක ස්ථාපිත ධාරීතාවයක් සහිත තෙල් බලයෙන් ක්‍රියාත්මක තාප බලාගාර 7, මෙගාවොට් 900ක ස්ථාපිත ධාරිතාවයක් සහිත එක් ගල් අඟුරු බලාගාර විදුලි බලාගාරයක් මෙගාවොට් 103.5 ස්ථාපිත ධාරිතාවයක් සහිත සුළං බලාගාර එකක් සතුව තියෙනවා. මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය විසින් යාපනය අර්ධද්වීපයේ වටේ පිහිටලා තියෙන දූපත්වල ඩීසල් විදුලි බලාගාර කීපයකුත් ක්‍රියාත්මක කරනවා. 2022 අවුරුද්දේ අවසානය වෙද්දී ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි බලාගාරවල සමස්ත ධාරිතාවය මෙගාවොට් 3036ක්. 

ගණන් මිනුම් ඇරුණාම, ලංවිම ගැන කතාබහ හරි ගැඹුරු එකක්. මොකද පහුගිය කාලයේ ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතියට දරාගන්න බැරි කම්පනයක් ආපු ගමන් මුළු රටටම විදුලිය විසන්ධි වෙන බව තහවුරු වුණා. ඉතින් ලංකාව තුළ ජල විදුලියෙන් සහ අනෙකුත් ක්‍රමවලට විදුලි නිෂ්පාදනය වෙනවා. රාජ්‍ය අංශය ඇරුණහම පෞද්ගලික අංශයේ සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ සූර්ය බල ශක්තිය පවා ලංකාවේ සම්ප්‍රේෂණ පද්ධතියට එකතු කිරීමේදී ධාරිතාව දරා ගැනීමට බැරිවීම කියන ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙලා. මේ වෙද්දි ලංකාවේ රැහැන් පද්ධතිය, සම්ප්‍රේෂණ ජාලය ආදී  සියල්ලක් අයිති වෙන්නේ රජයට; ලංකා විදුලි බල මණ්ඩයට. ඒකට තරගකාරයෙක් නැහැ. ඒ තුළ තියෙන්නේ ඒකාධිකාරියක්. ඕනෑම වෙලාවක මිල තීරණය කිරීම, පාලනය කිරීමේ හැකියාව ඒ ආයතනයට තියෙනවා. පාරිභෝගිකයන් විදිහට ඒ මිලට එකඟ වෙනවා ඇර අපිට වෙන විකල්පයක් නෑ.

Image by Frauke Riether from Pixabay

ලෝකය පුරා විදුලි බල සම්පාදනය ම්ප්‍රේෂණය බෙදා හැරීම කියන අංශවල නොයෙකුත් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා ඒවාට පෞද්ගලික ආයෝජකයන් ඔස්සේ නවීන තාක්ෂණය සහ තරගකාරීත්වය ලැබිලා තියෙනවා. ඒත් ලංකාවේ මේ වෙනකොට තියෙන ලංකා විදුලිබල පනත යටතේ නව ආයෝජකයන්ට ඊට සම්බන්ධ වීමේ හැකියාවි සීමිතයි. මේ නිසා ලංකාවේ විදුලිබල මණ්ඩලය තුළට නවීකරණය, නවෝත්පාදනය, තරඟකාරීත්වය කියන දේවල් ඇතුළත් කිරීම කරන්න බැරි දෙයක් බවට පත් වෙලා. මෑතකදී යෝජනා වුණ විදිහට, විදුලිබල පනත සංශෝධනය වීම කියන කාරණයත් එක්ක විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ කිසිදු වගන්තියක් ඒ තුළ අන්තර්ගත වෙන්නෙ නැහැ. ඒ වෙනුවට නව පනතින් මණ්ඩලයේ කොටස් හතරකට වෙන් කරලා, 100% රජය සතුව තබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් ගේන තර්කය තමයි විදුලිබලය වගේ උපායමාර්ගිකව වැඳගත් ආයතනයක් වෙනත් කෙනෙක්ගේ පාලනයට ගෙන යාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන කාරණය. හැබැයි විදුලිබල මණ්ඩලයේ නිරන්තර මිල වෙනස් වීම් නිසා සමස්ත ආර්ථිකයටම මුහුණ දෙන්න සිද්ධ වෙන පාඩුවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්.

Image by Colin Behrens from Pixabay

ලංවිම සහ ඈත්වීම

ලංකාවේ විදුලි බල මණ්ඩලය කියපු ගමන් අපිට අමතක කරන්න බැරි ආයතනයක් තියෙනවා. ඒක තමයි මහජන උපයෝගිතා කොමිසම. මේ ආයතනය තුළත් ඉන්නේ රජය විසින් පත්කරපු නිලධාරීන්. මිල තීරණය කරන අවස්ථාවල මේ ආයතන දෙක අතරේ හැල හැප්පීම් ඇතිවන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. වෙනකොට තියෙන තත්ත්වය අනුව පිරිවැයට සරිලන මිලක් අය කරන්න ඕනේ. ඒ කියන්නේ පිරිවැයට වඩා වැඩි මිලකට යන්නත් බෑ. අඩු මිලකට යන්නත් බෑ. ඉතින් හැම මාස හයකටම සැරයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිල වෙනස් කරලා බලාපොරොත්තු වෙන්නෙ, ඒ පිරිවැයට සරිලන මිල පවත්වා ගැනීම. කොහොමත් ලංකාවෙ තියෙන්නේ ඉහළ නිෂ්පාදන පිරිවැයක්. ඒ නිසා ඒ පිරිවැය කොහොමත් දරන්න වෙන්නේ සාමාන්‍ය ජනතාවට. පිරිවැය ඉහළ යන වාරයක් වාරයක් පාසා මිල ඉහළ යනවා. 

ලංවිම සහ ආර්ථිකය  

සාමාන්‍යයෙන් අනෙකුත් ක්ෂේත්‍ර වගේ නෙමෙයි. ලංකාව විදුලිබල මණ්ඩලය එහෙම නැත්නම් විදුලි බලයෙන් තොරව කිසිම කර්මාන්තයකට පවතින්න බැරි තත්වයක් තමයි අද වෙනකොට තියෙන්නේ. මේ නිසා විදුලි බිලේ සිදුවන වෙනසක් අපි ගන්න කන කෑම එකකට, හෝදන රෙදිවලට, මිලට ගන්න භාණ්ඩයකට, පාවිච්චි කරන සේවාවලට අදාළ මිල ගණන්වලට බලපානවා. ඒ අනුව වෙළඳපළේ හැමදේකම මිල ගණන් තීරණය වෙන්න විදුලි බිල විශාල බලපෑමක් කරනවා. 

ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වුණ කාරණා බොහොමයක් අතරේ ලංකා විදුලිබල මණ්ඩලය, පිරිවැය ආවරණය නොවෙන මට්ටමක මිල අඩුවෙන් පවත්වා ගැනීම නිසා විශාල වශයෙන් පාඩු ලැබුවා. ඒ පාඩුව නිසා විදුලි නිෂ්පාදනය වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ණයට ඉන්ධන ලබාගත්තා. ඒ වෙලාවෙදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් පාඩුවක් සිද්ධ වුණා. එයාලා ඒ පාඩුව පියවගන්න හිතාගෙන ලෝක වෙළඳපලේ සාමාන්‍යයෙන් පවතින මිලට වඩා වැඩියෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමට jet fuel විකුණපු නිසා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් පාඩු ලැබුවා. මේ විදිහට එක ආයතනයක පාඩුවක් තවත් රාජ්‍ය ආයතන ගණනාවකට පැතිරිලා ගිහින් තියනවා. මේ ආයතන තුනම පාඩු ලබන කොට ඒ ආයතනවල මෙහෙයුම් කටයුතු කරගෙන යන්න සල්ලි නැති නිසා ඔවුන් භාණ්ඩාගාරයට ගිහිල්ලා ණය ඉල්ලනවා. නමුත් භාණ්ඩාගාරයටත් ඒ සම්බන්ධයෙන් වියදම් කරන්න සල්ලි නෑ. නමුත් රජය සතුව රජයේ බැංකු දෙකේ මහජනතාවගේ තැන්පත් මුදල් තියෙනවා. ඒ තමයි මහජන බැංකුව සහ ලංකා බැංකුව. ඉතින් භාණ්ඩාගාරය ඇප වෙලා කලින් අර අපි කතා කරපු ආයතන තුනට ණය දෙන්න කියලා කියනවා. මේ වෙලාවෙදි රජයේ බැංකු දෙකත් ඒ නිසා පාඩු ලබනවා. 2024 අයවැයෙන් බිලියන 450ක් වෙන් කරන්න සිද්ධ වුණා මේ කියන බැංකු ක්ෂේත්‍රය වැටිලා තියෙන අර්බුදයෙන් ගොඩගන්න.

Image by Neil Crook from Pixabay

ලංවිම සහ අනාගතය 

කොහොමත් මේ වෙනකොට කලාපයේ විදුලි මිල එක්ක සසඳලා බලද්දී ලංකාවේ විදුලි බිල ඉහළ මට්ටමක තියෙනවා. ඒකේ අදහස ලංකාවේ හැම දෙයක්ම මිල අධික වෙනවා කියන එක. ඒ අනුව කර්මාන්තකරුවන්ට, නව ආයෝජකයන්ට අපේ රටේ කර්මාන්ත කිරීමේ ගැටලු පැන නඟිනවා. ඒ තත්ත්වය අපේ ආර්ථික වර්ධනයට හොඳ නෑ. හැමදේකම මිල වැඩි වෙනකොට උද්ධමනය ඉහළ ගිහිල්ලා ජනතාවගේ ජීවන මට්ටම් පහළ යනවා. මේ සියලුම දේවල්වලට හේතුව හොයාගෙන ගිහින් බැලුවහම ලංකාවේ විදුලිබල මණ්ඩලය සැලකිය යුතු භූමිකාවක් රඟ දක්වන බව අපිට පේනවා.

ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නයේ මුලට තමයි බෙහෙත් කරන්න ඕන. ලංකාවේ මේ වෙනකොට සම්ප්‍රේෂණ පද්ධතිය දියුණු වෙන්න ඕනෙ. ධාරිතාව දරා ගන්න බැරි වුණ ගමන් විදුලිය විසන්ධි වෙලා ඒක රටටම බලපානවා නම් ඒක ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක්. නමුත් දුර්වල සම්ප්‍රේෂණ පද්ධතියක් නවීකරණය කරන එක රජයකට විතරක් තනියෙන් කරන්න බෑ. මොකද රජයට වෙන දේවල්වලටවත් ප්‍රමාණවත් තරම් සල්ලි නැහැ. සම්ප්‍රේෂණ පද්ධතිය දියුණු කිරීම වගේ විශාල ආයෝජනයකට නම් පෞද්ගලික ආයෝජකයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන්  තරගකාරීත්වයක් ඇති වෙන්න සහ නවීන තාක්ෂණය ලංකාවට ලබා ගන්න නම් ලංකාවේ විදුලිබල මණ්ඩලයේ විදුලි බල පනත සංශෝධනය විය යුත්තේ ඒ පෞද්ගලික අංශවලටත් විදුලි බල උත්පාදනය සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම කියන දේවල්වලට පහසුකම් සැලසෙන විදිහට. 

අපි හැමදාමත් කියනවා වගේ රජයක් වෙළඳාම් කටයුතුවලට එහෙම නැත්නම් ආර්ථික කටයුතුවලට මැදිහත් වෙනකොට ආර්ථිකයක් සංකෝචනය වෙනවා. ආර්ථිකයක් වර්ධනය වෙන්න නම් නිදහස තියෙන්න ඕන. ඒක හරියට නිදහසේ පැලයක් හැදෙන්න හිරු එළිය, ජලය, වාතය කියන දේවල් සමඟ නිදහසේ වැඩෙන්න ඉඩ තියෙන්න ඕන වගේ. එහෙම නැතුව කොටු කරලා, හිර කරලා, පිටට ආවරණය වෙන්න නොදී අපිට පැලයක් හදන්න බෑ. ඒක මැරෙනවා. ඉතින් ලංකාවේ ආර්ථිකයේ ඉදිරි අනාගතයත් ඕකයි. ඒක තේරුම් අරගෙන අවශ්‍ය කාලයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කළේ නැත්නම් ලංකාවේ ආර්ථිකයත් ආයෙත් මළ ආර්ථිකයක් වෙන්න ඉඩ තියෙනවා.  

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 මුල් මාස හතර තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරයි

ජනත් පෙරේරා
2025 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනන වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර ඇත . මෙම කාලය තුළ මුළු අපනයන අගය ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25 දක්වා ළඟා වූ අතර, එය 2024 එම කාලයට සාපේක්ෂව 6.9%ක ශක්තිමත් වර්ධනයකි. මෙම වර්ධනයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට තුළ පවතින කර්මාන්ත අංශය ගෝලීයව පවතින අභියෝග වලට අනුවර්තනය වෙමින් ඒවාට ඔරොත්තු දෙමින් එම අභියෝග ක්‍රමයෙන් ජයගනමින් පවතින වගයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “මෙම අපනයන වර්ධනය ශ්‍රී ලංකාවේ ගෝලීය වෙළඳාමට වැඩි නැඹුරුතායක් දැක්වීමත්, අපනනයන තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට හා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමට රජයේ හා අපනයන සංවර්ධන මණ්ඩලයේ අඛණ්ඩ උත්සාහයන්හි සාර්ථකත්වය පෙන්නුම් කරන බවයි.”

source atlas.hks.harvard.edu

අප්‍රේල් 2025 කාර්ය සාධනය

2025 අප්‍රේල් මාසයේදී පමණක්, භාණ්ඩ හා සේවා ඇතුළු මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,292.63 දක්වා ළඟා වි ඇත. මෙය 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව 8.74%ක වර්ධනයකි. අප්‍රේල් 2025 මාසයේදී භාණ්ඩ අපනයන 12.05%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 983.33ක් විය. සේවා අපනයනවල ඇස්තමේන්තුගත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 309.3ක් විය.

2025 ජනවාරි - අප්‍රේල් කාලය තුළ කැපී පෙනෙන අපනයන අංශ

වසරේ මුල් මාස හතර තුළ, භාණ්ඩ හා සේවා ඇතුළු සමුච්චිත මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 5,523.85ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2024 එම කාලයට සාපේක්ෂව 6.9%ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි.

source EDB

මෙම කාලය තුළ වර්ධනය පෙන්නුම් කළ ප්‍රධාන භාණ්ඩ හා සේවා අංශ:

  • ඇඟලුම් සහ රෙදිපිළි: 11.59%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,497.91ක් විය. විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදය (10.25%) සහ එක්සත් රාජධානිය (6.41%) වෙත අපනයන වැඩි වි ඇත.

  • තේ: 6.23%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 478.29ක් විය. ප්‍රධාන වශයෙන් තේ පැකට් අපනයනය 18.57%කින් වර්ධනය වීම මෙයට හේතු වී ඇත.

  • පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන: 25.3%කින් විශාල වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 331.3ක් විය. පොල් තෙල් (60.05%), පොල් කිරිපිටි (88.64%), සහ පොල් ක්‍රීම් (51.7%) වැනි සියලුම ප්‍රධාන කාණ්ඩ සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත.

  • කුළුබඩු සහ අත්‍යවශ්‍ය තෙල්: 63.44%කින් ඉහළ වර්ධනයක් වාර්තා කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 142.98ක් විය. ගම්මිරිස් (224.59%) සහ කරාබුනැටි (353.77%) අපනයනවල ප්‍රබල ක්‍රියාකාරිත්වය මෙයට හේතු ඇත.

  • ආහාර සහ පාන වර්ග: 14.65%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 181.98ක් විය. සැකසූ ආහාර අපනයන 36.26%කින් වර්ධනය වි ඇත.

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT/BPM) සේවා: 4.91%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 492.71ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

  • සැපයුම් සහ ප්‍රවාහන සේවා: 20.69%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 648.71ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

අපනයනය පහත වැටීමක් පෙන්නුම් කළ අංශ

  • රබර් සහ රබර් නිමි භාණ්ඩ: 6.74%කින් අඩුවී ඇමරිකානු ඩොලර් මිලියන 312.43ක් විය8. Pneumatic & Retreated Rubber Tyres & Tubes අපනයන 22.47%කින් අඩුවීම මෙයට ප්‍රධාන හේතුවයි.

  • මුහුදු ආහාර: 17.34%කින් අඩුවී ඇමරිකානු ඩොලර් මිලියන 74.96ක් විය9. නැවුම් මසුන් (-33.83 %) සහ ඉස්සන් (-69.14 %) අපනයනවල අඩුවීම මෙයට හේතු විය.

  • විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග: 6.29%කින් අඩුවී ඇමරිකානු ඩොලර් මිලියන 129.26ක් විය9. Insulated Wires and Cables (-13.72 %) සහ Printed Circuits (-77.88 %) අපනයනවල අඩුවීම මෙයට හේතු විය.

source EDB

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල්වල කාර්ය සාධනය

  • ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් 10 අතරින් අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවල් 2025 අප්‍රේල් මාසයේදී මෙන්ම ජනවාරි සිට අප්‍රේල් දක්වා සමුච්චිත කාලය තුළ ද ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළේය.

  • ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගමනාන්තය වන අමෙරිකා එක්සත් ජනපදය වෙත අපනයන 7.94%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 965.97ක් විය.

  • ඉන්දියාව ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ගමනාන්තය බවට පත්වෙමින් 39.69%ක තියුණු වර්ධනයක් වාර්තා කළේය11. Animal Feed සහ Pepper අපනයන මෙයට ප්‍රධාන වශයෙන් දායක විය.

  • එක්සත් රාජධානිය වෙත අපනයන 6.14%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 323.91ක් විය.

  • නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) හවුල්කරුවන් (ඉන්දියාව සහ පකිස්ථානය)

  • 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඉන්දියාව සහ පකිස්ථානය වෙත අපනයන 36.35%ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 357.48ක් විය. මෙය දකුණු ආසියානු කලාපය තුළ වෙළඳ සබඳතා ශක්තිමත් වීම පිළිබිඹු කරයි.

source EDB

කලාපීය අපනයන

යුරෝපා සංගමය (EU) වෙත අපනයන 9.78%කින් වර්ධනය විය13. ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ බෙල්ජියම වැනි ප්‍රධාන EU වෙළඳපොළවල් ද වර්ධනය පෙන්නුම් කළේය.

මෙම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ශ්‍රී ලංකා රේගුවෙන් ලබාගෙන ඇති අතර, සේවා, මැණික් හා ස්වර්ණාභරණ, සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන අප්‍රේල් 2025 අපනයන සංඛ්‍යා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ඇස්තමේන්තු කර ඇත.

සමස්තයක් වශයෙන්, 2025 වසරේ මුල් මාස හතරේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය රටේ ආර්ථිකයේ ශක්තිය සහ ගෝලීය වෙළඳපොළේ අවස්ථා ග්‍රහණය කර ගැනීමේ හැකියාව පෙන්නුම් කරන අතර එය අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ඇති කරයි

source EDB

Sources: Data was obtained from the Central Bank of Sri Lanka (CBSL) and Sri Lanka Customs.
Export figures of Services, Gems & Jewellery, and Petroleum Products for April 2025 were estimated by the EDB Policy & Strategic Planning Division

රටේ වටේට මුහුද තිබිලත් අපිට ලුණු නැත්තේ ඇයි?

දිල්මිණී අබේරත්න විසිනි

මොන දේ රසට උයලා තිබ්බත්, ලුණු රස නැත්නම් මෙලෝ රහක් නෑ. ලුණු පොල්කට්ට හිදෙන්න හොඳ නෑ කියලත් ඉස්සර උදවිය කියලා තියෙනවා. ඒ කියන්නේ ගෙදරක ලුණු ටිකක් නැති වෙන එක එච්චර හොඳ නෑ කියලා තමයි ඒ අය විශ්වාස කළේ. ඒත් අද වෙද්දි ගෙදර නෙවේ, මුළු ලංකාවටම බලපාන ලුණු හිඟයක් ඇවිත්. දන්න කාලෙක මිනිස්සුන්ට බරපතළ විදිහට දැනෙන ලුණු හිඟයක් ඇවිත් නැති නිසා, මේ තත්ත්වය ගැන සමාජයේ ලොකු කතාබහක් ඇති වුණා. අන්තිමට පිටරටින් ලංකාවට ලුණු ආනයනය කරන්න සිද්ධ වුණා. රට වටේ මුහුද තියාගෙන ලුණු හිඟයක් ආවේ කොහොමද කියලා හුඟ දෙනෙක් අහනවා. අපි ඒකට හේතුව මොකක්ද කියලා මේ ලිපියෙන් හොයලා බලමු.  

Image by Marek from Pixabay

ලුණු කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් සෝඩියම් ක්ලෝරයිඩ්වලින් (NaCl) සමන්විත අත්‍යවශ්‍ය ඛනිජයක්. සියලුම ජීවින්ගේ පැවැත්මට යම් ප්‍රමාණයකින් සෝඩියම් සහ ක්ලෝරයිඩ් කියන සංඝටක අවශ්‍ය වෙනවා. මිනිසුන් විදිහට අපිට ලුණු අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් පරිභෝජනය, ආහාර සංරක්ෂණය කියන දේවල්වලට. ඒ ඇරුණාම විවිධ කාර්මික යෙදීම්වලටත් ලුණු යොදා ගන්නවා. වසර දහස් ගණනක අතීතයක් තියෙන ලුණු නිෂ්පාදනය, ලොව පුරා වැදගත් ආර්ථික ක්‍රියාකාරකමක් විදිහට සැලකෙනවා.

සාමාන්‍යයෙන් ලුණු නිෂ්පාදනයට ප්‍රධාන ක්‍රම 3 පාවිච්චි වෙනවා. 

  1. සූර්ය වාෂ්පීකරණය (Solar evaporation) - උණුසුම්, ශුෂ්ක දේශගුණයක් ඇති ප්‍රදේශවල භාවිතා වන අතර එහිදී මුහුදු ජලය නොගැඹුරු පොකුණුවලට යොමු කර ස්වභාවිකව වාෂ්ප වීමට සලසයි.

  2. පාෂාණ ලුණු කැණීම (Rock salt mining) - භූගත පතල්වලින් ලුණු නිධි නිස්සාරණය කිරීම.

  3. ද්‍රාවණ කැණීම සහ රික්ත වාෂ්පීකරණය (-Solution mining and vacuum evaporation) 


සූර්‍ය තාපයෙන් ලුණු නිෂ්පාදනය

ලුණු නිෂ්පාදනය කරන ක්‍රම කීපයක් තිබුනත් ලංකාවේ භාවිත වෙන්නේ සූර්ය තාපයෙන් ලුණු නිෂ්පාදනය කිරීම. දිවයිනක් විදිහට ලංකාවේ තියෙන පාරිසරික තත්ත්වය, සූර්යතාපයෙන් ලුණු නිෂ්පාදනය කිරීමට ගැලපෙනවා. විශේෂයෙන්ම පුත්තලම, යාපනය සහ හම්බන්තොට කියන ප්‍රදේශවල ලුණු නිෂ්පාදනයට හිතකර පරිසර තත්ත්වයක් තියෙනවා. ලුණු කර්මාන්තය වෙනුවෙන් යොදා ගන්නා වඩාත් පරිසර හිතකාමී සහ වියදම් අඩුම ක්‍රමය වෙන්නේ සූර්ය තාප ක්‍රමය. ඒ ක්‍රමයෙන් ලුණු නිෂ්පාදනය කරනවා නම් අනිවාර්‍යයෙන් සාධක කීපයක් තෘප්ත කරන්න ඕන. ඒ තමයි:

  1. ඉතා ඉහළ උෂ්ණත්වය සහ තදබල හිරු එළිය 

  2. අඩු වර්ෂාපතනය 

  3. හොඳින් සුළං හැමීම 

  4. මැටි සහිත පසක් තිබීම

මුහුදු වෙරළ ආශ්‍රිතව පවතින තැනිතලා බිම්වල ලුණු කර්මාන්තය සාර්ථකව පවත්වාගෙන යනවා.


ලංකාවේ  ලුණු නිෂ්පාදනය

Image by Naveen Kaushan from Pixabay

ලංකාවේ ලුණු නිෂ්පාදනය ගත්තොත්, ඊට සම්බන්ධ ප්‍රධානම රජයට අනුබද්ධ ආයතන දෙකක් තියෙනවා. ඒ ලංකා ලුණු සංස්ථාව සහ ලංකා ලුණු සමාගම. ඒවා පලටුපාන සහ පුත්තලම කියන ප්‍රදේශවල ලුණු අස්වනු නෙලීම කළමනාකරණය කරනවා. සාමාන්‍ය කෘෂිකර්මාන්තයේදී වගේම ලුණු නිෂ්පාදනයේදිත් කන්න දෙකක් අනුව වැඩ කරනවා. ඒ තමයි:

  1. යල කන්නය - පෙබරවාරි සිට අප්‍රේල්

  2. මහ කන්නය - ජූනි සිට ඔක්තෝබර්

ලංකාවේ ලුණු නිෂ්පාදනය රජයේ ආයතන සහ පුද්ගලික අංශ කියන දෙකෙන්ම සිද්ධ වෙනවා. ඒ අතරින් මහ ලේවාය ලෙස සැලකෙන හම්බන්තොට ලේවාය අයිති ලංකා ලුණු සමාගමට. මන්නාරම සහ අලිමංකඩ ආශ්‍රිත ලුණු ලේවායන් අයිති වෙන්නේ කර්මාන්ත අමාත්‍යංශයට. ඒ ඇරුණාම පුත්තලමේ පෞද්ගලික අංශයට අයත් ලේවායක් තියෙනවා. ඊටත් අමතරව කුඩා පරිමාණයේ පුද්ගලික ලුණු නිෂ්පාදකයනුත් ඉන්නවා.

ලංකා ලුණු සමාගමට අනුව, ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලුණු මෙට්‍රික් ටොන් 180,000 පමණ අවශ්‍ය වෙනවා. ඒකෙන් මෙට්‍රික් ටොන් 150,000 දක්වා ප්‍රමාණයක් වෙළඳපළට මුදා හැරෙනවා. මාසිකව මෙට්‍රික් ටොන් 12,000 - 15,000 අතර ලුණු ඉල්ලුමක් පවතිනවා. දෛනික පරිභෝජනයට අමතරව කරවල නිෂ්පාදනය, සත්ත්ව ආහාර සහ ඖෂධ වගේ කර්මාන්තවලටත් ලුණු අවශ්‍ය වෙනවා. මේ වෙද්දි ලංකාවේ ලුණු නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රතිශතය නිෂ්පාදනය වෙන්නේ හම්බන්තොට මහ ලේවායෙන්. සිවිල් යුධ සමය තුළ විනාශයට ලක් වෙන්න කලින් උතුරු ප්‍රදේශයේත් ඒ හා සමානවම සාර්ථකව ලුණු නිෂ්පාදනය සිද්ධ වෙලා  තියෙනවා.

ලංකාවේ ලුණු හිඟ වුණේ ඇයි?

Image by Mike Ljung from Pixabay

මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු ලංකා ලුණු සමාගම කියන්නේ ලුණු හිඟයට ප්‍රධානම බලපෑම එල්ල වුණේ දැඩි වැසි සහිත කාලගුණික තත්ත්වය කියලා. ලුණු නිෂ්පාදනය කරන්න අවශ්‍ය වියළි කාලගුණය අඛණ්ඩව තිබිය යුතු කොන්දේසියක් නිසා කඩින් කඩ වැසි ලැබෙන කාලයකදී ලුණු නිෂ්පාදනය කරන්න අසීරුයි. ලංකාවේ ලුණු නිෂ්පාදනය වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලන හම්බන්තොට වගේ වියළි ප්‍රදේශවලට මින් පෙරට වඩා වැඩියෙන් වර්ෂාව ලැබෙන රටාවක් ඇති වීමත් එක්ක සාම්ප්‍රදායික ක්‍රමවලට, අඩු පිරිවැයකින් සිදු කරන ලුණු නිෂ්පාදනය අභියෝගයක් වෙලා තියෙන්නේ. 

Image by Ingo Jakubke from Pixabay

ලංකා ලුණු සමාගමේ සභාපතිතුමා ඇඩ්වොකාටා ආයතනය සමඟ කළ සාකච්ඡාවකදි පැහැදිලි කළා ලංකාවේ ලුණු නිෂ්පාදනය අඩාල වෙලා ලුණු හිඟයක් ඇති වුණේ කොහොමද කියන කාරණය. ඒ අනුව මුහුදු වතුර ලුණු බවට පත් කිරීමේ ක්‍රියාවලිය අදියර කිහිපයකින් සමන්විත වෙනවා. සාමාන්‍ය මුහුදු වතුරේ සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රතිශතය 3.5% පමණ අගයයක්. මුහුදු වතුර අදියර කීපයකදී, තටාක කීපයකට පොම්ප කිරීම මගින් ඒ ප්‍රතිශතාත්මක අගය 29%කට වගේ ඉහල නංවා ගැනීම සිදුවෙනවා. ඒ වෙනුවෙන් මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් ගත වීමේ හැකියාව තියෙනවා. අදාළ කාලය ඇතුළත වියලි කාලගුණය සමඟ හොඳින් සුළං පැවතීම වඩාත් හිතකර වෙනවා. ඒ වුණත් මේ 2025 අවුරුද්දේ ජනවාරි ඉඳලා මැයි දක්වා කාලයේදී මිලිමීටර් 600 පමණ වර්ෂාපතනයක් ඇද හැලීම නිසා බාධාවකින් තොරව ලුණු නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් ලැබිලා නෑ. මොකද ස්වභාවික ක්‍රමවලට ලුණු නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවට අනවශ්‍ය ජලය වාෂ්පීකරණය කරලා ලුණු මුදවාගැනීම සඳහා අඛණ්ඩව වියලි කාලගුණයක් තිබීම අනිවාර්ය සාධකයක්. ඒ අනුව දිගින් දිගටම ඇද හැළුණ වර්ෂාව නිසා මේ වෙනතුරු ලුණු නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ලැබිලා නෑ. ඒකේ අවසාන ප්‍රතිඵලය විදිහට මුළු රටටම බලපාන විදිහේ ලුණු හිඟයක් ඇති වෙලා.  

මීට කලින් වැස්සෙන් ලුණු නිෂ්පාදනයට බාධා වෙලාම නැද්ද?

Image by congerdesign from Pixabay

ඊළඟට හුඟ දෙනෙක්ට එන ප්‍රශ්නය තමයි මීට කලින් කවදාවත් ලුණු නිෂ්පාදනය කරන පළාත්වලට එක දිගට වැහැලා නැද්ද? ලුණු නිෂ්පාදනයට බාධාවක් වෙලාම නැද්ද කියන එක. ලංකා ලුණු සමාගමේ සභාපතිතුමා වසර ගණනාවක දත්ත සලකලා බලලා ඒ සම්බන්ධයෙන් දක්වපු අදහස අනුව, මේ වතාවෙ තමයි වුරුදු ගණනාවකට පස්සේ හම්බන්තොට ඇතුළුව ලුණු නිෂ්පාදනය කරන බොහොමයක් ප්‍රදේශවලට අඛණ්ඩවම වැසි ලැබිලා ලුණු නිෂ්පාදනය අඩාල වෙලා තියෙන්නේ. ඒ අනුව යල කන්නයේ ලුණු නිෂ්පාදනය කරගැනීම සම්පූර්ණයෙන්ම වගේ අඩාල වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නය 2024දිත් තිබිලා. ඒ කියන්නේ 2024දීත් වර්ෂාව නිසා නිෂ්පාදනය කරන්න අපේක්ෂා කරපු මෙට්‍රික් ටොන් 125,000 ලුණු ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න හැකියාවක් ලැබුණේ නෑ. එයින් මෙට්‍රික් ටොන් 40,000 විතරයි නිෂ්පාදනය කරන්න හැකියාව ලැබිලා තිබුණේ. ඒත් 2024දි ඒ තරම් ගැටළුවක් ඇති නොවුණේ 2023 වසරේ ලුණු නිෂ්පාදනයෙන් මෙට්‍රික් ටොන් 60,000 පමණ අතිරික්තයක් තිබුණ නිසා. 

2024 සහ 2025 යල කන්නයේ ලුණු නිෂ්පාදනය අඩාල වීම නිසා මේ වසරේ විශාල ලුණු හිඟයක් ඇති වුණා. මේකට කෙටිකාලීන විසඳුමක් විදිහට මෙට්‍රික් ටොන් 30,000 ලුණු ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරලා තියෙනවා. හැබැයි දීර්ඝ කාලීනව ලංකාවේ ලුණු හිඟයක් ඇති නොවෙන්න නම් හොඳ සැලැස්මක් ඇතුව අදාළ කර්මාන්තය පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. 

ශ්‍රී ලංකාවේ ලුණු ආශ්‍රිත ගැටළු

සාමාන්‍යයෙන් ලුණු නිෂ්පාදනයට හිතකර පරිසර තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ තිබුණත්, ඒ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් තියෙනවා. ඒ අනුව අභියෝග කීපයක් තියෙනවා:

  1. නිෂ්පාදන හිඟය: දේශීය නිෂ්පාදනයේ තාවකාලික උච්චාවචන නිසා ඉල්ලුම සහ සැපයුම් අතර නොගැළපීම් ඇති වෙනවා. ඒ වෙනුවෙන් ආනයනය කිරීම සිද්ධ වෙනවා.

  2. දේශගුණික විපර්යාස: මුහුදු මට්ටම ඉහළ යාම, අක්‍රමවත් කාලගුණික රටා සහ වියළි කාලවලදී අනපේක්ෂිත වර්ෂාව නිසා ලුණු නිෂ්පාදනයට දැඩි ලෙස බාධා ඇති වෙනවා.

  3. නවීකරණයක් නොමැතිකම: ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තයෙන් වැඩි ප්‍රමාණයක් තවමත් සාම්ප්‍රදායික, ශ්‍රම සූක්ෂම ක්‍රම මත රඳා පවතින නිසා සීමිත තාක්ෂණික දියුණුවක් එක්ක කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය තියෙන්නේ අඩු මට්ටමක.

  4. පාරිසරික ගැටුම්: ලුණු නිෂ්පාදන ප්‍රදේශ පුළුල් කිරීම නිසා සමහර විට තෙත්බිම් සහ ජෛව විවිධත්වයට, විශේෂයෙන් පාරිසරික වශයෙන් සංවේදී කලාපවල බලපෑම් එල්ල වෙන්න පුළුවන්.

  5. ප්‍රතිපත්ති සහ කළමනාකරණ ගැටළු: ප්‍රමාණවත් සැලසුම් නොකිරීම, ලුණු ගොවිපලවල් දුර්වල ලෙස නඩත්තු කිරීම සහ නිලධාරිවාදී බාධක බොහෝ විට පවතින ලුණු නිපදවන යටිතල පහසුකම් ඌන උපයෝජනයට හේතු වී ඇත.


ඉස්සරහට මොකද වෙන්නේ?

Image by David_Loe from Pixabay

ලංකා ලුණු සමාගමේ සභාපතිතුමා වැඩිදුරටත් අදහස් දැක්වුවා මහ කන්නයේදී ලුණු නිෂ්පාදනය සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. එතුමා කියන විදිහට අගෝස්තු මාසයේදී තමයි සමස්ත ලුණු නිෂ්පාදනයෙන් ⅓ ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නෙ. ඒකට හේතුව, අගෝස්තු මාසයත් ඇතුළුව මහ කන්නය පුරාවට පවතින හිතකර වියලි කාලගුණික තත්ත්වය. මේ නිසා මහ කන්නයේදී අපේක්ෂා කරන විදිහටම ලුණු නිෂ්පාදනය බාධාවකින් තොරව කරගෙන යන්න ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම මේ වෙනකොට ආනයනය කරලා තියෙන ලුණුත් එක්ක දේශීය ඉල්ලුම සපුරා ගැනීමේ හැකියාවක් තියෙයි කියලා විශ්වාස කරනවා. එතුමා පාර්භෝගිකයන්ට කියන්නේ අනවශ්‍ය කලබලයකින් තොරව තමන්ට ප්‍රමාණවත් ප්‍ර්‍රමාණවලින් ලුණු මිලදී ගන්න කියලා. 

කොහොම වුණත් ලංකාවේ ලුණු හිඟයක් එන බව දැන ගත්තාම ඒ වෙනුවෙන් ලුණු ගෙන්වන්න හැකියාව ලැබුණේ රජයේ ආයතනවලට විතරයි. ඒ වෙලාවේ පුද්ගලික අංශයටත් ලුණු ආනයනය කිරීමේ ඉඩ සලසන්න තිබුණා. දිගින් දිගටම මෙවැනි ප්‍රමාදයන් සහ හිඟයන් ඇති වුණොත් කළු කඩ, කෝටා වැනි තත්ත්වයන් දකින්න ලැබේවි. ඔන්න ඔහොමයි රට වටේ මුහුද තිබ්බ පලියට ලුණු සුලබව රටේ නැත්තේ. ලංකාවේ කාලගුණික තත්ත්වයේ දිගු කාලීන වෙනසක් වුණොත්, ලුණු කර්මාන්තය ව්‍යාප්ත කළ හැකි විකල්ප ස්ථාන, පවතින ලුණු කර්මාන්ත භූමි ව්‍යාප්ත කිරීම, නව තාක්ෂණික ක්‍රම සහ තරඟකාරීත්වය ඔස්සේ වෙළඳපළවල් පුළුල් කර ගැනීමෙන් රටට ඩොලර් ගේන ක්‍රම ගැන සොයා බලන්න වෙනවා. ඒ වගේම අනාගත අභියෝග හමුවේ, සූර්‍ය තාපයෙන් පමණක් නිෂ්පාදනය කරන ලුණු ඉන් ඔබ්බට ගිහින් නවීන තාක්ෂණික ක්‍රමවලින් නිපදවීම ගැන සොයා බලන්න වෙන්න අවශ්‍ය වෙන්න පුළුවන්.









GSP  Plus නැති වුණොත් Loss

දිල්මිණී අබේරත්න විසිනි

Originally appeared in The Leader newspaper

පහුගිය දවස්වල ලංකාවට ලොකු ප්‍රශ්නයක් විදිහට දැනුණ, සමාජයේ සෑහෙන ලොකු කතාබහකට ලක් වුණ දෙයක් තමයි ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ලංකාවේ අපනයනවලට පනවපු 44% තීරු බද්ද. හැබැයි ඒක ටික කාලයකට නතර වීමත් එක්ක ඒ ගැන කතාබහත් නතර වුණා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් ආයෙමත් ඇතිවෙලා තියෙනවා. ඒ ඇමෙරිකාව දිහාවෙන් නම් නෙමෙයි; යුරෝපය දිහාවෙන්. ඒ තමයි යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙන ජී.එස්.පී+ සහනය අහිමි වෙයිදෝ කියන සැකය. ඒ නිසා මේ දවස්වල වැඩි වැඩියෙන් ඇහෙන්නේ ශ්‍රී ලංකාවට ජී.එස්.පී+ සහනය නැති උනොත් මොකද වෙන්නේ? ඒකෙන් ලංකාවේ ආර්ථිකයට මොකද වෙන්නේ? කියන කතාව. මොකද වෙන්නේ කියලා දැනගන්න කලින් අපි පැහැදිලි කරගමු ජී.එස්.පී+ සහනය කියන්නේ මොකක්ද? ඒකෙන් අපිට ලැබෙන්නේ මොනවද? ඒක අපිට දෙන්නේ කවුද? කවදා ඉඳන්ද? කොච්චර කාලෙකටද? කියලා.

ජී.එස්.පී+ සහනය කියන්නේ මොකක්ද?

Generalised Scheme of Preferences + එහෙමත් නැත්නම් වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය කියලා කියන්නේ යුරෝපා සංගමය විසින් අඩු හෝ පහළ මැදි ආදායම් ලබන රටවල්වලට ලබා දෙන අන්‍යෝන්‍ය නොවන තීරුබදු සහනයක්. මේ කියන සහනය යටතේ තීරු බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ ඉතා අඩු මට්ටමක පවත්වා ගැනීම සිද්ධ වෙනවා. ජී.එස්.පී+ සහනය ලබා දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල තිරසාර සංවර්ධනය සහ යහපාලනය ප්‍රවර්ධනය කර ගැනීම වෙනුවෙන් ලබාදෙන සානුබලයක් නැත්නම් දිරිගැන්වීමක් විදිහට. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කවුරුත් මුකුත් දෙන්නේ නෑනේ. ඒ වගේ තමා යුරෝපා සංගමයත් අපිට ලබා දෙන මේ තීරු බදු සහනය වෙනුවෙන් පෙරළා යමක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජී.එස්.පී+ සහනය ලබා ලබාගන්න සුදුසු රටවල් හැම එකක්ම අන්තර්ජාතික සම්මුතීන් 27 ක්‍රියාත්මක කරන්න එකඟ වෙන්න ඕන. මේ කියන සම්මුතීන්වල මූලික පදනම වෙලා සාරාංශ ගත කළොත්, ඒවා තමයි:

  1. මානව හිමිකම්

  2. කම්කරු අයිතීන් 

  3. පරිසරය 

  4. යහපාලනය

දැන් අපි දන්නවා ජී.එස්.පී+ සහනය කියන්නේ මොකක්ද, ඒක අපිට දෙන්නේ කවුද කියලා. ලංකාවට මේ සහනය ලැබුණේ 2005 අවුරුද්දේ. 2010දි ජී.එස්.පී+ සහනය අපිට අහිමි වුණත් 2015 බලයට පත් වුණ යහපාලන ආණ්ඩුව මැදිහත් වෙලා 2017 වෙද්දි ආයෙමත් ලංකාවට ජී.එස්.පී+ සහනය ලබා ගත්තා. මේ කියන තීරු බදු සහනය වැඩිපුරම වැදගත් වෙන්නේ ඇගලුම් කර්මාන්තයට. ආර්ථිකයට සැලකිව යුතු දායකත්වයක් ලබා දීලා විදේශීය විනිමය උපයන අංශයක් විදිහට වගේම ශ්‍රම බලකායට, සේවා නියුක්තියට ප්‍ර්‍රබල දායකත්වයක් ලබා දෙන අංශයක් විදිහට ඇඟලුම් කාර්මික අංශයට ලබා දීලා තියෙන මේ ජී.එස්.පී ප්ලස් සහනය ශ්‍රී ලංකා ආර්ථිකයට ඉතාමත් වැදගත්. ලංකාව ඇරුණාම ජී.එස්.පී+ සහනය ලබන තවත් රටවල් තියෙනවා. ඒ තමයි:

  1. බොලීවියාව

  2. කේප් වර්ඩ්

  3. කිර්ගිස්තානය

  4. මොන්ගෝලියාව

  5. පකිස්තානය

  6. පිලිපීනය

  7. උස්බෙකිස්තානය

  8. ශ්‍රී ලංකාව

ජී.එස්.පී+ සහනය ලබන්න සුදුසුකම්

යුරෝපීයයන්ගෙන් මේ කියන බදු සහනය ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම සංවර්ධනය වෙමින් පවතින පහළ මැදි / පහළ ආදායම් ලබන රටක් වෙන්න ඕන. මේ වෙනකොට ක්‍රියාත්මක වෙන ජී.එස්.පී ප්ලස් සහනය වලංගු වෙන්නේ 2027 අවුරුද්ද වෙනකන් විතරයි. සමහරු මත පළ කරනවා ඒක 2027 වෙනකම්ම නොගිහින් සමහරවිට 2026 අවුරුද්දෙ මැදකින් වුණත් නතර වෙන්න පුළුවන් කියලා. කොහොම වුණත් යුරෝපා සංගමය දීලා තියෙන තීරු බදු සහනය වලංගු වෙන්නේ තව අවුරුදු දෙකකට ආසන්න කාලයක් විතරයි. එතනින් එහාට මේ සහනය ඇත්තේම නැද්ද? නෑ, තියෙනවා. හැබැයි අපි ආයෙමත් අලුතින් ඒ සහනයට ඉල්ලුම් කරන්න ඕන. එහෙම ඉල්ලුම් කරද්දි, අපි කලින් වතාවල පොරොන්දු වුණ දේවල් තාමත් කරලා නැත්නම් ප්‍රශ්නයක් පැන නඟිනවා. ඒ වගේ වෙලාවකදි යුරෝපා සංගමයට අපේ අයදුම්පත නොසලකා ඉන්න වුණත් පුළුවන්. මොකද එයාලා අපිට සහන දෙන්න බැඳිලා නෑ.  

ජී.එස්.පී+ සහනය නොලැබුණොත්?

මෑතකදී ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් ‘GSP+ සහනය ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන සහ ශ්‍රම බළකායට ඇති බලපෑම’ (Who Stands to Lose? The Effects of GSP+ Withdrawal on Sri Lanka’s Exports and Labour Force) ගැන වාර්තාවක් එළිදැක්වුවා. ඒ වාර්තාවට අනුව යුරෝපා සංගමයේ රටවලින් කරන ආනයන ඉල්ලුම අඩු වුණොත් ලංකාවේ අපනයන ආදායම ඇ.ඩො. බිලියන 1.23 අඩු වෙලා, ලංකාවේ රස්සා කරන 73,574 ක්  අවදානමකට ලක්වෙන්න පුළුවන් බව වගේම ශ්‍රී ලංකාව යුරෝපයට කරන අපනයන 36.7%න් අහිමිවීමේ අවදානමක් තියෙන බව සඳහන් වෙනවා. ඒ විදිහට අපනයන පරිමාව අඩු වුණොත් කර්මාන්තවල සේවකයන්ගෙන් 4.99%ට අහිතකර ප්‍රතිඵල ඇති වෙනවා වගේම ඒ අවදානමට ලක්වන සේවකයන්ගෙන් 65.65% කාන්තාවන් සහ අඩු හා මධ්‍යම පරිමාණ කුසලතා ඇති ශ්‍රමිකයන් බවත් සඳහන් වෙනවා. සරලවම ගත්තොත් පහළ මැදි ආදායම් ලබන රටක් විදිහට ලංකාවට ජී.එස්.පී.ප්ලස් බදු සහනය අහිමි වුණොත් ලංකාවෙන් යුරෝපා සංගමයට කරන ඇඟලුම් අපනයනවලට සඳහා 10%න්  බදු ප්‍රතිශතය ඉහළ යාමේ හැකියාව තියෙනවා. ඒ මඟින් සෘජුවම අපනයන ආදායමට, විදේශීය විනිමය ඉපයීම්වලට, සේවා නියුක්තියට, ආර්ථික වර්ධනයට සහ සමාජීය වශයෙන් නොයෙකුත් ගැටළු පැන නැඟීමේ හැකියාවක් තියෙනවා.

ජී.එස්.පී+ සහනය නොලැබෙන්න තියෙන අවදානම මොකක්ද?

මීට කලින් අපි කතා කළා. ජී.එස්.පී+ සහනය ලබා දෙද්දි සලකා බලන නිර්ණායක යටතේ තියෙනවා මානව හිමිකම් කියන සාධකය. ඉතිං ලංකාවේ ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act : PTA ) දැන් තියෙන විදිහට තියාගන්න බෑ කියලා  යුරෝපා සංගමය කියනවා. වර්තමාන ආණ්ඩුවත් ඔවුන්ගේ  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙනවා මේ පනත එක අහෝසි කරනවා, එහෙමත් නැති නම් වෙනස් කරනවා කියලා. 2027දී මේ සහනය අපිට ලබා ගන්න නම් PTA පනත වෙනුවෙන් අදාළ සංශෝධන කරගන්න එක ඉතා ඉක්මණින් කරන්න වෙනවා.

මේ පනත ඇරුණාම Online Safety Act එකත් ජී.එස්.පී+ සහනයට බලපෑමක් කළ හැකි එක් කාරණයක්. මොකද Online Safety Act එකෙන්  ‘තහනම් ප්‍රකාශ’ (prohibited statements) විදිහට සැලකෙන අන්තර්ජාල අන්තර්ගතයන් ඉවත් කිරීමට සහ එවැනි අන්තර්ගතයන් සඳහා වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට රජයට බලය ලබා දීලා තියෙනවා. විචාරකයෝ තර්ක කරනවා මේ පනතින් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝණය වෙනවා කියලා. Online Safety Act එක නිසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, නවෝත්පාදනය සහ පෞද්ගලිකත්වයට තර්ජනයක් ඇති වන බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මියත් යම් අවස්ථාවක ප්‍රකාශ කළා. මානව හිමිකම් සම්මුතීන්ට අනුගත වීමේ කොන්දේසිය මත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට ලබා දීලා තියෙන ජී.එස්.පී+ තීරු බදු සහනය, එවැනි මානව හිමිකම් උල්ලංඝණය වීමකදී අවලංගු කිරීමේ අවදානමක් තියෙනවා. 

ජී.එස්.පී+ සහනය තවදුරටත් ලබා දෙන්න ලංකාව සුදුසුද කියලා බලන්න යුරෝපා සංගමයේ කණ්ඩායමක් ලංකාවට ඇවිත් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වපු ආචාර්‍ය හර්ෂ ද සිල්වා මැතිතුමා කියන්නේ මේ සහනය ලංකාවට අහිමි වීමේ අවදානම බොහෝ දුරට අඩු වෙයි. නමුත් ආයෙමත් ඒ වෙනුවෙන් අයදුම් කරන්න සිද්ධ වෙයි කියන එක. ඔහු වැඩිදුරටත් අදහස් දක්වලා තියෙනවා, ගැටළුවක් ඇති වෙන්නේ පැරණි සහනය අහෝසි වෙලා, නව සහනය ක්‍රියාත්මක වන කාලය අතර තියෙන සංක්‍රාන්ති කාලයේ කියලා. ඒ වගේම 2027 නව ජී.එස්.පී+ සහනය ලබා ගන්න මොහොත වෙද්දිත් ලංකාවේ PTA පනත ඉවත් වෙලා නොතිබ්බොත් ඒක ප්‍රශ්නයක් වෙනවා.

PTA පනත සහ යුරෝපා පාර්ලිමේන්තුව

යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක PTA පනත ඔස්සේ සිවිල් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, සෝදිසි කිරීම සහ රඳවා තබා ගැනීම සඳහා රටේ පොලීසියට පුළුල් බලතල ලබා දෙන බව කියමින් ඊට විරෝධය පාළා තියෙනවා. ඔවුන් කියන්නේ මේ පනත තුළින් වධහිංසා පැමිණවීම, ලිංගික අපයෝජනය සහ බලහත්කාරයෙන් පාපොච්චාරණය කිරීමට සැලැස්වීම යනාදියට ඉඩ ලැබෙන බව.  2017දි  ශ්‍රී ලංකාව නැවත වතාවක් ජී.එස්.පී+ සහනය ලබා ගන්න පුළුවන්කම ලැබුණේ PTA පනත වෙනුවට වෙනත් පනතක් ආදේශ කිරීම සහ මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ඵලදායී විදිහට ක්‍රියාත්මක කරනවා කියන කොන්දේසිය උඩ. 2027 වෙද්දි අවුරුදු 10 ගෙවිලත් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ලංකාව අසමත් වුණොත් යුරෝපා සංගමයට අපි ගැන තියෙන විශ්වාසය කඩවෙන එක වළක්වන්න බෑ. 

ජී.එස්.පී+ සහනය නැතුවම බැරිද?

ජී.එස්.පී+ සහනය සදාකාලිකවම ලැබෙන දෙයක් නෙවෙයි. ඒත් ලැබෙන මොහොතේ ඒ සහනය ලබා ගන්න එක වැඳගත්. මොකද ලංකාව ගෙවුණු අවුරුදු කීපය තුළ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා සෑහෙන පසුබෑමකට ලක් වෙලා. ඒ නැති වුණු ආර්ථික වර්ධන වේගය ලබා ගන්න එක අභියෝගාත්මකයි. ඇමරිකාවෙනුත් රතු එළියක් පත්තු වෙලා තියෙන වෙලාවක යුරෝපා සංගමයෙනුත් ඒ සංඥාවම ලැබුණොත්, ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන අංශයක් වන ඇඟළුම් අංශය ඇතුළු අනෙකුත් අපනයන ආදායම් පහත වැටෙන්න, රැකියා අහිමි වීම මඟින් දුප්පත්කම වැඩි වෙන්න හැකියාව තියෙනවා. ආර්ථික අර්බුදය ඇති වුණේ විදේශ විනිමය හිඟයක් එක්ක. ඒ නිසා වෙන කවදාටත් වඩා ලංකාවට ජී.එස්.පී+ සහනය ඕන වෙන්නේ මේ වෙලාවේ. යුරෝපා සංගමය එක්ක කතාබහ කරලා මේ සහනය තවදුරටත් ලබා ගැනීමේ හැකියාව වගේම ඒ වෙනුවෙන් අදාළ වෙනස්කම් සහ ගැළපුම් කරගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් කාලය ලංකාවට තියෙනවා. ඒ කියන්නේ ලංකාව තාමත් ප්‍රමාද නෑ. හැබැයි යුරෝපා සංගමය මේ සහනය ලබා දෙන අවස්ථාවේ අපි ඉටු කරයි කියලා බලාපොරොත්තු වුණ දේවල්වල ප්‍රගතියක් පෙන්නුවේ නැත්නම් යුරෝපා සංගමයෙනුත් රතු එළි පෙන්නන්න වැඩි කාලයක් ගන්න එකක් නෑ. 

2025 වසරේ මාර්තු මාසයේදීත් අඛණ්ඩව තෙවන වරටත් ජංගම ගිනුමේ අතිරික්තයක් !

ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2025 මාර්තු මාසයේ දී අඛණ්ඩව ශක්තිමත් වූ අතර එය 2025 වසරේ අඛණ්ඩව තෙවන මාසයටත් වාර්තා වූ ජංගම ගිණුම් අතිරික්තයකින් පිළිබිඹු විය. 2023 ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම් සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය ලෙස 2025 මාර්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 459.5ක අතිරික්තයක් වාර්තා විය. 2025 වසරේ ජනවාරි සිට මාර්තු අවසානය දක්වා වූ කාලය තුළ ජංගම ගිණුමේ ශේෂය අමෙරිකානු ඩොලර් මිලියන 948.9ක් ලෙස වාර්තා වූ අතර, එය 2024 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 727.6ට සාපේක්ෂව 30.4%ක වර්ධනයකි.

මෙම ජංගම ගිණුම් අතිරික්තයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඉහළ යෑමයි. 2025 මාර්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 693.3ක් ලෙස වාර්තා වූ මෙම ප්‍රේෂණ, පෙර ඕනෑම වසරක මාර්තු මාසයක දී වාර්තා වූ ඉහළම මාසික ප්‍රමාණය වේ. මෙය 2024 මාර්තු මාසයට සාපේක්ෂව 21.1%ක වාර්ෂික වර්ධනයකි. 2025 ජනවාරි-මාර්තු කාලය තුළ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 1,814.4ක් දක්වා 18.1%කින් ඉහළ ගොස් ඇත.

වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2025 මාර්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 395.6ක් ලෙස පුළුල් වී ඇත. ආනයන (8.6%) සහ අපනයන (8.1%) යන දෙකෙහිම වටිනාකම් වැඩිවීම මෙයට හේතු විය. කෙසේ වෙතත්, ආනයන මිල ගණන් පහත වැටීමට වඩා වැඩි වේගයකින් අපනයන මිල පහත වැටීම නිසා වෙළඳ මිල අනුපාතය සුළු වශයෙන් වැඩිදියුණු විය.

සේවා ගිණුමේ ශුද්ධ ලැබීම් සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ ශුද්ධ හිඟය පටු වීම ද සමස්ත ජංගම ගිණුමට දායක වී ඇත. සංචාරක ඉපැයීම් 2025 මාර්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 354ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, සංචාරක පැමිණීම් 9.6%කින් වර්ධනය වී ඇත.
මූල්‍ය ගිණුම දෙස බලන විට, 2025 මාර්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළට අමෙරිකානු ඩොලර් මිලියන 49ක ශුද්ධ විදේශ ආයෝජන ලැබීමක් වාර්තා විය. කෙසේ වෙතත්, කොළඹ කොටස් වෙළඳපොළේ ශුද්ධ ගෙවීමක් (අමෙරිකානු ඩොලර් මිලියන 5.7) වාර්තා විය.

2025 මාර්තු මාසය අවසානය වන විට දළ නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් දක්වා ඉහළ ගිය අතර, එයට IMF හි විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිදුවූ හයවන වාරිකය ලැබීම සහ මහ බැංකුවේ විදේශ විනිමය මිලදී ගැනීම් (අමෙරිකානු ඩොලර් මිලියන 402) සහාය විය. 2025 වසර ආරම්භයේ සිට අප්‍රේල් අවසානය දක්වා ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.3%කින් අවප්‍රමාණය විය.

මෙම දත්ත ශ්‍රී ලංකා ආර්ථිකයේ බාහිර ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරන අතර, ප්‍රේෂණ ආදායමේ ශක්තිමත් වර්ධනය ජංගම ගිණුමේ ශක්තිමත් වීමට සහ සංචිත ගොඩනැගීමට ප්‍රධාන දායකත්වයක් ලබා දී ඇති බව පැහැදිලිය. වෙළඳ හිඟය පුළුල් වුවද, සේවා ආදායම සහ ප්‍රේෂණ මගින් එය පියවා ගැනීමට අර්ධ වශයෙන් හැකියාව ලැබී ඇත. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළට විදේශ ආයෝජන යළි පැමිණීම ද යම් ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

Source - විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 මාර්තු - ශ්‍රී ලංකා මහ බැංකුව

වාර්ථාව - ජනත් පෙරේරා

ඇමරිකන් ටැරිෆ් සහ ලංකන් ලොජික්

දිල්මිණී අබේරත්න විසිනි

Originally appeared in The Leader newspaper

ඇමරිකාවට අලුතින් පත් වුණ ට්‍රම්ප් ජනාධිපතිතුමා සුපුරුදු විදිහටම ආන්දෝලනාත්මක වැඩක් කළා. ඒ තමයි ලෝකයේ රටවල් ගණනාවකට තීරු බදු පනවපු එක. වැස්සක පෙරනිමිති විදිහට කළු වළාකුළු එක්ක ගිගිරුම් හඩ ඇහුණට, කවුරුත් හිතුවේ නෑ මේ තරම් අනෝරා වැස්සක් වැටෙයි කියලා. ඒකට හේතුව වුණෙත් කලින් වතාවේ ට්‍රම්ප් පරිපාලනය ඇතුලේ දකින්න ලැබුණු අස්ථාවර හැසිරීම. මොකද ට්‍රම්ප් කියලා කියන්නේ කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් නෙවෙයි. ඒ නිසා බදු පනවනවා කිව්වට, ලංකාව වගේ රටකින් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩවලට 44% තරම් විශාල ප්‍රමාණයක බද්දක් ගහයි කියලා හිතුවේ නෑ. එහෙමත් නැත්නම් වැඩිම තීරු බදු අනුපාතයක් පනවපු මුල්ම රටවල් 10 අතරට ලංකාව එයි කියලා හිතන්න ඉඩක් තිබ්බෙත් නෑ. හැබැයි අන්තිමට ඒ නොහිතපු දේ ඇත්තටම සිද්ධ වුණා.

දකුණු ආසියාතික රටවල් මත පැනවූ තීරු බදු අනුපාත

ඇමරිකන් තීරු බද්ද ලංකාවට මෙච්චර බර ඇයි?
ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරලා තියෙනවා ඇමරිකාව කියන්නේ ලංකාවේ අපනයනවල ප්‍රධානම සහ විශාලතම ගමනාන්තය කියලා. 2024 වසරේ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කළ භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2909.97ක්. එරටින් මෙරටට ආනයනය කළ භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 443.90ක්. 2023 වසරට සාපේක්ෂව 2024දී ශ්‍රී ලංකාව ඇමරිකාවට කළ අපනයනවල 5%ක වැඩි වීමක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම 2023 වසරට සාපේක්ෂව 2024දී ඇමරිකාවෙන් ලංකාවට ආනයනය කළ ප්‍රමාණය 13%න් අඩු වෙලා. මේ විදිහට ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ අතරේ තියෙන්නේ පිරිමි සහ කාන්තා යට ඇඳුම්, පිරිමි සහ කාන්තා ඇඳුම්, නැවත සකස් කරන ලද රබර් ටයර් සහ ටියුබ්, ටී-ෂර්ට්, අත්වැසුම්, උණුසුම් රෙදි (ජර්සි, ෆුල්ඕවර් ආදිය), රබර්වලින් සාදන ලද කාර්මික සහ ශල්‍ය අත්වැසුම්, ක්‍රීඩා ඇඳුම් සහ ළදරු ඇඳුම් කියන දේවල්. 

ඒ අනුව පැහැදිලියි මේ දේවල් අතරින් වැඩි ප්‍රමාණයක් ඇමරිකාවට යවන්නේ ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන නියමුවෙක් විදිහට සැලකෙන ඇඟලුම් කර්මාන්තය. බොහෝමයක් දෙනාට ජීවනෝපාය සලසන, ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකායෙන් සැලකිව යුතු පිරිසක් නිරත වී සිටින රැකියා ක්ෂේත්‍රයක් විදිහට එය සලකන්න පුළුවන්. මේ නිසා ඇඟලුම් කර්මාන්තයට සෘජුව ඇතිවන බලපෑම්, විදේශ විනිමය ඉපයීම්වල පහත යාමට, ගෙවුම් ශේෂයට, ශ්‍රම බලකායට, සේවා නියුක්තියට වගේම ඒ හා බැඳුණු සමාජීය වෙනස්කම් රැසකට හේතු වෙන්න පුළුවන්. 

ඇමරිකාව මේ වගේ තීරණයක් ගත්තේ ඇයි?

අලුතින් පත් වූ ඇමරිකානු ජනාධිපතිවරයා තමන්ගේ රටේ සුබසෙත උපරිම කිරීම වෙනුවෙන් තමයි මේ වගේ දැඩි තීරණයකට එළඹෙන්නේ. ඔහුගේ අදහසට අනුව (to make America Great again …) තමන්ගේ රටට පිටරටවලින් ආනයනය කරන හැම දේකටම තීරු බදු පනවලා තියෙනවා. හැබැයි ඒ ඒ රටවලට පනවලා තියෙන අනුපාත වෙනස්. මේ තීරුබදු පැනවීම ගැන කතාබහ ඇති වුණ මුල් අවස්ථාවේදී US Trade Representative වාර්තාවට අනුව ඇමරිකාව වෙනත් රටකට තීරු බදු පනවන්නට පෙර සලකා බලන සාධක දෙකක් තියෙනවා. ඒ තමයි,

  • තීරු බදු බාධක

  • තීරු බදු නොවන බාධක

තීරු බදු බාධක කියන එක මේ වෙද්දි අපට පැහැදිලියි. හැබැයි තීරු බදු නොවන බාධක කියන්නේ, ඇමරිකාවේ සැපයුම්කරුවන්ට / නිෂ්පාදකයන්ට තමන්ගේ නිෂ්පාදන වෙනත් රටක විකිණීමේදී මුහුණ දෙන්නට සිදු වන අනෙකුත් බාධක කියන එක. උදාහරණයකට ඕස්ට්‍රේලියාව තුළ ඖෂධ සඳහා සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ රටේ මිනිස්සුන්ට ඉතාමත් සාධාරණ මිලකට බෙහෙත් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ අවස්ථාවක ඇමරිකානු ඖෂධ සමාගම්වලට ඕස්ට්‍රේලියාව තුළ තරඟ කිරීමේ අපහසුතාවක් තියෙනවා. මේ වගේ අවස්ථාවක් තීරු බදු නොවන බාධකයක් විදිහට සලකනවා.

කොහොම වුණත් අවසානයේදී ශ්‍රී ලංකාව වගේ ආර්ථිකමය වශයෙන් කුඩා රටකට 44% තරම් විශාල තීරු බද්දක් පනවන්න හේතු වෙලා තියෙන්නේ ඔය කියන සාධකම නෙවෙයි. එතනදි ඔවුන් සලකලා තියෙන්නේ රටවල් දෙක අතර තියෙන වෙළඳ ශේෂය. මම කලින් සඳහන් කළා වගේ ඇමරිකාවට ලංකාවත් එක්ක තියෙන්නේ වෙළඳ ශේෂ හිඟයක්. ඒකට හේතුව ලංකාව ඇමරිකාවෙන් ආනයනය කරනවාට වඩා වැඩි ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනවා. මේ වෙළඳාමෙන් වැඩි වාසියක් තියෙන්නේ අපට නෙවෙයි ශ්‍රී ලංකාවට කියලා හිතන ට්‍රම්ප් ලංකාවට ලොකු තීරු බද්දක් ගහනවා. සරලම සිද්ධිය ඒක. හැබැයි මේ විදිහට හිතපු පළවෙනි රට ඇමරිකාව නෙවෙයි. වැඩිදුර නොහිතා ලංකාවම උදාහරණෙකට ගත්තොත්, මීට කලින් අවස්ථාවල ඉන්දියාව සහ සිංගප්පූරුව වගේ රටවල් එක්ක ගිවිසුම් / ගනුදෙනු කරද්දි, තමන්ට ලැබෙන ආර්ථික අවස්ථාවන් ගැන නොහිතා, ඔය විදිහටම ගෙවුම් ශේෂය විතරක් සසඳලා බලලා අදූරදර්ශී තීරණවලට එළඹිලා තියෙනවා.

මීට වඩා වෙනස් විදිහකට හිතලා වෙනස් ප්‍රවේශයකින් සමහර රටවලට තීරු බදු පනවන බවකුත් පේන්න තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව චීනයත් එක්ක තියෙන ආර්ථික සම්බන්ධතාවය මේ වෙද්දි තීරු බදු යුද්ධයක් තරම් ඉස්සරහට යන බවක් පේනවා. ඒ කවුරුවත් ඒදණ්ඩේ පිටිපස්සට යන්න ලෑස්ති නෑ. 

දැන් ඇමරිකාවට සතුටුයිද?

තමන්ගේ රටේ උන්නතිය වෙනුවෙන්‍ කියලා හිතාගෙන ට්‍රම්ප් මේ කරපු වැඩේ සාර්ථකද? නැද්ද? කියන ප්‍රශ්නේ කාටත් එනවා. අපි කෙනෙක්ට අපේ ගෙදරට එන්න බැරි වෙන්න දොරවල් වහනකොටම අපි තේරුම් ගන්න ඕන, අපිට ඒ කෙනාව මුණ ගැහෙන්න ඕන නම් අපි වහපු දොර තමයි අපිට හම්බවෙන මුල්ම බාධකය වෙන්නෙත්. ඇමරිකාව පිටරටවලින් ගෙන්වන  භාණ්ඩවල මිල ගණන් වැඩි වෙද්දි, හැම රටකටම තීරු බදු පනවලා බලාපොරොත්තු වෙන සුබසෙතට වඩා පීඩනයක් ඒ මිල අධික භාණ්ඩ පරිභෝජනය කරන්න වෙන ඇමරිකානු පුරවැසියන්ට විඳින්න වෙනවා. ගෝලීය පාරිභෝගික ප්‍රජාවගෙන් 20% - 25% ප්‍රමාණයක් ඇමරිකානු පාරිභෝගිකයන්. දෙවනියට සිද්ධ වෙන්නේ ඉහළ තීරු බදු නිසා ඔය කියන පාරිභෝගිකයෝ තමන්ගේ වියදම් කප්පාදු කළාම, ඒක ලෝවටා ඉන්න සියලුම නිෂ්පාදකයන්ට පහරක් වෙන එක. අවසානයේ domino effect එකක් වගේ මේ බලපෑම පැතිරෙනවා.

ඉස්සර කතාවක් තිබුණා තීරු බදු පැනවුවාම හොඳක් වෙනවා කියලා. එහෙම හිතුවේ වෙනත් රටකින් ගේන ආනයන වෙනුවට තමන්ගේ රට ඇතුලෙන්ම නිෂ්පාදනය කරලා අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්න පුළුවන් වෙයි කියන තැන ඉඳන්. ඒත් ඒක යල් පැන ගිය කතාවක්. සර්ව සම්පූර්ණ ස්වයංපෝෂී ආර්ථිකයක් බිහි කිරීම හීනයක් විතරයි. විශේෂයෙන් ලංකාව වගේ රටකට තමන්ට ඕන හැම දෙයක්ම තමන්ටම සපයා ගන්න හැකියාවක් නෑ. අපිට අනිවාර්‍යයෙන් ලෝකයේ අනෙකුත් රටවල් එක්ක ජාත්‍යන්තර වෙළඳාම තුළින් විතරයි අපේ අවශ්‍යතා, වුවමනා සපුරා ගැනීමේ හැකියාව තියෙන්නේ. විශේෂයෙන් යුරෝපා සංගමය වගේ ආර්ථික හවුලක් සලකා බලද්දි පේනවා ඒ රටවල ආර්ථික කටයුතු මොනතරම් නම්‍යශීලීව සහ පාරිභෝගික, නිෂ්පාදක කියන අංශ දෙකටම සුබසාධනයක් ඇති වෙන ආකාරයට සිද්ධ වෙනවද කියලා. ඒකට හේතුව ඒ ඒ රටවල් අතර තියෙන ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා. 

ජාත්‍යන්තර වෙළඳාම ඇතුලේ රටක් තමන්ට වඩාත් හොඳින් සහ ලාභදායීව නිෂ්පාදනය කළ හැකි දෙයක් නිෂ්පාදනය කරලා වෙනත් රටක් එක්ක හුවමාරු කර ගන්නවා. විශේෂයෙන් ලංකාව වගේ රටකට ජාත්‍යන්තර වෙළඳාම තුළින් මිස ලංකාවේ ආදේශකවලින් සපුරා ගන්න බැරි ඉන්ධන වගේ වුවමනා රැසක් තියෙනවා. ඒ නිසා තීරු බදු පැනවීම කියන සිද්ධියෙන් මිදෙන්න අපිට බෑ. හැබැයි දීර්ඝ කාලීනව අපිට ඒ බලපෑම අවම කර ගැනීම වෙනුවෙන් කළ හැකි දේවල් තියෙනවා.

එකම විසඳුම : ආර්ථික ප්‍රතිසංස්කරණ

අපි හරි පාරේ යන්න ඕන කවුරුවත් බල කරන නිසා නෙවෙයි, ඒ පාරේ ගියාම නතර වෙන්නේ හරි  තැන කියලා අපි දන්න නිසා. ඒ වෙනුවෙන්,

  • ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින තීරු බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම මඟින් ආනයන සඳහා වන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බද්ද (PAL) සහ අගය එකතු කළ බද්ද (VAT) වැනි පැරා-තීරුබදු ඉවත් කරන්න ඕන.

  • ඇමරිකාව අපිට තීරු බදු පැනෙව්වා කියලා, අපිට ඒ අයත් එක්ක කරන ගනුදෙනු නවත්තන්න බෑ. එයාලා අපි එක්ක යාළු වෙයි කියලා හිතලා වෙළඳ ශේෂය ඇමරිකාවට හිතකර වෙන විදිහට අපි ඒ රටින් කරන ආනයන වැඩි කරලා වැඩකුත් නෑ. ඒ නිසා ලංකාවේ භූ දේශපාලනික පිහිටීම පවා සලකලා ඇමරිකාව එක්ක උපායමාර්ගිකව සම්බන්ධ වෙන්නයි ඕන.

  • එකම රටක් / රටවල් කීපයක් මත පමණක් රඳා පවතින්නේ නැතුව, අලුත් වෙළඳපළවල් සොයා යාම වැඳගත්. ඒ වගේ වෙළඳපළවල් හොයා ගන්න නිදහස් වෙළඳ ගිවිසුම් කියන්නේ විභව ප්‍රවේශ මාර්ගයක්. ඒ වුණත් රටක් සමඟ ගිවිසුම් ඇති කරගත් පමණින් වෙළඳපලක් විවර වෙන්නේ නෑ. ඒකට කරන්න වෙන්නේ කාලීනව සුදුසු ගැලපුම් සහ නවීකරණයන්ට අදාළ නිෂ්පාදකයන් විසින් අනුගත වීම. මෙතනදි ලෝකයේ අවශ්‍යතාවන්ට ගැලපෙන, ගුණාත්මක නිෂ්පාදන වෙළඳපලට ගෙන ඒමත්, පිළිගත් සම්මතයන්ට අනුකූල වීමත් වැඳගත්.

හැම වැහි වළාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ පනවලා තියෙන තීරු බදු නිසා ඇති වුණ ප්‍රශ්නය, තමන්ට ලැබුණු අවස්ථාවක් විදිහට දකින්න ලංකාවට පුළුවන්. මේ තාක් මඟ ඇරුණු අවස්ථාවක්; කරන්න බැරුව හිටිය ප්‍රතිසංස්කරණ කරන්න ලැබුණු තල්ලුවක්. ආරක්ෂණවාදී ප්‍රතිපත්තිවලින් අසාධාරණ තරඟයක් ඇති කිරීම වෙනුවට, සාධාරණ තරඟයක්, නිදහස් ආර්ථිකයක් සහ ජාත්‍යන්තර වෙළඳාමක් තුළින් වාසි ලබා ගන්න ලංකාවට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක නුවණක්කාර විදිහට පාවිච්චි කරන එක රටට බාරයි.

ට්‍රම්ප්ගේ තීරුබදුවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ තරඟකාරී නොවන වෙළඳ ප්‍රතිපත්තියයි.

මෑතකදී එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳාම සඳහා තීරුබදු පැනවීම, ලංකාවට කරන ලද අනතුරු ඇඟවීමකි. ඇමරිකා-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ අසමතුලිතතාවයන් හැරුණු විට, එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ (USTR) සොයාගැනීම් වැඩි අවධානයෙන් කියවීමෙන් පෙනී යන්නේ තීරුබදු තුළ පමණක් නොව, ශ්‍රී ලංකාව අඛණ්ඩව පවත්වාගෙන යන තීරුබදු නොවන බාධක සහ පැරා-තීරුබදු පුළුල් පරාසයක මුල් බැස ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂණවාදී වෙළඳ තන්ත්‍රය තුළ දකින්නට ලැබෙන කලින් කලට වෙනස් වන බදු, මිල පාලනයන්, ආනයන කෝටා, මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදන සහ විනිවිදභාවයෙන් තොර රේගු පිළිවෙත් ආදිය දීර්ඝ කාලයක් මුළුල්ලේ වෙළඳ හවුල්කරුවන් කනස්සල්ලට පත් කරන කරුණකි. මෙම පියවරයන් බොහොමයක්, ලෝක වෙළඳ සංවිධානයේ රාමුවට එපිටින් ක්‍රියාත්මක වන අතර, වෙළඳ පරිසරය තුළ අකාර්යක්ෂමතාව සහ අනපේක්ෂිත බවට හේතු වේ.

මෙම මොහොත හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික අභියෝගයක් ලෙස නොව, දිගු කලක් තිස්සේ ප්‍රමාද වී තිබූ වෙළඳ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට සහ වේගවත් කිරීමට ලැබුණු උපායමාර්ගික අවස්ථාවක් ලෙස සැලකිය යුතුය. අපගේ තීරුබදු ව්‍යුහය තාර්කික කිරීම, පැරා-තීරුබදු ඉක්මනින් ඉවත් කිරීම, දේශසීමා පිටුපස ඇති බාධක සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සහ වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් හුදෙක් ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රධාන හවුල්කරුවන් සමඟ විශ්වාසය නැවත ගොඩනැංවීමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමස්ත තරඟකාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම වෙළඳාමෙන් ලැබෙන ලාභ වැඩි කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

මේ මොහොතේ, වෙළඳ ප්‍රතිපත්තිය ආරක්ෂණවාදයෙන් ඔබ්බට ගොස් ගෝලීය වටිනාකම් දාමයන් තුළට ඒකාබද්ධ වීමට ඉඩ සැලසීම කරා ගමන් කළ යුතුව ඇත. එය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමේ පිරිවැය දරා ගන්නට සිදුවන්නේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්, පාරිභෝගිකයින් මෙන්ම අපගේ පුළුල් වර්ධන අභිලාෂයන් යන සියල්ලටමය.

තීරුබදු තාර්කිකකරණය සහ තීරුබදු නොවන බාධක ඉවත් කිරීම කඩිනමින් සිදු කළ යුතු ප්‍රමුඛතාවන් වුවද, ඒවා ශ්‍රී ලංකාවේ වෙළඳ හා තරඟකාරිත්ව න්‍යාය පත්‍රයේ පුළුල්, වඩාත් උපායමාර්ගික යළි පිහිටුවීමක් කරා යන ගමනේ පළමු පියවරයන් පමණි.

භූ දේශපාලනික එදිරිවාදිකම්, සැපයුම් දාම නැවත සකස් කිරීම් සහ කලාපීය වෙළඳ ගිවිසුම්වලට නැවත වතාවක් පණ පෙවීම ඔස්සේ හැඩගස්වා ඇති ගෝලීය වෙළඳ රටාවන්, වේගයෙන් වෙනස් වෙමින් පවතී. ට්‍රාන්ස්-පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීර්ණ සහ ප්‍රගතිශීලී ගිවිසුමේ (CPTPP) සිට කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) දක්වා, රටවල් වෙළඳපල ප්‍රවේශය සහතික කිරීමට, ඒකාබද්ධතාවය ගැඹුරු කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම යන අරමුණු කරා තීරණාත්මකව ගමන් කරමින් සිටී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මින් මඟහැරීමේ අවදානමක් ඇත.

එම නිසා ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී, කලාපීය වෙළඳ කණ්ඩායම්වලට ප්‍රවේශ වීම පිළිබඳව සක්‍රීයව සලකා බැලිය යුතු අතර සාම්ප්‍රදායික සහ නැගී එන හවුල්කරුවන් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති කර ගැනීමට උත්සහ කළ යුතුය. වෙළඳ පහසුකම් සැපයීම, ඩිජිටල් වෙළඳ සූදානම සහ නියාමන සහයෝගීතාවය වැඩිදියුණු කිරීම මඟින් ඵලදායිතාව සහ ආයෝජක විශ්වාසය තවදුරටත් ඉහළ නංවනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ආර්ථික සම්බන්ධතාව භූගෝලීය, ඓතිහාසික සහ සංස්කෘතිකමය වශයෙන් මුල් බැසගත් අද්විතීය හා පරිණාමය වෙමින් පවතින්නකි. 2030 වන විට ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි පුරෝකථනය කර ඇති පසුබිමක ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසු ස්ථාවර වීමට සහ වර්ධනය වීමට උත්සාහ කරන පසුබිමක රටවල් දෙක අතර ගැඹුරු ද්විපාර්ශ්වික ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකිය. 2000 සිට බලාත්මක වන ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (FTA) මඟින් ශ්‍රී ලංකා අපනයනවලින් 60%කට වඩා වරණීය ප්‍රවේශයෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි පරිදි ශක්තිමත් පදනමක් සපයයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මෙම ගිවිසුමේ ප්‍රතිලාභ සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවාගෙන නැත. තීරුබදු නොවන බාධක (NTBs), සංකීර්ණ සම්භවය පිළිබඳ නීති සහ තේ සහ ඇඟලුම් වැනි ප්‍රධාන අපනයන අයිතම සඳහා තීරුබදු කෝටා හේතුවෙන් වෙළඳාම සීමා වී තිබේ. එපමණක් නොව, සීමිත කාර්මික පෙළගැස්ම සහ තාක්ෂණික බාධක හේතුවෙන් ශ්‍රී ලාංකික නිෂ්පාදකයින් ඉන්දියානු සැපයුම් දාමයන්ට ඒකාබද්ධ වීමට මහත් පරිශ්‍රමයක් දරා ඇත. නමුත් මේවා ගිවිසුම අත්හැරීමට හේතු නොව, එය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණු ලෙස සැලකිය යුතුය.

13 වතාවකට වඩා සාකච්ඡා කර 2008දී ආසන්න වශයෙන් අවසන් තීරණයකට එළඹුණු, ඉන්දියාව සමඟ ඇති විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම නැවත පණ ගැන්වීමට සහ අවසන් කිරීමට කාලය පැමිණ ඇත. CEPA හි අරමුණ වන්නේ භාණ්ඩවලින් ඔබ්බට ගොස් සේවා, ආයෝජන සහ නියාමන සහයෝගීතාව ආවරණය කිරීමයි. හොඳින් සැලසුම් කර විනිවිදභාවයෙන් සාකච්ඡා කළහොත්, ශ්‍රී ලාංකික අපනයනකරුවන් වළක්වන බොහෝ බාධකවලට විසඳුම් සෙවීමට, එනම් ආයෝජන ප්‍රවාහය සක්‍රිය කිරීමට සහ විශේෂයෙන් තොරතුරු තාක්ෂණ, සැපයුම් සහ අධ්‍යාපනය යන අංශ තුළ සේවා අංශයේ ව්‍යාප්තිය සක්‍රීය කිරීමට හැකියාව ලැබේ.

විශේෂයෙන් 2030 වන විට මිලියන 700 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන ඉන්දියාවේ ප්‍රසාරණය වන මධ්‍යම පන්තියට දායක වීමෙන් සහ වෙළඳාම් කළ හැකි අංශවලට ඉන්දියානු ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට වැඩි ඒකාබද්ධතාවයකින් ප්‍රතිලාභ ලබා ගත හැකිය. වරාය, බලශක්තිය, තොරතුරු තාක්ෂණ සහ ආගන්තුක සත්කාර යන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වය, රැකියා උත්පාදනය සහ විදේශ විනිමය ඉපැයීම් වැඩි දියුණු කළ හැකිය. කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන්, දැරිය හැකි මිලකට බලශක්ති උත්පාදනය සඳහා ජාල සම්බන්ධතාව වැඩි දියුණු කිරීම සහ සේවා අංශ ඒකාබද්ධ කිරීම - විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තාක්ෂණික ශ්‍රම බලකාය වර්ධනය කිරීමේ අභිලාෂයට අනුකූලව තොරතුරු තාක්ෂණ අංශය සලකා බැලීම වඩාත් වැඳගත් විභව සංවර්ධන මාවත් වේ.

ගැඹුරු ඒකාබද්ධතාවයක් සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන මාවත, සීමිත අපනයන පදනම, ආරක්ෂණවාදී ප්‍රතිපත්ති සහ වයස්ගත වන ජනවිකාශ පුරෝකතන ආදී දේශීය සීමාවන්ටද විසඳුම් සෙවිය යුතුය. කෙසේ වෙතත්, ඉලක්කගත ප්‍රතිසංස්කරණ සහ ආයෝජන සමඟ, ශ්‍රී ලංකාවට තරඟකාරී ලෙස මුහුණට මුහුණලා නොව, ඉලක්කගත නිෂ්පාදන සහ අන්තර් කර්මාන්ත වෙළඳාම හරහා ඉන්දියාවේ සැපයුම් දාමයන්ට සහභාගී විය හැකිය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ඉන්දියානු සමාගම්වලට ඉන්දියාවට නැවත අපනයනය කළ හැකි අතර, ඔවුන්ගේ ජාල උපයෝගී කරගනිමින් කුසලතා සහ තාක්ෂණය දේශීයව මාරු කළ හැකිය.

ප්‍රතිපත්ති සම්පාදකයින්ට ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතා කවුන්සිලයක් හෝ වෙළඳාම, ආයෝජන සහ නියාමන පෙළගැස්ම කෙරෙහි අවධානය යොමු කළ ඒකාබද්ධ කාර්ය සාධක බලකායක් හරහා සහයෝගීතාව ආයතනිකකරණය කළ හැකිය. විද්වතුන්, චින්තන පර්ෂද සහ නිලධාරීන් අතර නිතිපතා අදහස් හුවමාරු කර ගැනීම මඟින් ඉන්දියාවේ සාර්ථක ප්‍රතිපත්ති පාඩම්, ශ්‍රී ලංකාවේ සන්දර්භයට අනුවර්තනය කිරීමට උපකාරී වන අතර එය දෙරටේ හවුල් වර්ධනයට සහ කලාපීය ස්ථාවරත්වයට මග පාදයි.

ගෝලීය වශයෙන්, රටවල් වෙළඳ කම්පනවලින් ආරක්ෂා වීමට සහ නව වෙළඳපොළවල් සොයා ගැනීමට රටවල් අතර සබඳතා ගැඹුරු කරමින් සිටී. යුරෝපා සංගමය, ආසියාන් රාජ්‍යයන් සහ Mercosur ආදී සංගමයන් සමඟ සාකච්ඡා කඩිනම් කර ඇත; කැනඩාව ආසියාව පුරා සිය වෙළඳ ගමන පුළුල් කරමින් සිටින අතර CPTPP සහ RCEP වැනි කණ්ඩායම් දැඩි කලාපීය ඒකාබද්ධතාවය පෝෂණය කරමින් සිටී. මේ මොහොතේ ශ්‍රී ලංකාව ඒවාට හවුල් නොවී සිටියහොත්, ඉදිරි දශකය තුළ ගෝලීය වාණිජ්‍යය නිර්වචනය කරන නැගී එන වෙළඳ රාමුවලින් ඉවත් වීමේ අවදානමක් ඇත.

ලංකාවට ඉන්දියාව සමඟ වෙළඳ සබඳතා ගැඹුරු කිරීමේ අභියෝගයක් නැත්තේ නොවේ. නමුත් විකල්පයක් ලෙස අඛණ්ඩව එකතැන පල්වීම සහ අත්තනෝමතික තීරුබදුවලට ගොදුරු වීමේ අවදානම හෝ ආයෝජක හැඟීම් වෙනස් වීම ඊටත් වඩා භයානක ප්‍රතිඵල වේ. ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ඇති පැකිලීමෙන් ඔබ්බට ගොස් ඉන්දියාව සමඟ සද්භාවයෙන් නැවත සම්බන්ධ විය යුතුය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, විනිවිදභාවය සහ සංවේදී අංශ සඳහා ආරක්ෂණ ක්‍රමවලින් සමන්විත අලුත් කරන ලද CEPA ගිවිසුම මඟින් නවීන, බාහිර-නැඹුරු ආර්ථික උපාය මාර්ගයක මූලික සංධිස්ථානයක් ලෙස ක්‍රියාත්මක කළ හැකිය.

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන CEPA ගිවිසුම ක්‍රියාත්මක කිරීමත්, ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලීම සඳහා දේශීය ධාරිතාවයේ ආයෝජනය කිරීම සහ කලාපීය වටිනාකම් දාමයන්ගෙන් අපගේ සමාගම් වළක්වන බාධක ඉවත් කිරීම තීරණ ගන්නා ලෙසත් අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. මේ මොහොතේ අපි තීරණාත්මකව ක්‍රියා කළහොත්, වරක් මතභේදාත්මක නිදහස් වෙළඳ ගිවිසුමක් ලෙස සැලකූ මෙම ගිවිසුමෙන් සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් සහ තිරසාර ගෝලීය අදාළත්වයක් සහිත වේදිකාවක් නිර්මාණය කළ හැකිය.

ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වයට දිගු කලක පටන් බාධාවක් වී ඇති සෙස් (CESS) සහ වරාය සහ ගුවන්තොටුපළ බද්ද (PAL) වැනි පැරා-තීරු බදු ඉවත් කරන ලෙස ඇඩ්වොකාටා ආයතනය ශ්‍රී ලංකා රජයෙන් අවධාරණයෙන් ලෙස ඉල්ලා සිටී. සාමාන්‍ය ආනයන බදු මත පදනම් වූ මෙම අතිරේක බදු ව්‍යාපාර සඳහා පිරිවැය වැඩි කරන අතර නිෂ්පාදන කටයුතු සඳහා ගනු ලබන යෙදවුම්වල මිල ඉහල දමන බැවින් ගෝලීය වෙළෙඳපොළ තුළ අවදානම් ගැනීමට ව්‍යවසායකයින් දිරිමත් නොකරයි. අවසානයේ ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා අපනයනවල තරඟකාරීත්වය අඩුවේ. මෙම තීරු බදු සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට පවා සිය එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වන භාණ්ඩවල මිල අධික කරයි.

පැරා-තීරු බදු ඉවත් කිරීම සහ වත්මන් තීරුබදු ප්‍රතිසංස්කරණ වැඩසටහන වඩාත් ඒකාකාරී කිරීම වේගවත් කිරීම එක්සත් ජනපද තීරුබදුවල බලපෑම අඩු කරනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාවද වැඩි දියුණු කරයි.

එක්සත් ජනපද වෙළඳ තීරුබදු ප්‍රතිපත්තිය

ඇමරිකානු රජය විසින් යෝජිත තීරුබදු වැඩි කිරීම් පිළිබඳ, විශේෂයෙන් ශ්‍රී ලංකාව මත 44% ක තීරුබදු පැනවීම පිළිබඳව වැඩි කතාබහක් ඇති වී තිබේ. සියලුම ආනයන සඳහා පුළුල් සෑම රටකටම අදාල වන පරිදි පනවා ඇති 10% ක බද්දක කොටසක් වන මෙම තීරුබදු, වෙළඳ සබඳතා කඩාකප්පල් කිරීමට, ඇඟලුම් අංශය වැනි ප්‍රධාන කර්මාන්තවලට බලපෑම් කිරීමට සහ එක්සත් ජනපද වෙළඳපොළවල් මත යැපෙන සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සඳහා ආර්ථික අභියෝග උග්‍ර කිරීමට හේතු වී තිබේ.

ට්‍රම්ප් පරිපාලනය විසින් ගෙන ඇති නව වෙළඳ පියවර අතරට අප්‍රේල් 5 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආනයනික භාණ්ඩ සඳහා ලොව පුරා බලපැවැත්වෙන 10% ක තීරු බද්දක් සහ අප්‍රේල් 9 වන දින සිට ආරම්භ වීමට නියමිත එක්සත් ජනපදයට සැලකිය යුතු වෙළඳ හිඟයක් ඇති නිශ්චිත රටවල් ඉලක්ක කරගත් අතිරේක අන්‍යෝන්‍ය තීරු බද්දක් ඇතුළත් වේ. ඒ අනුව ශ්‍රී ලංකාව 44% ක තීරු බද්දකට මුහුණ දීමට නියමිතයි. 2024 දී මුළු වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ආසන්න වශයෙන් 23% ක් වන එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගමනාන්තය වන අතර, මෙම අපනයනවලින් 70% කට වඩා ඇඟලුම් වේ. නව තීරු බද්ද එක්සත් ජනපද වෙළඳපොලේ ශ්‍රී ලංකා ඇඟලුම්වල තරඟකාරිත්වයට තර්ජනයක් වන අතර එමඟින් ඇණවුම් අඩු වීමට ඉඩ ඇත.

ට්‍රම්ප්ගේ වෙළඳ ප්‍රතිපත්තිය බොහෝ දුරට මෙහෙයවනු ලබන්නේ දේශීය දේශපාලන බලපෑම් සහ ඇමරිකානු කර්මාන්තවල සහ රැකියාවල ආරක්ෂකයා තමා හඳුන්වා ගැනීමට ඔහුගේ මැතිවරණ සන්ධානයේ ජනප්‍රිය හැඟීම් උපයෝගී කර ගැනීමේ ඔහුගේ නොතිත් ආශාව මගිනි. මෙම ප්‍රතිපත්තියේ තවත් ගාමක බලවේගයක් වන්නේ චීනය සමඟ එක්සත් ජනපද උපායමාර්ගික තරඟකාරිත්වය සහ බිඳුණු ලෝකයක තම බලපෑම තහවුරු කර ගැනීම සඳහා තියුණු නොවන රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස තීරුබදු භාවිතා කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ ආශාවයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිපත්ති පදනම් වී ඇත්තේ දෝෂ සහිත ආර්ථික විද්‍යාව මතය. තීරුබදු පැනවීමෙන් රටවල් අතර වෙළඳ හිඟයන් "සමතුලිත" වනු ඇතැයි යන මතය යල් පැන ගිය වාණිජවාදී චින්තනය තුළ මුල් බැස ගත්තකි. ව්‍යාපාර සහ කුටුම්බ සමහර පුද්ගලයින්ගෙන් භාණ්ඩ හා සේවා මිලදී ගෙන, ඔවුන්ගේ ශ්‍රමය සහ නිෂ්පාදන අනෙක් අයට විකුණනවා සේම, රටවල් කරන්නේද එයයි. රටවල් දෙකක් අතර වෙළඳාම සමතුලිත කළ යුතුය යන අදහස, අපි සුපිරි වෙළඳසැලෙන් සිල්ලර බඩු මිලදී ගන්නා නිසා එම ගනුදෙනුවෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට නම් අපිත් ඔවුන්ට යමක් විකිණිය යුතු යැයි සිතීම තරම්ම දෝෂ සහිතය.

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති තාර්කික නොවන නමුත්, ශ්‍රී ලංකාවේ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති, අපනයන විවිධාංගීකරණයක් නොමැතිකම සහ කලාපීය වටිනාකම් දාමයන් තුළට ඒකාබද්ධ නොවීම යන කරුණු හෙළි කරයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂණවාදය

ආසන්න වශයෙන් වසර 20 ක් තිස්සේ ශ්‍රී ලංකාවද එවැනිම ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් සිටී. සමස්ත ආර්ථිකයේ තරඟකාරිත්වයට හානි කරමින් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම මෙහිදී සිදුවේ.

ශ්‍රී ලංකාව 44% ක තීරුබදුවකට මුහුණ දෙන බැවින්, එහි විශාලතම අපනයන කර්මාන්තවලින් එකක් වන ඇඟලුම් සහ රෙදිපිළි අංශය සැලකිය යුතු පාඩු ලබනු ඇත. ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඉල්ලුම මත යැපීම හේතුවෙන් මෙකී වෙළඳ පියවරයන් පහත ප්‍රතිවිපාකයන්ට හේතු විය හැකිය.

ප්‍රධාන අපනයන කර්මාන්තවල තරඟකාරිත්වය අඩු වීම.

ගැනුම්කරුවන් අඩු තීරුබදු සහිත රටවලට මාරු වන විට ගෝලීය සැපයුම් දාමවලට බාධා සිදු වීම.

ආයෝජන සහ රැකියා නියුක්තිය පහත වැටීම මඟින් දැනටමත් දුර්වල වී ඇති ආර්ථිකයට තවදුරටත් පීඩා ඇති කරයි.

වියට්නාමය, බංග්ලාදේශය, කාම්බෝජය සහ මියන්මාරය යන රටවලටද මෙවැනිම ප්‍රතිවිපාක දැනෙනු ඇති අතර, එහිදී දැඩි තීරුබදු ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වයට අභියෝග කරනු ඇත. මුළු දකුණු ආසියානු කලාපයම විදේශ ආයෝජන පහත වැටීමේ සහ වෙළඳ අවිනිශ්චිතතාවයේ අවදානමට මුහුණ දෙන අතර එය ආර්ථික ප්‍රතිසාධන උත්සාහයන් තවදුරටත් මන්දගාමී කිරීමට හේතුවේ.

ශ්‍රී ලංකාව අපනයන වෙළඳපොළවල් කිහිපයක් මත පමණක් යැපීම සිදුව ඇත්තේ කාර්මික ප්‍රතිපත්තියේ මුවාවෙන් අසාර්ථක ආනයන ආදේශක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙනි. ඒ ඔස්සේ දූෂණය, දේශපාලන අක්‍රියතාව සහ 'ඩොලර් ඉතිරි කර ගැනීම සඳහා' දේශීය ව්‍යවසායකයින් සහ ප්‍රාග්ධනය ඔස්සේ දේශීය වෙළඳපොළට නිෂ්පාදනය කිරීමට දිරිගැන්වීම් ඇති කර ඇත. උපහාසයට කරුණ වන්නේ, ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තිය හැඩගස්වා ඇති තර්කනය ට්‍රම්ප් මහතා අනුගමනය කරන තර්කයට සමාන වීමය.

ඇඩ්වොකාටා ආයතනයේ නිර්දේශ

ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වය ශක්තිමත් කිරීම සහ එක්සත් ජනපද තීරුබදුවල බලපෑම අවම කිරීම සඳහා, ඇඩ්වොකාටා ආයතනය පහත සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිර්දේශ කරයි:

ලෝකය සමඟ වෙළඳාම් කිරීමට යෝග්‍ය වන පරිදි ශ්‍රී ලංකාවේ විවෘතභාවයක් ඇති බව ඇඟවීමට, ආනයන සඳහා වන සියලුම පැරා-තීරුබදු ඉවත් කරන්න.

සාධාරණ වෙළඳ තත්ත්වයන් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපද ආනයන සමඟ එක්සත් ජනපද තීරුබදු මට්ටම් පිළිබඳව එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කරන්න.

වෙළඳාමට පහසුකම් සපයන සහ දූෂණයට ඇති ඉඩකඩ අහුරන වඩාත් ඒකාකාරී සහ සරල කළ තීරුබදු ක්‍රමයක් කරා ගමන් කිරීම උදෙසා වූ වැඩසටහන කඩිනම් කරන්න.

ඇඩ්වොකාටා ආයතනය පිළිබඳ

ඇඩ්වොකාටා ආයතනය යනු ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ස්වාධීන ප්‍රතිපත්ති චින්තන පර්ෂදයක් වන අතර, එය ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ සහ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම සඳහා කැපවී සිටී. ඇඩ්වොකාටා ආයතනය ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳපොළවල්, ආර්ථික සංවර්ධනය සහ ආයතනික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති නිර්දේශ සපයයි.

අප හා සම්බන්ධ වීමට:

ධනනාත් ප්‍රනාන්දු

dhananath@advocata.org

0112685888

www.advocata.org

2025 අය? වැය?

සාමාන්‍යයෙන් ලංකාවේ අයවැය ගේන්නේ නොවැම්බර් මාසේ. ඒත් අලුත් ආණ්ඩුවක් පත් වෙලා විධිමත් අයවැයක් ගේන්න තරම් ප්‍රමාණවත් කාලයක් තිබ්බේ නැති නිසා ඒක 2025 පෙබරවාරි මාසය වෙනකම් කල් ගියා. මෙවර අයවැය, ලංකාවේ 40 වන මුදල් ඇමති විදිහට නව රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරපු නිදහස් ශ්‍රී ලංකාවේ 79 වෙනි අයවැය. එතුමා කියන විදිහට මෙවර අයවැය පදනම් වෙලා තියෙන මූලධර්ම තුනක් තියෙනවා. ඒ තමයි,

  1. නිෂ්පාදන ආර්ථිකය නගා සිටුවීම 

  2. ඒ වෙනුවෙන් ජනතාවගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම 

  3. ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණව බෙදීයාම සහතික කිරීම 

2025 අයවැයේ සාරාංශය ගත්තොත්, 

මේ වසරේ ලංකාව ලබා ගන්න අපේක්ෂා කරන ආර්ථික වර්ධනය 5%ක්. දැන් අපි බලමු ඒ වගේ අරමුණක් එක්ක මොන විදිහටද අයවැයේ හැසිරීම සිද්ධ වෙන්නේ කියලා. ඒ යටතේ ආර්ථිකයේ නොයෙක් අංශවල නව හඳුන්වාදීම්, සහන ලබා දීම්, කප්පාදු කිරීම් වගේම සංවර්ධනය කිරීම් කියන කොටස් අන්තර්ගත වෙලා තියෙනවා. 

හඳුන්වාදීමට නියමිත නව පනත් / වෙනස්කම් 

  • නව රේගු පනතක් හඳුන්වා දීමට පියවර 

  • ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමට පියවර

  • ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමවේදය ස්ථාපිත කිරීම කඩිනම් කිරීම

  • වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් අංගණයක් ස්ථාපිත කිරීම

  • සංශෝධිත විදුලිබල පනත කඩිනම් කිරීම 

  • ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5000ක් 

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවර්ධන බැංකුවක් පිහිටුවීම

කප්පාදු කිරීම් / අත්හිටුවීම්

  • මහජන නියෝජිතයින්ට ලබා දෙන ප්‍රතිලාභ පිළිබඳ සමස්ත පද්ධතියම සමාලෝචනය කිරීම රජයේ සියලුම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට පියවර 

  • රජයේ නිලධාරීන්ට වාහන ලබාදීමේ නව ක්‍රමවේදයක් 

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මේ වසරේ නිල රථ වාහන හෝ රථවාහන බලපත්‍ර ලබා නොවේ. 

මීට අමතරව අයවැයක වෙනස්කම් යටතේ වැඩිම අවධානයක් යොමු වෙන අංශ යටතට අධ්‍යාපනය, සෞඛ්‍යය, බලශක්ති, කෘෂිකර්ම සහ නවෝත්පාදන සලකන්න පුළුවන්. ඒ අංශ වෙනුවෙන් යෝජිත ක්‍රියාත්මක කිරීම් වෙන්නේ මෙහෙමයි.

අධ්‍යාපනය

  • පෙරපාසල් උදේ ආහාර වේල සඳහා වැය කළ රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා ඉහළට (ඒ සඳහා මේ වසරේ රුපියල් මිලියන 1000 වෙන් කරනවා.) 

  • පෙරපාසල් ගුරුවරුන්ට ලබා දෙන දීමනාව මේ වසරේ ජූනි මාසයේ ඉඳලා තවත් රුපියල් 1000න් ඉහළට (ඒ සඳහා රුපියල් මිලියන 100 වෙන් කරනවා.) 

  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට 1500  ඉහළට 

  • ක්‍රීඩා පාසල් සිසුන්ගේ මාසික පෝෂණ දීමනාව රුපියල් 5000 සිට 10,000 දක්වා ඉහළට

  • වෘත්තීය අධ්‍යාපනයේ නිරත සිසුන්ගේ මාසික දීමනාව රුපියල් 5000ක් දක්වා ඉහළට

  • සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 7500 තෙක් ඉහළට 

  • සරසවි සිසුන්ගේ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 4000 සිට 6500 ට දක්වා ඉහළට

සෞඛ්‍යය

  • සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සඳහා රුපියල් බිලියන 604 ක් 

  • සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා රුපියල් බිලියන 185ක් 

බලශක්තිය

  • සංශෝධිත විදුලිබල පනත ඉක්මනින් සම්මත කර ගැනීමට පියවර 

  • අවම ගාස්තුවක් මත පදනම් වූ බලශක්ති ආයෝජන සඳහා පියවර 

කෘෂිකර්මාන්තය

  • වී සහ සහල් තොග රැස් කිරීම සහ ගබඩා කිරීම සඳහා නව නීති ගෙන එමින් වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කෙරේ.

  • උතුරේ නව පොල් අක්කර 1000 ස්ථාපනයට රුපියල් මිලියන 500

  • 2025 වසර සඳහා පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන  35000 කිරීම

  • 2024 / 2025 මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5000 


අපනයන, නවෝත්පාදන සහ ඩිජිටල් ආර්ථිකය

  • භාණ්ඩ හා සේවා අපනයන ක්ෂේත්‍රයේ ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් 2025 - 2029 කාලය සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් 

  • සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම, ගමනාන්ත ප්‍රවර්ධනය ඇතුළු ව්‍යාපෘති රැසකට රුපියල් මිලියන 500ක්

  • ජපාන ආයෝජන තුළින් කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 4600ක්

  • ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට රුපියල් මිලියන 3000

සමාජ ආරක්ෂණය

  • 2025 වසර සඳහා අස්වැසුම වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 232.5 ක්

  • ආපදා ජීවිත වන්දි මුදල රුපියල් මිලියනය දක්වා ඉහළට 

  • අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස හරහා වියළි ආහාර පැකේජයක් 

  • අස්වැසුම ප්‍රතිලාභ ඉහළ දැමීමට අවධානය 

  • දුප්පත් කාණ්ඩයේ මාසික දීමනාව රුපියල් 8500 සිට 10,000 දක්වා ඉහලට 

  • අන්ත දුප්පත් කාණ්ඩයේ මාසික දීමනාව රුපියල් 15,000 සිට රුපියල් 17,500 දක්වා ඉහළට 

  • වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 7500 සිට 10,000 දක්වා ඉහළට

රාජ්‍ය සේවක වැටුප් සහ අනෙකුත් වෙනස්කම්

  • රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට 30,000 බඳවාගැනීම  

  • රාජ්‍ය සේවකයන්ගේ අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට 40,000 දක්වා ඉහළට 

  • වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%න් ඉහළට 

  • වැටුප් වැඩි කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 110 ක්

  • ජනවාරි පළවෙනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් අදියර තුනකින් වැඩි කිරීම 


පුද්ගලික අංශය සහ වතුකම්කරු වැටුප්

  • පුද්ගලික අංශයේ අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2026 වන විට රුපියල් 30,000 තෙක් ඉහළට

  • වතුකම් කරුවන්ගේ යෝජිත රුපියල් 1700ක දෛනික වැටුප ලබා දීම සහතික කිරීම



මෙවර අයවැය සහ ආර්ථිකය

අයවැය කියන්නේ රටක ඉදිරි වර්ෂයේ ආදායම් සහ වියදම් ගැන කියවෙන ලියවිල්ලක් වගේම රටේ අනාගත සැලසුම් ගැන ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක්. 2025 අවුරුද්දේ ලංකාව 5% ආර්ථික වර්ධනයක් ලබා ගන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් බාධාවක් නොවෙන විදිහට තමයි මේ සියලු අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ජනාධිපතිතුමා කිව්වේ. විශේෂයෙන්ම එතුමා කියපු වෙළඳපළ බලවේගවලින් තරඟකාරීත්වය වැඩි වෙන, ඒකාධිකාරීත්වය නිමා වෙන වෙළඳපළ, කාසි සහ නෝට්ටු භාවිතයෙන් සිද්ධ වෙන මුදල් ගනුදෙනු වෙනුවට ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක ඉපයීම්, අපනයන ආදායම් වර්ධනය කර ගැනීම කියන කාරණා ඉතාමත් සාධනීය මට්ටමක තියෙනවා. ඒ වගේම බලශක්ති අංශයද ඇතුලුව අත්‍යවශ්‍ය සහ කාලීනව වැඳගත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වෙන් කිරීමත්, සමහර පාඩු ලබන ආයතනවල දෛනික මෙහෙයුම් පවත්වා ගන්න රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදෙන බවටත් තීරණය කොට තිබීම අනාගතයේ ජනතාව වෙත පැටවෙන්නට තිබූ බරක් වැළැක්වීමක් ලෙස දකින්න පුලුවන්. 

2025දී ලංකාව වැල් පාලමෙන් එතෙර වෙයිද?

- දිල්මිණී අබේරත්න විසිනි

වසංගත, අර්බුද, අරගල වගේ හැල හැප්පීම් ගොඩක් එක්ක ගෙවුණ කලබලකාරී වගේම තීරණාත්මක කාලයකට පස්සේ 2025 අවුරුද්ද ලබලා තියෙනවා. හෙළ ගැඹුරුයි, රෑ වැටුණු වලේ දවාලෙත් වැටෙයිද? පරිස්සමෙන් වැල් පාලමෙන් එතෙර වෙන්න ලංකාවට පුළුවන් වෙයිද? ඒ දේවල් හරියටම කියන්න තාම කල් වැඩියි තමයි. බිමටම සමතලා වුණ ආර්ථිකයක් ගොඩ ගන්න කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම අර්ථිකය වර්ධනය කර ගන්න නම්, ඒක නිදහස් හා තරඟකාරී කරගෙන ඉස්සරහට යන එකයි වැඳගත්. පුළුවන් තරම් වෙළඳපළ සාධකවලට නිදහසේ තරඟකාරීව ඒ වැඩේ කරගෙන යන්න ඉඩ දුන්නාම තමයි, ආර්ථිකයකට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදි රජය හැකිතාක් තමන්ගේ මැදිහත්වීම අඩු කරන්න ඕන. ඒත් රජයකටත් ආර්ථිකයකට දායක වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතිං ඉදිරි අවුරුදු පහ හෝ දහය, ලංකාව වගේ ආර්ථික අර්බුදවලින් බැට කාපු  සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ගොඩ යනවා නම් ඒක ලොවෙත් නැති විදිහේ ගොඩ යාමකට යන්න ඕන විදිහ සහ එතනදි රජයේ කාර්‍යභාරය මොකක්ද කියලා ලෝක බැංකුව මෑතකදි එළි දක්වපු Global Economic Prospects කියන වාර්තාවේ කතා  කරලා තියෙනවා. 

Image by Karl Egger from Pixabay

අපි මොකක්ද කරන්න ඕන?

Global Economic Prospects වාර්තාවේ කියන්නේ කාරණා තුනක් ගැන. ඒ නිසා මේ සටහන ඇතුලේ කෙටියෙන් සහ සරලව ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ගොඩ යන්න පුළුවන් විදිහ ගැන අපි කතා කරනවා. වැඳගත්ම දේ තමයි ලංකාවත් ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල්වල රාජ්‍ය ආයෝජන ශක්තිමත් කරගන්න එක. ඒක කරන්න පුළුවන් කොහොමද? එහෙම කරන්න ඕන ඇයි? සහ ඒකේ ඇති වැඳගත්කම මොකක්ද? කියලා හොයලා බලමු. 

රාජ්‍ය ආයෝජන ශක්තිමත් කරගන්න එක වැඳගත් වෙන්නේ දුප්පත්කම පිටුදැකීම, ආර්ථික වර්ධනය, ස්ත්‍රී පුරුෂ සමානතාව, ගුණාත්මක අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සැපයීම වගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගන්න. Global Economic Prospects වාර්තාවට අනුව නැඟී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකවලට, සමහර ප්‍රතිපත්තිමය මැදිහත්වීම් මගින් අවුරුදු 5ක් තුළ රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%කින් ඉහළ නංවන්න පුළුවන්කමක් තියෙනවා. ඒකෙන් රටේ නිෂ්පාදනය 1.6%කින් ඉහළ දාන්න පුළුවන්. ඇහුව ගමන් මේක මැජික් එකක් වගේ පේනවා. 

ඒ මැජික් එක වෙනුවෙන් කරන්න ඕන ප්‍රතිපත්තිමය මැදිහත්වීම් මොනවාද? 

Image by Pexels from Pixabay

මෙතනදි තමයි මම කලින් කියපු කාරණා තුන අදාල වෙන්නේ. 

  1. මූල්‍ය අවකාශය පුළුල් කිරීම (Expansion of fiscal space)

  2. රාජ්‍ය ආයෝජනවල කාර්යක්ෂමතාව (Efficiency of public investment) 

  3. වැඩි දියුණු කළ ගෝලීය සහයෝගය (Enhanced global support)

 

1. රාජ්‍ය මූල්‍ය අවකාශය (Expansion of fiscal space)

Image by Steve Buissinne from Pixabay

මෙතනදි අදහස් කරන්නේ ඕනෑවට වඩා ණය ගොඩ ගන්නේ නැතිව ආර්ථිකයට හානියක් කර ගන්නේ නැතිව, සරලව කිව්වොත් කිසිම ප්‍රශ්නයක් නැතිව රජයකට කොච්චර මුදලක් වියදම් කරන්න පුළුවන්ද කියන එක. මේ කතාව අපි හිතනවට වඩා ගොඩක් වැඳගත් කතාවක්. මොකද මිනිස්සුන්ට අවශ්‍ය පාසල්, මාර්ග, සෞඛ්‍ය සේවා වගේ දේවල්වලට වියදම් කරන්න ප්‍රමාණවත් තරම් අරමුදල් තියෙනවද, නැද්ද කියලා මේකෙන් තීරණය වෙනවා. 

රටේ අයවැය තත්ත්වය ඒ තරම් හොඳ නැති, බොහෝමයක් නැඟී ගෙන එන වෙලඳපොලවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් තමන්ගේ ආදායමෙන් විශාල මුදලක් වෙන් කරන්නේ ණය පොලී ගෙවන්න. ඒකට වියදම් කළාට පස්සේ වෙනත් වැඳගත් ව්‍යාපෘති පටන් ගන්නවත්, පටන් ගත්ත ව්‍යාපෘති ඉවර කරන්නවත් සල්ලි නෑ. ඒ විදිහට ණය ගෙවන්න හරි ණය පොලී ගෙවන්න හරි අයවැයෙන් දරන වියදම් වැඩි වෙනවා කියන්නෙම මිනිස්සුන්ගේ කුසලතා සහ අධ්‍යාපනය (මානව ප්‍රාග්ධනය) වැඩිදියුණු කරන්න තියෙන අරමුදල් අඩු වෙනවා කියන එක. 


රාජ්‍ය මූල්‍ය අවකාශය වෙනුවෙන් කරන්න පුලුවන් මොනවද?

• දේශීය වශයයෙන් ආදය‍ම් උපයා ගැනීම විධිමත් කිරීම: විශේෂයෙන්ම රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහට සැලකෙන බදු ආදායම වැඩි කර ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. (බදු ව්‍යුහය සරල කිරීම, බදු පරිපාලනය විධිමත් කිරීම සහ බදු ගෙවීම් සැකසීමට සහ අනුකූලතාව නිරීක්ෂණය කිරීමට නව තාක්ෂණයන් අනුගමනය කිරීම). බදු අනුපාත වැඩි කිරීමකින් තොරව බදු ආදායම වැඩි කරගන්න මේ ක්‍රමයෙන් පුළුවන්. 

උදා: කෙන්යාව සහ පිලිපීනය 

• අකාර්යක්ෂම සහනාධාර ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම: හරියට විදිහට හොයලා බලන්නේ නැතිව ඕන කෙනාටයි නැතිකෙනාටයි දීලා තියෙන ගැන සහනාධාර ගැන ආයෙමත් හිතලා බලන්න ඕන. දුප්පතුන් ඉලක්ක කර නොගන්නා සහනාධාර අඩු කිරීමට හෝ ඉවත් කිරීමට පුළුවන්. ඒ මුදල් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් සඳහා වන ආයෝජනය කරන්න පුළුවන්. 

උදා: මෙක්සිකෝව වැනි රටවල ක්‍රියාත්මක ඉන්ධන සහනාධාර ප්‍රතිසංස්කරණ 

• ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ විශ්වසනීය සහ පුරෝකථනය කළ හැකි මූල්‍ය රාමු ස්ථාපිත කිරීම: මේකට අදාල වෙනවා විස්තීර්ණ ණය කළමනාකරණ උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම, ණය විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ ණය ගැනීම තිරසාර බව සහතික කිරීම සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වීම කියන දේවල්. 

උදා: ජැමෙයිකාව වඩා හොඳ ණය කළමනාකරණයක් සහ විශ්වසනීය මූල්‍ය රාමුවක් හරහා පසුගිය දශක කිහිපය තුළ සිය මූල්‍ය අවකාශය පුළුල් කිරීම


2. රාජ්‍ය ආයෝජනවල කාර්යක්ෂමතාව (Efficiency of public investment)
 

Image by Steve Buissinne from Pixabay

අපි කවුරුත් දන්නවා ලංකාවේ තියෙන සමහර රාජ්‍ය ආයෝජනවලින් බැලූ බැල්මට කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නෑ කියලා පේන. එහෙම නැත්නම් පාඩු ලබන, සම්පත් නාස්තියක් කියලා පේන. ඒ  නිසා රාජ්‍ය වියදම් කාර්යක්ෂමතාවය කියන්නේ රාජ්‍ය මූල්‍ය සම්පත් කොච්චර හොඳින් වියදම් කරනවාද කියන එක. අපි වියදම් කරන දේවල්වලට සාපේක්ෂව ආදායමක්/ප්‍රතිලාභයක් නැත්නම් එතන අකාර්‍යක්ෂමතාවක් තියෙනවා. ලංකාවේ ඒ වගේ ව්‍යාපෘති ඕන තරම් තියෙනවා. කරන්නම් වාලේ කළාට ලංකාවට ඒ වියදම් කරපු ගාණට වටින කිසිම දෙයක් නොලැබෙන ව්‍යාපෘති රට පුරා තියෙනවා. ඒ වියදම් ලංකාවේ ඇති වුණ ආර්ථික අර්බුදය‍ට පවා හේතු වුණා. අපි වුණත් පඩියෙන් ඕන නැති කිසි වටිනාකමක්, ප්‍රයෝජනයක් නැති දේවල්වලට වියදම් කරන වෙලාවල් තියෙනවා. ඒවායෙන් බලපෑමක් වෙන්නේ පුද්ගලිකවම අපිට. වැඳගත් දේකට  වියදම් කරන්න තිබ්බ සල්ලි තමයි නාස්ති වෙන්නේ. හැබැයි රටක් තේරුමක් නැති ප්‍රයෝජනයක් නැති දේවල්වලට වියදම් කරනවා කියන්නේ ඊට වඩා බරපතල දෙයක්. ඒකේ පාඩුව රටේ හැමෝටමයි, විශේෂයෙන්ම දුප්පත් සහ ආර්ථික සහ සමාජීය වශයෙන් පීඩාවට පත් වුණ හැමෝටමයි. නියාමන බාධක සහ දූෂණය වගේ ආයතනික දුර්වලතා නිසාත් හුඟක් වෙලාවට ගුණාත්මක බවින් අඩු ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. 


රාජ්‍ය ආයෝජනවල කාර්යක්ෂමතාව වෙනුවෙන් කරන්න පුලුවන් මොනවද?

• විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම : කොන්ත්‍රාත් දෙද්දි නෑයන්ට, හිතවතුන්ට නෙවේ හරි කෙනාට දෙන එක ඩිජිටල් නවෝත්පාදන මගින් වියදම් කාර්යක්ෂමතාව, විනිවිදභාවය, වගවීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම ගැන හිතලා බලන්න පුළුවන්.


• ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම සහ ඇගයීම : රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම සහ ඇගයීම මඟින් පිරිවැය ඉක්මවා යාම වගේම ප්‍රමාදයන් ඇති වෙන්න බලපාන හේතු හඳුනා ගන්න උපකාර වෙනවා. එතකොට කාලෝචිත නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගවලට ඉඩ ලැබෙනවා වගේම අනාගත ව්‍යාපෘති වැඩිදියුණු කරන්න ඕන කොහොමද කියලා පැහැදිලි වෙනවා.

• පුද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම : ක්‍රියාත්මක කිරීමේදී සාපේක්ෂව සංකීර්ණතාවන් ඇති වෙන්න පුළුවන් වුණත්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකදි පුද්ගලික අංශයේ සම්පත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. පෞද්ගලික අංශය සතු තාක්‍ෂණය නිසා විදුලි සංදේශ සහ සෙලියුලර් ජාල සම්බන්ධයෙන් වගේම සෘජු ප්‍රතිපාදනවලින් ඉවත් වෙන්නත් දැන් රජයන්ට හැකියාව තියෙනවා.

Image by Tung Nguyen from Pixabay

• ජාත්‍යන්තර සංවිධාන සමඟ හවුල් වීම : නැඟී එන රටවල්වලට සහ අඩු ආදායම්ලාභී රටවල්වලට ජාත්‍යන්තර සංවිධාන විසින් සකස් කරන ලද රාමු භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ලෝක බැංකුවේ රාජ්‍ය ආයෝජන කළමනාකරණ රාමුව මඟින් රටවල්වලට තමන්ගේ රාජ්‍ය ආයෝජන භාවිතයන්වල ශක්තීන් සහ දුර්වලතා තක්සේරු කරන්න උපකාර කරනවා.


3. වැඩි දියුණු කළ ගෝලීය සහාය (Enhanced global support)

සමහර  නැඟී එන රටවල්වලට සහ අඩු ආදායම්ලාභී රටවල්වලට මහා පරිමාණ රාජ්‍ය ආයෝජන ව්‍යාපෘතිවලට මුදල් යොදවන්න වගේම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ජාත්‍යන්තර ප්‍රජාවෙන් අමතර මූල්‍ය සහ තාක්ෂණික සහාය අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහළ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මුළු ලෝකයටම බාහිරතා ඇති කරන දේශගුණය ආශ්‍රිත යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර ප්‍රජාව පියවර ගන්න ඕන. 


ලංකාවේ අනාගතය

2024 ආර්ථික නිදහස ගැන ෆ්‍රේසර් ආයතනයේ සමීක්ෂණවලට අනුව අංක එකේ ඉන්නේ මුඩුක්කු රටක් විදිහට තිබිලා මෑත කාලයේ සංවර්ධිත රටක තත්ත්වයට ආව, සිංගප්පූරුව. ඊට පස්සේ ස්විස්ටර්ලන්තය සහ අයර්ලන්තය වගේ රටවල්. ශ්‍රී ලංකාව මේ ලිස්ට් එකේ ඉන්නේ 149 වෙනියට. කොහොමත් ලංකාවට මුදල් උපයන්න පුළුවන් විදිහේ ආයෝජකයන්ට සහ ව්‍යාපාරවලට වැඩක් කර ගන්න ගියාම තියෙන සීමා සහිත ඉඩ සහ රාජ්‍ය ආයතනවලින් ලබා ගන්න තියෙන සේවාවන්වල යාවත්කාලීන බවක්, කාර්‍යක්ෂම බවක් නැති එක නිසා තරඟකාරී ආයතනවලට ආර්ථිකයට දායක වෙන්න තියෙන ඉඩ සීමා වෙලා තියෙනවා. ප්‍රතිපත්තිවල අස්ථාවරත්වය, නියාමන බාධක, හැමදේකටම රජය අත පෙවීම, කාලීනව නම්‍යශීලී නොවන ශ්‍රමය සම්බන්ධ වන රෙගුලාසි කියන මේ හැම දෙයක්ම ලංකාවේ ආර්ථිකයට වර්ධනය වෙන්න නොදී කකුලෙන් අඳිනවා.  


වැල් පාලමෙන් ගොඩට

ලංකාවේ ආර්ථිකය, දේශපාලනය සහ සමාජය ගෙවුණු අවුරුදු පහක වගේ කාලයක් ඇතුලේ විශාල වෙනස්කමකට මුහුණ දුන්නා. දේශපාලනික වශයෙන් ජනප්‍රසාදය නොලබන බැරෑරුම් ආර්ථික තීරණ අරන් අසීරු ප්‍රතිසංස්කරණ රැසක් කරන්න වුණා. හැබැයි ලංකාව තාමත් වැටුණු වලෙන් සම්පූර්ණයෙන් ගොඩ ඇවිත් නෑ. තාමත් උද්ධමනයෙන් ඇති කරපු ගිනිදැල්වල ගිනි පුළිඟු අළු යට හැංඟිලා තියෙනවා. ඒවා නිවලම දාලා ආර්ථිකයට වර්ධනය වෙන්න පුළුවන් පරිසරයක් හදන එක සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තීරණාත්මකයි. එතනදි රජය ආර්ථිකයට මැදිහත් වීම අඩු කරලා, ගැනුම්කරුවන් සහ සැපයුම්කරුවන් කියන වෙළඳපළ සාධකවලට නිදහසේ තරඟකාරීව ක්‍රියාත්මක වෙන්න දෙන්න ඕන. නැත්නම් හැමදාමත් පාලන මිල, පෝලිම්, කළු කඩ නවත්වන්න වෙන්නේ නෑ. හැබැයි රජයකට ආර්ථිකයක් වෙනුවෙන් කරන්න දෙයක් නෑම කියන්නත් බෑ. ඒකයි මේ සටහන පුරාවට රජයට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මැජික් එක ගැන කතා කළේ. 

මේ වගේම තවත් සටහනකින් හමුවෙන තුරු රැඳී ඉන්න අපේ අදහස් එක්ක. 

ඔබත් බදු වාර්තා ගොනු කළාද?  / එලොව පොල් පෙන්වන මෙලොව පොල්

අතුරු සම්මත ගිණුමේ වැඩිම වියදම කාටද?

-දිල්මිණී අබේරත්න විසිනි

සාමාන්‍යයෙන් අවුරුද්දක් ඉවර වෙද්දි රටක වැඳගත් සංධිස්ථානයක් වෙන්නේ ඒ රටේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම. එළඹෙන මුදල් වර්ෂයේ කරන්න ඉන්න දේවල් ගැන සඳහන් වෙන සුපුරුදු අයවැය මේ අවුරුද්දේ තාම ඉදිරිපත් කළේ නෑ. මොකද අයවැයක් ඉදිරිපත් කරන්න තරම් ප්‍රමාණවත් කාලයක් අලුතින් පත් වුණ ආණ්ඩුවට නැති නිසා. 2025 අවුරුද්ද වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කරනකම් අතුරු සම්මත ගිණුමක් තමයි සම්මත කර ගන්නේ. පහුගිය දෙසැම්බර් 5 වෙනිදා ඉදිරිපත් කරපු අතුරු සම්මත ගිණුම අදාළ වෙන්නේ 2025 අවුරුද්දේ මුල් මාස 4ට විතරයි. ඊට පස්සේ විධිමත් අයවැයක් ඉදිරිපත් කරන්න ඕන. මෙවර ගෙනාපු අතුරු සම්මත ගිණුමේ සමස්ත අගය රුපියල් බිලියන 2600ක්. ඒ ගාණ හැදෙන්නේ කොහොමද කියලා පහත වගුවෙන් බලාගන්න පුළුවන්.

අතුරු සම්මත ගිණුම ගැන කෙටියෙන්

සරලවම අතුරු සම්මත ගිණුමක් අවශ්‍ය වෙන්නේ සම්මත වූ වාර්ෂික අයවැයක් නැති අවස්ථාවකදි. ඒ වගේම මේ ගිණුම ඉතා කෙටි කාලයක් වෙනුවෙන් තමයි පවත්වාගෙන යන්නේ. මේ කෙටිකාලීන අතුරු සම්මත ගිණුමෙන් කරන්නේ විධිමත් අයවැයක් සම්මත වෙලා නැති වෙලාවක, රජයේ සේවාවන් බිඳ වැටෙන්න නොදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව මහජනතාවට ලබා දෙන එක. දැනට රටේ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති පවත්වා ගෙන යන්න මුදල්  වෙන් කිරීමත් මේ මඟින් සිද්ධ වෙනවා. 

අපේක්ෂිත ආදායම් ඇස්තමේන්තු, අදාල කාල පරිච්ජේදය සඳහා වන ණය ගැනීමේ සීමාව වගේම අත්තිකාරම් කටයුතු සඳහා වන උපරිම සීමාව කියන දේවල් අතුරු සම්මත ගිණුමක ඇතුලත් වෙන්න පුළුවන්. අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම ඉතා ඉක්මණින් ඒක විවාදයට ගන්න එක තමයි සම්ප්‍රදාය. ඒත් විපක්ෂයෙන් ඡන්දයක් ඉල්ලුවොත්, වැඩි ඡන්දයෙන් ගිණුම සම්මත කර ගන්න ඕන. 


වැඩිම වියදම කාටද?

Image by Michal Jarmoluk from Pixabay

Image by Michal Jarmoluk from Pixabay

අයවැයක් ගෙනාවත් හුඟ දෙනෙක් හොයලා බලන දෙයක් තමයි වැඩියෙන් සල්ලි වෙන් කරලා තියෙන්නේ මොන අංශයටද කියන එක. මේ පාර කියලත් වෙනසක් නෑ. හැමෝම හොයලා බලන්නේ ඒ ගැන. ඒ වගේම පහුගිය ආණ්ඩුවලින් සිද්ධ වුණා වගේම මේ ආණ්ඩුවෙනුත් ජනාධිපතිවරයාගේ වියදම අඩු කරලා නෑ කියන චෝදනාව එල්ල වෙලා තියෙනවා. මෙවර අතුරු සම්මත ගිණුමෙන් වැඩිපුර මුදල් වෙන් වුණ අමාත්‍යංශ මොනවද කියලා පහත වගුවෙන් බලා ගන්න පුළුවන්. 

Image by Sabine from Pixabay

2025 වසර ලංකාවට වැඳගත්. මොකද අලුත් ආණ්ඩුවක් යටතේ ගෙනෙන පළමු අයවැය නිසා බොහෝ දෙනෙක් උනන්දුවෙන් ඒ ගැන බලාගෙන ඉන්නවා. 2022 වසරේ ඇති වුණ ප්‍රබල ආර්ථික අර්බුදයත් එක්ක මිනිසුන්ගේ ජීවන මට්ටම් සෑහෙන්න බිඳ වැටිලා, ජනතා විශ්වාසය පළුඳු වෙලා තියෙන්නේ. ඒ නිසා වෙනසක් වෙනුවෙන් අලුත් ඇරඹුමක් වෙනුවෙන් බලා ඉන්නා ජනතාවට ආර්ථිකයේ සුබවාදී ලකුණක් කියන්නේම වැඳගත් කාරණයක්. ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් හාල් මිලට පොල් මිලට බලපෑම් කරන්න හැම වෙලාවෙම රජයට මැදිහත් වෙන්න බෑ. ආර්ථික ස්වාධීන ඒකකයක් විදිහට ක්‍රියාත්මක වීමෙන් විතරයි සාධාරණ බෙදා හැරීමක් සිද්ධ වෙන්නේ. වෙළඳපලේ තරඟකාරීත්වයට බාධා වන රජයේ මැදිහත් වීම් නිසා වෙළඳපළ සුබසාධනය කොයිතරම් දුරට ළඟා කර ගන්න පුළුවන්ද කියන එක සැකසහිතයි. ඒ නිසයි එළඹෙන අවුරුද්දේ ගෙන එන්නට නියමිත අයවැය සාධාරණ සහ ප්‍රායෝගික එකක් වීම ඉතාම වැඳගත් කොට සලකන්නේ.   




ඔබත් බදු වාර්තා ගොනු කළාද?

දිල්මිණී අබේරත්න විසිනි

නොවැම්බර් මාසේ තිස් වෙනිදා වෙනකොට බදු ගෙවන්නන් අතර වැඩිපුරම කතා වුණ දේ තමයි 2023/2024 වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ගොනු කිරිම කියන එක. බදු ගෙවන්නන්ට ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් මේ කියන වාර්තාව සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි මීට කලින් වතාවකත් වැඩි පරිශීලකයන් ගණනක් වෙබ් අඩවියට සම්බන්ධ වෙන්න උත්සහ කරපු අවස්ථාවලදී වෙබ් අඩවියේ බිඳ වැටීම් සිද්ධ වුණා. ඒ නිසා මෙවරත් ඒ වගේම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. 

  • සැප්තැම්බර් මස අග සිට හෝ ඔක්තෝබර් පළමු වන දා සිට ම ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ හැකියාව තිබිලා. 

 

බදු වාර්තාව ඉදිරිපත් නොකලොත්, ඒ වෙනුවෙන් දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා කියන පණිවුඩයත් එක්ක, බොහෝ පිරිසක් (එකම වෙලාවේ වෙබ් අඩවියට ප්‍රවේශ වෙද්දි වෙබ් අඩවිය ප්‍රතිචාර දැක්වීම අඩු වෙලා. ඒ වගේම සමහරුන්ට අදාළ කාලය ඇතුලත බදු වාර්තාව ඉදිරිපත් කරන්නත් බැරි වෙලා තියෙනවා. 

  • නොවැම්බර් 30 /අවසන් දිනයේ වෙබ් අඩවියට ප්‍රවේශ වූ පිරිස 16,000කට වැඩියි 

බදු වාර්තා ගොනු කරන්න බැරි වුණා නම් මොකද කරන්නේ?

ඊළඟ වැඳගත්ම ප්‍රශ්නය තමයි මේක. බදු වාර්තා ගොනු කරන්න බැරි වුණ අය වෙනුවෙන් කාලය දීර්ඝ කරන්නේ නෑ කියලයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව බීබීසි සිංහල සේවයට කියලා තියෙන්නේ. ඒ වුණත් ඉක්මණින් බදු වාර්තා ගොනු කරන තරමට සහනයක් ලබා ගන්න පුළුවන් කියලත් සඳහන් කරලා තියෙනවා. 

  • 'හැකි ඉක්මනින් වාර්තා ලබා දෙන්න'

බදු වාර්තා ගොනු නොකලොත් වෙන්නේ මොකක්ද?

බදු ගෙවන අය බදු වාර්තා ගොනු කිරීම අනිවාර්‍යයෙන් කළ යුතු වෙනවා. ලබා දී ඇති කාලය තුළ කෙනෙක්ට ආදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න බැරි වුනොත්, වාර්තාවේ සඳහන් ආදායම් බද්දෙන් 5%ක් සහ ප්‍රමාද වන සෑම මාසයක් වෙනුවෙන් ම එම බද්දෙන් 1%ක් දඩ මුදලක් විදිහට ගෙවන්න ඕන.

  • එහෙම නැත්නම් රුපියල් 50,000/= සහ ප්‍රමාද වන සෑම මාසයක් වෙනුවෙන්ම රුපියල් 10,000/= මුදලක දඩයක් ගෙවන්න ඕන. 


TIN අංකයක් තියෙන හැමෝම බදු වාර්තා දෙන්න ඕනද?

බදු වාර්තා නියමිත කාලයට නොදුන්නොත් දඩයක් ගෙවන්න වෙනවා. ඒ කතාව ඇහුව ගමන් හුඟක් අය බය වෙනවා. මොකද ඉතිං බදු ගෙවීම ක්‍රමානුකූල කරන්න කියලා හැමෝටම TIN අංකයක් ගන්න කියලා කිව්වා. හැබැයි TIN අංකයක් තිබුණ පලියට හැමෝම බදු ගෙවන්නේ නෑ. මොකද බද්දෙන් නිදහස් ආදායම් මට්ටමකුත් තියෙන නිසා. 

  • ලංකාවේ ආදායම් බදු ගෙවන්නේ මාසෙකට රුපියල් 100,000කට වැඩි / අවුරුද්දකට ලක්ෂ 12කට වැඩි ආදායමක් තියෙන අය හරි විතරයි. 


මේ වගේ ආදායම් බදු නොගෙවන කෙනෙක්ට ආදායම් බදු වාර්තාවක් නිකුත් වෙලා තියෙන්න පුළුවන්ද?

ඔව්, එහෙම වෙලා තියෙනවා නම් ඒ කෙනා තමන්ට ආදායම් බදු ගෙවන්න අවශ්‍යතාවක් නෑ කියලා (Nil Return) වාර්තාවක් ගොනු කරන්න වෙනවා. 

  • එහෙම නොකලොත් එයාව සැලකෙන්නේ වාර්තා ගොනු නොකරන ලද බදු ගෙවන්නෙක් හැටියට. 

2024 ජනවාරි පළවෙනිදා හරි ඊට පස්සේ හරි වයස අවුරුදු 18 ලබන සියලු දෙනා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු විවෘත කළ යුතු බව පෙර පැවති රජය ගැසට් නිවේදනයකින් දැනුම් දීලා තියෙනවා. ඒකෙන් කියවන්නේ නෑ වයස 18ට වැඩි හැමෝම බදු ගෙවන්න ඕන කියලා. නමුත් ඉදිරියේ දී රජයත් සමග කරන සියලුම රාජකාරී ගනුදෙනුවලදී මේ කියන බදු අංකය ඉතාම වැදගත් අනන්‍යතාවය ඔප්පු කිරීමක් කියලා සඳහන් වෙනවා. 

ලෝකයේ බලගතුම පාස්පෝට් එක

දිල්මිණී අබේරත්න විසිනි

පාස්පෝට් එක අලුත් වෙලා. පාස්පෝට් පෝලිම් අලුත් වෙලා. පාස්පෝට් එක ගැන කතාව අලුත් වෙලා. ඒ අතරේ  ඔන්න ලෝකයේ බලගතුම පාස්පෝට් මොනවද කියලා කියන එක ගැන අලුත් වාර්තාවකුත් නිකුත් වෙලා තියෙනවා. 

අර කවදාහරි ලංකාවක් කරනවා කියපු සිංගප්පුරුවට තමයි දැන් ලෝකේ බලගතුම පාස්පෝට් එක තියෙන්නේ. මේ ලිස්ට් එකේ පාස්පෝට් 199කින් ලංකාව ඉන්නේ 95 වෙනියට. ඉතිං එහෙම වුණේ ඇයි? මේ විදිහට රටක පාස්පෝට් එකක් බලගතුද නැද්ද මේ කාරණා කොහොමද කවුද තීරණය කරන්නේ? කියලා අපි බලමු මේ වීඩියෝ එකෙන්. 

The Henley Passport Index එකෙන් හැම අවුරුද්දකදීම ලෝකයේ පාස්පෝට් ශ්‍රේණිගත කිරීමක් කරනවා. එයාලා ඒකට දත්ත ලබා ගන්නේ International Air Transport Association එකෙන්.එයාල ගාව අවුරුදු දහ අටක විතර විශාල දත්ත ගබඩාවක් තියෙනවා. ඒ වගේම එයාලා කාලෙන් කාලෙට මේ දත්ත යාවත්කලින කරනවා.


කොහොමද එයාලා පාස්පෝට් එකක බලවත් බව එහෙම නැත්නම් දුර්වලකම තීරණය කරන්නේ?

ඒකට එයාලා භාවිතා කරන හරිම සරල ක්‍රමයක්. උදාහරණයකට අපි සිංගප්පූරුවම ගමුකෝ. සිංගප්පූරුවේ කෙනෙක් කැනඩාවට යද්දි වීසා ගන්න ඕන නැත්නම් සිංගප්පූරුවට 1 ලකුණක් හම්බ වෙනවා. මේ විදිහට ගමනාන්ත 227ක් තියෙනවා. ඒ කියන්නේ මුූලු ලකුණු 227ක්. ඒකෙන් වැඩිම ලකුණු -195 අරන් තියෙන්නේ සිංගප්පූරුව. එතකොට වීසා නොගෙන ගමනාන්ත 195කට යන්න සිංගප්පූරුවට පුළුවන්. 

Image by Pam Patterson from Pixabay

ඒ වගේම ලංකාවේ කෙනෙක්ට එංගලන්තෙට යන්න වීසා ගන්න වෙනවා නම් ලංකාවට ලැබෙන්නේ ලකුණු 0යි. මේ විදිහට බලද්දි ලංකාවට වීසා නැව්තුව යන්න පුළුවන් රටවල් 44ට. ඒ නිසා තමයි ශ්‍රී ලංකාව අනූ පස් වැනි තැන තියෙන්නෙ

ඉතිං මේ වෙද්දි ලෝකයේ බලගතුම පාස්පෝට් එක තියෙන්නේ සිංගප්පූරුවට.  ලිස්ට් එකේ දෙවනියට ඉන්නේ ප්‍රංශය ජර්මනිය ඉතාලිය ජපානය සහ ස්පාඤ්ඤය කියන රටවල්. ඒ රටවල්වල අයට වීසා නැතුව ගමනාන්ත 192කට යන්න පුළුවන්. 2024 වෙද්දි ලෝකයේ දුර්වලම පාස්පෝට් එක තියෙන්නේ ඇෆ්ගනිස්ථානයට. එයාලාට වීසා නැතුව යන්න පුළුවන්කම තියෙන්නේ රටවල් විසි හයකට විතරයි. 


මේ විදිහට සමහර රටවල්වල පාස්පෝට් බලවතු වෙන්නයි තවත් ඒවා දුර්වල වෙන්නයි හේතුව මොකක්ද?

Image by cytis from Pixabay

මේකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් ආර්ථිකයේ ශක්තිමත් බව, අනිත් එක රටේ ස්ථායිතාවය. ලෝක ආර්ථික සමුළුව අදහස් දක්වලා තියෙනවා වීසා නැතුව ගමන් කිරීමේ හැකියාව සහ ආර්ථික ශක්තිය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. 

ඇත්තටම මේ දර්ශකයේ මුලම ඉන්න සංවර්ධිත රටවල් කීපය දිහා බැලුවාමත් ඒක පේනවා. ගොඩක්ම සංවර්ධිත රටවල් තමයි වීසා නැතුව වෙනත් රටවල් වලට යන්න පහසුකම් තියෙන්නේ. 

උදාහරණයක් විදිහට ජී-හත කියන ආර්ථික සමූහය ඇතුලේ ඉන්නවා කැනඩාව ප්‍රංශෙ ජර්මනිය ඉතාලිය ජපානය එංගලන්තය සහ ඇමරිකාව කියන රටවල් හත. මේ රටවල් අතර තියෙන ආර්ථික සහයෝගීතාවය හින්දා ඒ ඒ රටවල්වලට වීසන්නේ නැතුව එයාලට යාමේ ඒමේ හැකියාව තියෙනවා. 

ඒ වගේම මේ රටවල් හත එකතු කරලා ගත්තොත් ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 44% ප්‍රමාණයකට හිමිකම් කියනවා. ආර්ථිකයේ විවෘත බව, ජාත්‍යන්තර සබඳතා වගේ දේවල් නිසා මේ රටවල් හතේ ආර්ථික ශක්තියත් වැඩි වෙලා, එයාලට ජාත්‍යන්තර වශයෙන් සංක්‍රමණයේ වාසි ලැබිලා තියෙනවා. ඒකයි එයාලට වඩා බලගතු පාස්පෝට් එකක් තියෙන්නේ. ඉතිං මේ රටවල් හතට ඒ ඒ රටවල් 7 ඇතුලේ සංක්‍රමණයට බාධා නෑ. ඒ කියන්නේ 100%ම වීසා ඕන නෑ. ඒ වගේම මේ සංවර්ධිත රටවල්වලට ලෝකයේ අනිත් රටවල්වලින් 85% විතරම වීසා නැතිව යන්න පුළුවන්. හැබැයි වෙනත් රටවල්වලින් මේ රටවල් 7ට එද්දි වීසා නොගෙන එන්න පුළුවන් 39% වගේ රටවල් ප්‍රමාණයකට විතරයි.

උදාහරණයකට අපි අප්‍රිකානු සංවිධානයේ රටවල් ගත්තහම ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% විතරයි එයාලා හිමිකම් කියන්නේ. එතකොට එයාලට වීසා නැතුව යන්න පුළුවන් රටවල් ප්‍රමාණය තියෙන්නෙ 28% විදිහට. 

මේ විදිහට බැලුවහම ලෝකයේ බලගතුම පාස්පෝට් තියෙන්නේ සංවර්ධිත ඉහළ ආදායම් තියෙන රටවල්වලට. ලිස්ට් එකේ දෙවනුව තුන්වෙනුවට ඉහළ මැදි ආදායම් රටවල්, ඊළඟට පහළ මැදි ආදායම් රටවල් සහ අවසානයේදී පහළ ආදායම් රටවල් ස්ථානගත වෙලා. රටේ ආර්ථිකය දුර්වල වෙන්න වෙන්න ඒ රටවල්වල පාස්පෝට් දුර්වලයි. ඒ කියන්නේ වීසා අරන් තමයි වෙන රටකට යන්න ඕන. 

හැබැයි ධනවත් රටවල්වලට එහෙම නෑ. ඒ වගේ ධනවත් රටවල්වලින් මිනිස්සු තමන්ගේ රටට එනවට ඕනම රටක් කැමතියි. මොකද ඒකෙන් තමන්ගේ රටේ වෙළඳාම සංචාරක කර්මාන්තය ආයෝජන කියන දේවල් වලට යහපත් බලපෑමක් සිද්ධ වෙනවා. 

හැබැයි දේශපාලනික වශයෙන් අස්ථාවර යුද ගැටුම් තියෙන රටවල්වල ඉඳලා කෙනෙක් තවත් රටකට යනකොට ඒ රටවල් වල මිනිස්සු බයයි මේ එන සංචාරකයන්ගෙන් අපේ රට හානියක් වෙයිද එහෙම නැත්නම් අපේ රටෙන් යන්නැතුව ඉදීද නීති විරෝධී විදියට රටට එයිද කියන ප්‍රශ්න නිසා. 

රටක ස්ථාවරත්වයත් ඒ රටේ පාස්පෝට් එක බලවත් වෙන්න හේතුවක්. රටක් ඇතුලේ බෝම්බ බයක් තියෙනව නම් ත්‍රස්තවාදී ආක්‍රමණ සිද්ධ වෙනවා නම්, අභ්‍යන්තර යුධ ගැටුම් තියෙනවා නම් දේශපාලනිකව අස්ථාවර නම් ඒ  රටවල්වල ජනතාවට වෙනත් රටවල්වලට යන්ඩ විසා හම්බවෙන්නේ අඩුවෙන්. ඒ මිනිස්සු ඇවිත් තමන්ගේ රටේ අනව්සරයෙන් නතර වෙයිද වගේ ප්‍රශ්න සත්කාරක රටට දැනෙනවා. 

Image by Gerd Altmann from Pixabay

ඉතිං එහෙම ප්‍රශ්න තියෙන රටවල්වල ගොඩක් වෙලාවට වීසා ප්‍රතික්ෂේප වෙන්න පවා ඉඩ තියෙනවා. 

කණගාටුව කාරණය තමයි ජාත්‍යන්තර වශයෙන් ගත්තහම රටක ඉඳලා වෙනත් රටකට යන්න ගොඩක්ම උවමනාකම තියෙන්න පුළුවන් දුප්පත් ඒවගේම දේශපාලනිකව අස්ථාවරත්වයක් තියෙන රටවල්වල අයට. නමුත් එයාලට ඒක ලේසියෙන් කරගන්න බැහැ ඒ රටවල් වල තියෙන ආර්ථික දුර්වලතාව නිසා.

Image by Christo Anestev from Pixabay

එහෙමයි කියලා හැමදාම මේ ලිස්ට් එක මේ විදිහටම තියෙනවද නෑ. කාලයත් එක්ක මේ ලිස්ට් එකේ රටවල් ඉහලට පහලට වෙනස්කම් වෙනවා. වුවමනාව තියෙනවනම් ආර්ථිකය ශක්තිමත් වෙනවනම් දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු විදියට වර්ධනය වෙලා තියෙනවනම් කිසියම් රටක පාස්පෝට් එකත් බලගතු වෙන්න එක බලපානවා. හොඳම උදාහරණය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය. අවුරුදු 18 කාලය ඇතුළතදී ලිස්ට් එකේ හැට දෙවැනි ්ථානයේ ඉඳලා මේ ලිස්ට් එකේ නමවෙනි ස්ථානය දක්වා ඉහලට ඇවිත් තියෙනවා.

ඉතින් ඒක ඉතාමත් විශාල ජයග්‍රහණයක් ඒක සිද්ධ වෙන්නේ ආර්ථිකය විවෘතභාවයත් එක්ක ආර්ථිකය නිදහසත් එක්ක ආර්ථිකය ශක්තිමත් භාවයත් එක්ක. ඉතින් අලුත් වුණ  පාස්පෝට් එක ගැන සතුටින් ඉන්න වෙලාවේ අලුත් අලුත් රටවල්වලට වීසා ගන්නෙ නැතුව යන්න පුළුවන්කම තියෙනවනම් අපිට තවත් සතුටු වෙන්න පුළුවන්. ඒකට ආර්ථිකය ශක්තිමත්, දදේනිය වැඩි කරගන්න, ආර්ථිකයේ විවෘත බව සහ ජාත්‍යන්තර ආර්ථික කටයුතු ශක්තිමත් කරගන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. 

එලොව පොල් පෙන්වන මෙලොව පොල්

දිල්මිණී හසින්තා අබේරත්න විසිනි

පොඩි කාලේ අපි අහල තියෙන දෙයක් තමයි පොල් ගස  කියන්නේ කප්රුක කියලා. එහෙම කියන්නේ පොල්ගස සිතූ පැතු හැමදේම ලබාදෙන හින්දා නෙමෙයි. ඒ පොල් ගහේ වැඩකට ගන්න බැරි කිසිම දෙයක් නැති නිසා. පොල් ගෙඩියේ ඉඳන් ගත්තහම පොල් කොහු, පොල් කෙඳි, පොල් පරාල, පොල් කොල වගේ මේ හැම දෙයක්ම වැඩකට ගන්න පුළුවන් දේවල්. පොල් ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයන් අතරත් තියෙනවා. ඒ වගේම තවමත් ලංකාව ලෝකයේ ප්‍රධාන පොල් අපනයනකරුවන් අතර ඉන්නවා. පොල් ගැන කතාව ආයෙමත් කරලියට ආවේ ලංකාවේ පොල් මිල එලොව පොල් පෙන්නන්න ගත්ත වෙලාවේ. 

පොල් විතරක් නෙමෙයි කාලෙන් කාලෙට නොයෙක් භාණ්ඩවල හා සේවාවල මිල ඉහළ පහළ යෑම සිද්ධ වෙනවා. හුඟක් වෙලාවට ලංකාවේ තියෙන පුරුද්දක් තමයි භාණ්ඩ මිල ඉහළ ගියොත් ඒ වෙනුවෙන් අතරමැදියෙක් වෙළඳපළට මැදිහත් වෙලා භාණ්ඩයට පාලන මිලක් දානවා. ඒ කියන්නේ දැන් ලංකාවේ පොල් ගෙඩියක් අලෙවි වෙන්නේ රුපියල් 150කට නම් රජය කියනවා රුපියල් 130 තමයි පාලන මිල කියලා. එතනින් එහාට මිලක් නියම කරන්න වෙළඳපළ සාධකවලට බෑ කියලා. හැබැයි ඔය කියන පාලන මිල එච්චර සාර්ථක වෙන්නෙ නෑ. මොකද වෙළඳපළක සුමට ක්‍රියාකාරීත්වය වෙන්නේ නිදහසේ ඉල්ලුම සහ සැපයුම තීරණය වෙන වෙලාවකදි. ඒ නිසා පාලන මිලක් දාපු ගමන් වෙන්නේ වෙළඳපළේ භාණ්ඩ හිඟයක් ඇතිවෙන එක. ඉතින් අද අපි බලමු ලංකාවේ පොල් මිල ඉහළ යන්නේ ඇයි කියලා.

පොල් ගණන් යන්නේ ඇයි?

භාණ්ඩයක මිල ඉහළ යන්න හේතු කීපයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි ඉල්ලුමට සරිලන විදිහට සැපයුමක් නැති එක. ඉතින් පොල්වල මිල ඉහළ යන්න බලපාලා තියෙන්නෙත් ඉල්ලුමට සරිලන විදිහට පොල් සැපයුමක් නැති එක. ලංකාවේ තියෙන්නෙ පොල් අධි ඉල්ලුමක්. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියනවා ලංකාවේ දැනට තියෙන ඉල්ලුම බැලුවාම ලංකාවේ වාර්ෂික පොල් ඉල්ලුම බිලියන 4 වගේ වෙද්දි සැපයුම තියෙන්නේ බිලියන 2.8 - 3 අතර ප්‍රමාණයක් කියලා.

Image by pixagrum from Pixabay

පොල් සැපයුම ප්‍රමාණවත් නොවෙන්නෙත් තවත් හේතු ගණනාවක් නිසා. ලංකාවේ පොල්වලට දේශීය වගේම විදේශීය වෙළඳපලක් තියෙනවා ඒකේ අදහස තමයි අපි වගේම වෙන රටවල්වල අයගේ පරිභෝජනයටත් අපි පොල් අපනයනය කරනවා. හැබැයි ලංකාවේ වැඩිම පොල් පරිභෝජනයක් තියෙන්නේ දේශීය වෙළඳපලේ. ඒ කියන්නේ මුළු නිෂ්පාදනයෙන් 2/3ක්ම යන්නේ දේශීය පාරිභෝගිකයන්ට. 

පොල් ඕන කාටද?

දේශීයව පොල් පරිභෝජනය කරන්නේ විශේෂයෙන්ම ආහාරවලට. ලංකාවේ පොල් සහ ආහාර සංස්කෘතිය අතර තියෙන්නේ ඉතාම තද බැඳීමක්. පොල් කිරි, පොල්තෙල්, පොල් සම්බෝල, පොල් ටොෆි, විනාකිරි, පොල් පැණි, පොල් රා ඇතුළු කියලා නිම කරන්න බැරි තරම් දේවල් පොල් ගසෙන් ප්‍රයෝජන විදිහට ගන්නවා. ඒ ඇරුණම කොසු, ඉඳල්, බුරුසු, පරාල, පොල් කටු හැඳි, පාපිසි, විසිතුරු භාණ්ඩ වගේ දේවල් හදන්නත් පොල් ගස පාවිච්චි වෙනවා.

2021දි පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරලා ලංකාව ඩොලර් මිලියන 836.1 උපයගෙන තියෙනවා. ලංකාවෙන් පිටරටට යවන පොල් සමස්ත නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තම 1/3ක්. ඒවා ඩෙසිකේටඩ් පොල්, පොල් තෙල්, පිටි, පොල් කිරි, විනාකිරි, පොල් වතුර සහ පොල් ගෙඩි විදිහටත් පිටරට යවනවා.

යුරෝපා සංගමයේ රටවල්වලට කරන ඩෙසිකේටඩ් පොල් සැපයුමෙන් 8% ශ්‍රී ලංකාවෙන් තමයි යවන්නේ. ලෝකයේ නැවුම් පොල් සහ වියළි පොල් සැපයුමෙන් 5%  ශ්‍රී ලංකාවෙන් සැපයෙනවා. පොල් සංවර්ධන අධිකාරියේ 2019 වාර්තාවක කියලා තියෙනවා 2018 ලෝක ශ්‍රේණිගත කිරීම අනුව පොල් කොහු සහ කොහු ආශ්‍රිත නිෂ්පාදනවලින් දෙවනි තැනත්, ඩෙසිකේටඩ් පොල් නිෂ්පාදනය අතින් තුන්වන තැනටත් පත් වෙලා කියලා. හුඟක් වෙලාවට විදෙස් රටවල්වලට පොල් යවන ලංකාවේ ආයතන ඉක්මණින් වෙළඳපලෙන් වැඩි ප්‍රමාණයක් පොල් ගන්න නිසා, පොල් අඩු කාලෙකදි ඒක දේශීය වෙළඳපලේ ඉන්න පාරිභෝගිකයන්ට තදින් දැනෙන්න ගන්නවා. ඒකත් එක හේතුවක් වෙනවා පොල් මිල තවත් වැඩි වෙන්න.

පොල් මිල වැඩි වෙන හේතු

Image by Mark from Pixabay

‍සැපයුමට බලපාන එක හේතුවක් වෙන්නේ ඉල්ලුම. ඒක ඇරුණාම පොල් සැපයුමට දේශගුණය, භූමිය, ප්‍රතිපාදන, වගා අධීක්ෂණය, වගා හානි වගේ දේවලුත් බලපානවා. සමකයට ආසන්න රටවල්වල සාරවත්ව හැදෙන පොල්වලට මුහුදුබඩ ප්‍රදේශවල තියෙන පස හිතකරයි. ලංකාවේ පොල් ත්‍රිකෝණය (කුරුණෑගල, පුත්තලම, ගම්පහ) කියන්නේ ඒ වගේ වැඩිපුර පොල් වගාව තියෙන ප්‍රදේශ. ඒ ඇරුණාම කුඩා පොල් ත්‍රිකෝණ දකුණු කළුතර සහ තංගල්ල ආශ්‍රිතවත්, යාපනය, මන්නාරම සහ මුලතිව් ආශ්‍රිතවත් දකින්න ලැබෙනවා.

කාලයත් එක්ක පොල් ඉඩම් වෙනත් වාණිජ කටයුතුවලට යොදා ගැනීම නිසා ප්‍රමාණවත් පොල් සැපයුමක් පවත්වා ගන්න එකට බාධා වෙනවා. ඒ වගේම ලෝකයේ සාමාන්‍ය පොල් ගසක ඵලදාව ගෙඩි 100 වුණත් ලංකාවේ ඒ ගණන ගෙඩි 60 වගේ ප්‍රමාණයක්. ලංකාවේ සමස්ත පොල් නිෂ්පාදනයෙන් 75% ඉන්නේ කුඩා පරිමාණ පොල් වතු හෝ පොල් වගාකරුවෝ. එයාලා අතර විධිමත්ව, හොඳ අවබෝධයෙන් මේ වගාව කරන අය වගේම එහෙම නැති අයත් ඉන්නවා. ඒ නිසා ඵලදාව වැඩි කර ගන්න ක්‍රම, පොහොර යෙදීම, අධීක්ෂණය, හානි වළක්වා ගැනීම කියන දේවල්වලින් තවදුරටත් ලංකාවට කරන්න දේවල් ගොඩක් තියෙනවා.  

පොල්වල අනාගතය

පොල් ඉල්ලුම වැඩි වෙලා සැපයුම අඩු වෙලාවක අපි හිතන්න ඕන තව දෙයක් තමයි නාස්තිය අඩු කරලා වැඩි කාර්‍යක්ෂමතාවකින් පොල් පරිභෝජනය කරන්නේ කොහොමද කියන එක. ගමේ ගෙවල්වල පොල් ගස් කීපයක් තියෙන්නෙ පුළුවන් වුණාට හුඟක් නාගරික අයට එහෙම නෑ. ඒ නිසා ලංකාවේ ආහාර රටාවත් එක්ක එයාලා මේ ප්‍රශ්නෙට ගොඩක් මුහුණ දෙනවා. 
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියලා තියෙනවා පොල් වගාවේ වාසි ලබා ගන්න නම් පොල් වගාව ව්‍යාප්ත කිරීම, වැඩි ඵලදාවක් ලබා දෙන ප්‍රභේද හඳුන්වා දීම, පොල් වතුර සඳහා වෙළඳපළ ඉල්ලුම ප්‍රවර්ධනය කිරීම, වගාව සඳහා අවශ්‍ය වන පහසුකම් රට පුරා ඇති කිරීම කියන දේවල් ගැන හිතන්න ඕන කියලා. ලංකාව දැනටමත් පොල් අපනයනය කරන රටක් නිසා එය වඩා වර්ධනය කර ගන්න එක ලංකාවේ ආර්ථිකයටත් වාසිදායක වෙනවා. විශේෂයෙන්ම වෙනත් අපනයන ආදායම් උපයන ඇඟලුම් වගේ  කර්මාන්තවලට සාපේක්ෂව පොල් වගාව වෙනුවෙන් පිටරටින් ආනයනය කරන්න ඕන යෙදවුම් තියෙන්නේ අඩුවෙන්. ඒ නිසා පොල් වගාව නවීන තාක්ෂණය, දැනුම සහ පැහැදිලි සැලැස්මක් ඇති ව කිරීමෙන් අනාගතයේදී අනවශ්‍ය ආකාරයේ සැපයුම් බිඳ වැටීම්, හිඟයන්, මිල ඉහල යාම් වළක්වා ගන්න පුළුවන් වෙයි. 

ගත් ණය එනවා අපි පසුපස්සේ

- දිල්මිණී හසින්තා අබේරත්න විසිනි

ලංකාවේ සෑහෙන කාලෙක ඉඳන් තියෙන ප්‍රශ්නයක් තමයි එන්න එන්න වැඩි වෙන ණය. හැබැයි මේ දවස්වල ණය කතාව ආපහු එළියට ඇවිත් තියෙනවා. මොකද අලුත් ජනාධිපති කෙනෙක් පත්වෙලා හුඟක් දේවල්වල වෙනසක් බලාපොරොත්තුවෙන් ඉදිද්දි ඇයි මේ ආයෙමත් ලංකාව ණය ගන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් කවුරු බලයට ආවත් ලංකාවට සම්පූර්ණයෙන්ම ණය ගන්න එක නතර කරන්න අමාරුයි කියලා ඔයාලා දැන ගෙන හිටියද?

පහුගිය අවුරුදුවල ලංකාවේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වෙලා, මිනිස්සු දවස් ගණන් පෝලිම්වල බලාගෙන හිටියා. එහෙම වුණේ ලංකාවට ගත්ත ණය ගෙවා ගන්න බැරුව ගිහින්. අන්තිමට එදා වේලට ඕන කරන දේවල්වලටවත් ගෙවා ගන්න බැරුව  භාණ්ඩාගාරය හිස් වෙලා ගියාට පස්සේ ලංකාව බංකොලොත් වුණා. ඒක අපි දන්න කතාව. ඒක දන්න නිසාම ආයෙමත් ඒ අතීතෙට යන්න අපි කවුරුත් බයයි. එහෙම තියෙද්දිත් ණය ගෙවා ගන්න බැරුව, ණය ප්‍රතිව්‍යුහගතකරණය කර කර ඉන්න වෙලාවක ඇයි ආයෙමත් ලංකාව ණයගන්නේ  කියන එක කතා කරන්නම ඕන මාතෘකාවක්.

ණය ගන්නේ කොහොමද?

ඉතින් අපි හැමෝම දන්නවා ණය ගත්තහම අපිට පොලියක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ගත්ත ගාණට වඩා වැඩි ප්‍රමාණයක් අපිට පොලියත් එක්ක ගෙවන්න වෙනවා. රටකට ණය ගන්න පුලුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි දේශීය ණය සහ විදේශිය ණය.

මේ දෙකෙන් දේශීය වශයෙන් ගන්න ණය තරමක් දුරට වාසිදායකයි. මොකද ඒවා ආපහු ගෙවන්න ඕන දේශීය මුදල් ඒකකයෙන්, රුපියල්වලින්මයි. ඒ වුණාට අපි විදේශීය රටවල්වලින්, විදේශීය ආයතන හෝ සංවිධානවලින් ගන්න ණය ගෙවන්න වෙන්නෙ විදේශීය මුදල් ඒකකවලින්. ඒවායේ පොලිය වුණත් එහෙමයි. ලංකාවේ ආර්ථික අර්බුදය වෙලාවේ රුපියල අවප්‍රමාණය වෙලා තිබුණේ. ඒ වගේ වෙලාවක විදේශීය ණය පියවීම රටකට විශාල බරක් වෙනවා. 
සාමාන්‍යයෙන් දේශීය ණය ගන්නේ භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර විදිහට. කෙටිකාලීනව නම් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ණය ලබා ගන්නවා. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ණය ලබා ගන්නේ දිගුකාලීනව පියවන්න හිතාගෙන. මේ දිනවල ණය ගන්නවා කියන්නේ මේ විදිහට දේශීය වශයෙන් භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ණය ගන්න එකට.

මූලාශ්‍රය: මුදල් අමාත්‍යංශය (2024)

ඇයි එහෙම ණය ගන්නේ?

සාමාන්‍යයෙන් අපි ණයක් ගන්නේ ගෙයක් හදන්න, වාහනයක් ගන්න වගේ දේකට. එතකොට ඒ ණය යෙදෙව්වේ මොකටද කියලා කෙනෙක්ට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. ඒත් මේ දවස්වල මුකුත් එහෙම ණය අරන් කරන දෙයක් පේන්න නෑනේ. ඒකට හේතුව, ණය ගන්න වෙලා තියෙන්නේ කලින් ගත්ත ණයවල පොලිය ගෙවන්න.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව (2024)

ලංකාවේ ගෙවුම් ශේෂයේ හිඟයක් තියෙන්නේ අද ඊයේ ඉඳන් නෙවේ. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේම ලංකාවේ ආදායමට වඩා වියදම වැඩියි. මේ වියදම පියවගන්න පහසුවෙන්ම කරන්න පුළුවන් දේ තමයි ණය ගන්න එක. ඉතිං හැම අවුරුද්දකම වගේ  ලංකාවේ වියදම් පියවා ගන්න බැරි වෙනකොට ණය අරගෙන තියෙනවා. මේ විදිහට දිගින්  දිගටම ගන්න ණයයි ඒවායේ පොලියයි එකතු වෙලා අපිට හැමදාමත් රටක් විදිහට තවත් ණය අරන් ඒවා පියවන්න වෙලා තියෙනවා. ඔන්න ඔය කතාව තමයි හැම ආණ්ඩුවක් යටතේම ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ. ඒකයි අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉතාමත් කෙටි කාලයක් යටතේ වුණත් ආයෙ ආයෙම ණය ගන්න වෙලා තියෙන්නේ. 

එහෙනම් ආයෙත් සල්ලි අච්චු ගහනවද?

අපොයි නෑ, ඒක දැන් ඉස්සර වගේ ලේසි නෑ.  2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ එහෙම හිතෙන හිතෙන වෙලාවට සල්ලි අච්චු ගහන්න බෑ. ඒක අපි අතීතයෙන් ඉගෙන ගත්ත පාඩමක්. කලින් වතාවේ අසාමාන්‍ය විදිහට මුදල් අච්චු ගහපු නිසා ලංකාවේ උද්දමනය දරන්න බැරි මට්ටමකට ඉහළ ගියා. ඒ නිසා මේ වෙලාවේ කරන්නේ දේශීය වශයෙන් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරලා ණය ලබා ගන්න එක විතරයි. 

එතකොට මොකක්ද මේ ණය ප්‍රතිව්‍යුහගත කළා කියන්නේ?

ණය ප්‍රතිව්‍යුහගත කළා තමයි. ඒ විදේශීය ණය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකතු වෙලා ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න විදේශීය ණය හිමියන් එක්ක සෑහෙන සාකච්ඡා වට ගාණක් ගිහින් දැන් ඒ වැඩේ අවසාන අදියරට ඇවිත් තියෙන්නේ. ඒත් ඒ  ප්‍රතිව්‍යුහගත කළේ විදේශීය ණය විතරයි. ඒ නිසා විදේශීය ණය ගෙවීම මේ වෙද්දි අත්හිටුවලා තමයි තියෙන්නේ. ඒත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වුණේ නැති නිසා ඒ ගෙවීම් දිගටම කරන්න ඕන. 

ණය ගන්න ණය ගෙවන මේ සංසාර චක්‍රයෙන් ගොඩ එන්න විදිහක් නැද්ද? 

ඒක මේ දැන් ආර්ථිකය තියෙන විදිහටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම කළොත් වෙන්නේ හිල් කලයෙන් වතුර අඳිනවා වගේ වැඩක්. මුලින්ම කරන්න ඕන ආර්ථිකයෙන් නාස්ති වෙලා අපතේ යන සල්ලි ටික ඉතුරු කර ගන්න විදිහක් බලන එක. ඒකට තමයි ආර්ථිකයකට ප්‍රතිසංස්කරණ ඕන වෙන්නේ. මිනිස්සුන්ගේ සල්ලි ගිලගන්න අකාර්‍යක්ෂම ආයතන, හැම අවුරුද්දෙම පාඩු ලබලා අපේ බදු සල්ලිවලින් දුවන ආයතන, අකාර්‍යක්ෂම සේවකයන්, නිලධාරීවාදය, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වංචා වගේ හැමදෙයක්ම වෙනස් වෙන්න ඕන. ඒ වෙනසත් එක්ක අපිට පුළුවන් වෙයි රටක් විදිහට ආර්ථිකය හරි පාරට ගන්න වගේම ණය ගන්න එක පාලනය කරලා ණය බර අඩු කර ගන්න.  





මේ ඔක්කොටම මුල දූෂණයද? 

ඩැනියෙල් අල්ෆොන්සස් විසින් Daily FT වෙත ලියූ ලිපියකි | පරිවර්තනය දිල්මිණී හසින්තා අබේරත්න 

හොරු අල්ලන්න ඕන - හොරා කාපු සල්ලි ආපහු අය කර ගන්න ඕන කියන කතාව තමා කාලෙක ඉඳන් අපිට අහන්න ලැබෙන්නේ. ලංකාව හතර අතින් ඇහෙන මේ කන්නලව්වට ආගම, ජාතිය, භාෂාව කියන කිසිම දෙයක්වත් කුලගොත්වලින්වත් භේදයක් නෑ. හැමෝම පොදුවේ කියන කතාව මේක. අපේ මේ දුක් අදෝනාවලට හේතුව වුණේ දූෂණ - වංචා. මේකෙන් ගැලවීමක් ලැබෙන්නේ ඒ  දූෂණ - වංචා කරපු හොරු අල්ලලා, වංචනිකයෝ කොල්ලකාගත්ත දේවල් ආයෙම මහජනතාවගේ අතට ලැබුනාම කියලයි හිතන් ඉන්නේ.  

Image by Azmi Talib from Pixabay

අපොයි, එහෙමයි කියලා මේ විසඳුමෙන් නම් සැනසීමක් ලැබෙන්නේ නෑ. හොරකම් කරපු සල්ලිවලින් වැඩි හරියක් ලංකාව ඇතුලෙදිම ඒ ඒ හොරා කාපු අයගේම කැම්පේන්වලට වියදම් වුණා. බිලියන ගණන්වලින් රටින් පිටට ඇදිලා ගිය ජනතාවගෙන් හොරා ගත්ත සල්ලි වුණත් ආයෙමත් අය කර ගන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. හොරකම් කරපු වත්කම් යළි ලබා ගැනීම ගැන ලෝක බැංකුවෙන් ඉදිරිපත් කරපු වාර්තාවක මේ ගැන කියලා තියෙන්නේ ‘Few and Far Between’ කියලා. ඒ කියන්නේ ඉතාම කලාතුරකින් සිද්ධ වෙන දෙයක් හරි ඉතාම දුර්ලභ දෙයක් කියන අදහස. ඒකේම කියනවා 2006 - 2012 කාලෙ ඇතුලේ හැම සංවර්ධිත රටක්ම ගත්තොත් එයාලාට හොරකම් කරපු වත්කම්වලින් අය කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 423ක් විතරයි කියලා (1). හොරකම්වලට සම්බන්ධ වුණ අයට දඩුවම් කළා කියලා විතරක් මේ හොරකම් ඉස්සරහට සිද්ධ වෙන එක වළක්වන්න අමාරුයි. 

Image by vocablitz from Pixabay

ඇත්ත කතාව මේකයි. ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුව දූෂණයම නෙවේ. ඒකට ලොකුම බලපෑමක් කරලා තියෙන්නේ දුර්වල තීන්දු තීරණ. මේ ගැන අදහස් දක්වන මුර්තසා ජැෆර්ජි මහත්මයා කියන විදිහට අර්බුදයට හේතුව හොරකම නෙවෙයි දුර්වල කලමණාකරණය. 

අපි දූෂණය ගැන කතා කලොත්, ඒකෙන් අපිට තේරුම් ගන්න බෑ ඇයි ලංකාව වැඩි පොලී අනුපාතවලට විදෙස් මුදල්වලින් ණය ගත්තේ කියලා. ඒ වගේම ඒ සල්ලි යොදවලා ඵලක් නැති, ලාභ නොලබන ව්‍යාපෘති කලේ ඇයි කියලා. ඒ වගේම දූෂණය කියන කාරණයෙන් පැහැදිලි වෙන්නේ නෑ ඇයි ලංකාව මෙච්චර කාලයක් විශාල ආරක්ෂක වියදමක් දරන්නේ කියලා, ඩොලර් මිලියන 500ක් වටින MCC (Millenium Challenge Cooperation) ගිවිසුම, සැහැල්ලු දුම්රිය ගමනාගමනය LRT (Light Rail Transit)  ව්‍යපෘතිය අත් ඇරියේ කියලා. ඒ වගේම කාබනික පොහොර ප්‍රතිපත්ති, රුපියල එක අගයක හිර කරගෙන හිටිය එක, බංකොලොත් වෙලා ඉද්දි බදු ආදායම අඩු කර ගත්තේ ඇයි කියන මේ කිසි දේකට දූෂණය කියන එකෙන් පැහැදිලි උත්තරයක් දෙන්න බෑ. කොටින්ම කිව්වොත් ඒකෙන් ලංකාවේ ආර්ථික අර්බුදයට බලපාපු ප්‍රධාන හේතු එකක්වත් හරියට විස්තර කරන්න බෑ. ඒ ඇරුණාම 1970 කාලේ එන්.එම්.පෙරේරා මහත්තයාගෙයි සිරිමා බණ්ඩාරණායක මහත්මියගෙයි ප්‍රතිපත්ති හින්දා ඇති වුණ ආර්ථික අර්බුදය විස්තර කරන්නත් දූෂණය කියන කාරණයෙන් බෑ. එහෙම බැලුවම අර්බුදයට එක හේතුවක් නෑ. එතන තියෙන්නේ දුර්වල තීන්දු තීරණ සහ අහංකාරකම නිසා ඇති වුණ අනාරක්ෂිත බව. 

මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය, නෙළුම් කුළුණ සහ මත්තල ගුවන් තොටුපල කියන ව්‍යාපෘති සලකලා බලද්දි ඒවාට ඩොලර් බිලියන 2කට වඩා වියදම් වෙලා තියෙනවා. ඒවායින් සමහර මුදල් හොරකම් කරලා තියෙනවා. ඒ තමා අපේ දේශපාලනයේ, ආයතනවල සහ ගුණධර්මවල තියෙන දුර්වලකම. ඒ වුණත් මේ කියන වංචා දූෂණ නෙවෙයි ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතු සාධකය (2). 

නාස්තිය නිසා වෙච්ච අර්බුදේ  

Image by Carlos Lincoln from Pixabay

නාස්තිය, ආර්ථික අර්බුදයට බලපාපු එක හේතුවක්. අපි කරපු සමහර ව්‍යාපෘති කිසිම ලාභයක් නැති, අඩු තරමේ ගත්ත ණය ටිකවත් පියව ගන්න බැරි නාස්තිකාර ඒවා. ලංකාවේ යුද්ධය ඉවර වුණ එක, රට මැදි ආදායම් කාණ්ඩයට ආව එක වගේම ලෝක ආර්ථිකයේ පොලී අනුපාත පහළ වැටීමත් එක්ක වෙළඳපලේ ඇති වුණ මුදල් සුලබතාව හරියට පලවෙනි වතාවට ලංකාවට ක්‍රෙඩිට් කාඩ් එකක් හම්බ වුණා වගේ වැඩක් වුණා. අපි ඒ  ක්‍රෙඩිට් කාඩ් එකෙන් අනාගතය ගැන හිතලා ආයෝජනය නොකර ඔහේ හිතුමතේ වියදම් කළා. නෙළුම් කුළුණයි මත්තල ගුවන් තොටුපලයි කියන්නේ ඒ වගේ නාස්තිකාරම ඵල රහිත ව්‍යාපෘති දෙකක්. මොරටුව විශ්වවිද්‍යාලයෙන් කරපු අධ්‍යයනයකින් හොයා ගෙන තියෙනවා මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයෙන් අපේ ආර්ථිකයට ලැබෙන්නේ සෘණාත්මක බලපෑමක් - පාඩුවක් කියලා. එහෙම බැලුවම ඒ අධිවේගී මාර්ගයෙන් අපි ඇත්තටම යන්නේ කොයි පැත්තටද? මේ කාලේ රජයේ රස්සා පුළුවන් තරම් වැඩි කළා. ඒකෙන් නඩත්තු කරන්න බැරි තරම් විශාල රාජ්‍ය අංශයක් ඇති වුණා. ඒක හොඳටම තේරෙනවා ‘සංවර්ධන නිලධාරී’ තනතුරුවලින්. අපිට තවත් සෑහෙන කාලයක යනකම් ඒ මිනිස්සුන්ගේ පඩි නඩි වගේම විශ්‍රාම වැටුප් ගෙව ගෙව ඉන්න වෙනවා.  

අපි කතා කරපු මේ හැම දෙයක්ම වළක්වා ගන්න නම් අපිට කරන්න තිබ්බේ යුද්ධෙන් පස්සේ අපි දිගින් දිගටම ගත්ත ණය වාසිදායක, ලාභදායී ව්‍යාපෘතිවලට යොදවන්න. ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කරන්න අවශ්‍ය සැහැල්ලු දුම්රිය ගමනාගමනය ක්‍රම, අපනයන සංවර්ධනය වෙනුවෙන් කාර්මික කලාප,  විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM - Science, Technology, Engineering, and Mathematics) ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම, වගේම කෘෂිකර්මාන්තය නවීකරණය කරන්න ඒ ණය මුදල් යොදා ගන්න තිබුණා. එහෙම කළා නම් රටේ ආර්ථිකය වර්ධනය කර ගන්නත්, බදු ආදායම වැඩි කරගන්න වගේම අපේ ණය තුරුස් ගෙවා දාන්නත් පුළුවන්කම ලැබෙනවා.    

දූෂණ වංචා ඔය විදිහෙන්ම තියෙද්දි වුණත් ආර්ථිකයේ මීට වඩා හොඳ වෙනසක් කරන්න තිබුණා. උදාහරණයක් විදිහට මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය හදන වෙලාවේ කොළඹ - කුරුණෑගල අධිවේගී මාර්ගය හදන්න තිබුණා. නෙළුම් කුළුණ හදන වෙලාවේ කැලණිවැලි දුම්රිය මාර්ගය හරියට හදන්න තිබුණා. මේ දේවල්වලින් වුණත් වංචා කරන්න දූෂිතයන්ට ඕන තරම් පුළුවන්කම තියෙනවා. ඒත් මේ විදිහට දේවල් වෙනස් වුණා නම් සාමාන්‍ය ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභයක් ලැබෙන්න තිබුණා. ආර්ථිකයේ වර්ධනයක් එක්ක ජනතාවගේ ජීවන මට්ටම් ඉහළ යන්න තිබුණා. දූෂිතයන්ට පවා තමන්ගේ ප්‍රතිරූපය, ජනප්‍රිය බව දියාරු වෙන්න නොදී ජනතාවගේ හොඳ හිත දිනා ගන්න තිබුණා තත්ත්වය මේ විදිහට වෙනස් වෙලා තිබුණා නම් (3).  

Image by Ivča from Pixabay

ඒ තර්කය ඉදිරිපත් කරන්න පදනම වෙන්නේ සරල උදාහරණ කීපයක්. නිකමට හිතන්න, බිලියන ගණනක් ණයට ගනිද්දි ඔය කරලා තියෙන  වංචා - දූෂණ, අකාර්‍යක්ෂම රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන යන්න, අතිවිශාල ආරක්ෂක වියදමක් දරන්න වියදම් නොකර, ලාභයක් ලැබෙන ව්‍යාපෘතියකට යෙදෙව්වා නම් මොකද වෙන්නේ කියලා. එහෙම වුණා නම් ලංකාවටත් තිබුණා කලාපයේ ඉන්න සමහර රටවල් වගේ දියුණු වෙන්න. ඒ විදිහට තත්ත්වය වෙනස් වුණා නම් කොච්චර පෝසත් සහ දූෂිත දේශපාලනඥයෝ හිටියත් අපේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙන්නෙත් නෑ.

සංවර්ධනය වෙමින් තියෙන රටවල් දිහා බලලා හරියටම ලංකාවේ තත්ත්වය මැනලා බලන්න බැරි වුණත්, 1980 සහ 1990 කාලවල තමිල්නාඩුව, චීනය සහ අග්නිදිග ආසියාවේ බොහෝ රටවල් එක්ක බලද්දි ලංකාව ඒ තරම් දූෂණය වෙලා නෑ. Billionaire Raj කියන පොතේ ජේමිස් ක්‍රැබ්ට්‍රී කියලා තියෙනවා දූෂණය කියන කාරණය දකුණු ඉන්දියාවේ සාර්ථකත්වයට බාධාවක් නෙවෙයි කියලා. 

Image by jorono from Pixabay

“ජයලලිතා මිය යන වෙලාව වෙද්දිත්, අතලොස්සක් ඇරෙන්න හැමෝම වගේ කිව්වේ ජයලලිතගේ ප්‍රාන්තය පුරා පැතිරිලා තිබ්බේ දූෂණ වංචා” කියලයි. උසාවි වාර්තාවලින් ඔප්පු වුණා ඇයගේ වත්කම ඩොලර් මිලියන 10කට ආසන්නයි කියලා. එතුමියට සහය දක්වන පිරිස් නිතරම කිව්වේ දිල්ලියේ ඉන්න දේශපාලනඥයෝ ඔයිටත් වඩා මුදල් ගසා කාලා තියෙනවා කියලා. කොහොම වුණත් ඒ කියන දේශපාලනඥයෝ හම්බ කරගෙන තිබුණ දේවල් ජයලලිතා සහ ඇගේ සෙසු තමිල්නාඩු නායකයන් තමන්ගේ දේශපාලන ව්‍යාපාරවලට යොදවපු මුදල්වලට වඩා අඩුයි. ඒ තරම් වංචා දූෂණ තියෙද්දි වුණත් ජයලලිතා ඇතුළු පිරිස, දිල්ලිය පවා කඩා වැටෙන වෙලාවකදි වුණත්, තමන්ගේ ප්‍රාන්තයේ ආර්ථිකය කඩා වැටෙන්න දුන්නේ නෑ 

ඉන්දියාවේ තියෙන ගජමිතුරු ධනවාදය නිසා උතුරු ඉන්දියාවේ තියෙන දුප්පත් ප්‍රාන්තවලට වඩා  දකුණු ඉන්දියාවවේ කේරළ, තමිල්නාඩු, කර්නාටක, තෙලන්ගානා සහ ආන්ද්‍ර ප්‍රදේශ් කියන ප්‍රාන්ත පහ වෙනස්. කේරල ප්‍රාන්තය ඇරුණාම අනිත් හැම දකුණු ඉන්දියානු ප්‍රාන්තයක්ම හරිම දූෂිතයි. වැඩියෙන්ම  දූෂිත කියලා සලකන්නේ කර්නාටක  ප්‍රාන්තය. දූෂිත මට්ටම අතරින් ආන්ද්‍ර ප්‍රදේශ් සහ තමිල්නාඩුව තරමක් සමානයි. ඒත් මේ කියන ප්‍රාන්ත පවා ආර්ථිකමය වශයෙන් සාර්ථකයි. ඒවායේ , සංවර්ධන මට්ටම් සසඳන්න පුළුවන් වෙන්නේ උප සහරා අප්‍රිකානු රටවල් එක්ක නෙවෙයි - අග්නිදිග ආසියා රටවල් එක්ක. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකු විදිහට වැඩ කරන දේවේෂ් කපූර් පැහැදිලි කරනවා, 'දකුණේ දේශපාලනඥයන් සොරකම් කිරීමට ඉගෙන ගත්තේ ආර්ථිකය ද පුළුල් කරමිනි. උතුරු ඉන්දියාවේ අය තමන්ට හැකි උපරිම ප්‍රමාණයෙන් තමන්ට හම්බ කරගත්තා මිසක් කාටවත් කිසිම දෙයක් ඉතුරු කලේ නැත” කියලා.

නුවණක්කාර ප්‍රතිපත්ති තීරණ ගන්නේ කොහොමද? 

Image by Gerd Altmann from Pixabay

අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි දූෂණය අඩු කරන්න අපි කරන්න ඕනේ මොකක්ද කියන එක. ඒක හොඳ ප්‍රශ්නයක්. ඒත් එක්කම අහන්න ඕන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ‘අපි කොහොමද බුද්ධිමත් තීරණ ගන්නේ කියන එක’. ඒවට දෙන්න තියෙන උත්තර නම් සරල කෙටි ඒවා නෙවෙයි. ඒත් ඒ අතරින් එක උත්තරයක් අරන් බැලුවොත් අපිට පුළුවන් ආර්ථිකයේ අපිට වැරදුණු සමහර තැන් හරිගස්සන්න. 1978 ඉඳලම ආර්ථිකයේ තීන්දු තීරණ ගන්න බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. මෑතකදි හඳුන්වා දුන්න මහ බැංකු පනතින් ජනාධිපතිවරයාගේ ඒ බලය යම් දුරකට අඩු කළා. ඒත් විධායක ජනපති කියන කෙනා සියල්ලටම වඩා බලවත්, සර්ව බලධාරී වගේ ආර්ථිකය ඇතුලෙත් බලය පතුරුවාගෙන ඉන්නවා. උදාහරණයක් විදිහට, මුදල් ඇමතිවරයාට පුළුවන් තමන්ට ඕන ඕන විදිහට බදු වෙනස් කරන්න. ඒ වගේ අසීමාන්තික බලයන් ඉවත් කරන එක මේ සිස්ටම් චේන්ජ් එකේ මුල්ම පියවරක් කිව්වොත් වැරදි නෑ. මොකද අපි හිතා ගන්න බැරි තරම් බලයක් එකම එක මනුස්සයෙක්ට දීලා තියෙනවා. ඒ තනතුරට හොඳටම ගැලපෙන කෙනෙක්ට වුණත් ඒ යටතේ තියෙන්නේ ඉතාමත් විශාල සහ භාරදූර වගකීමක්. ඒ නිසා ඒ කියන බලය එක කෙනෙක් වටේ සංකේන්ද්‍රණය වෙනවට වඩා සමූහයක් අතර බෙදිලා යන විදිහට පාර්ලිමේන්තුවේ පිරිසගේ සාමූහික තීරණ ගැනීම යටතට පත් කරන්න ඕන. 

විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා එක මනුස්සයෙක් අතේ අසීමිත බලයක් පැටවෙන එක නැති කරපු ගමන්ම ඉතාමත් හොඳ ප්‍රතිපත්ති තිරණ ඇති වෙයි කියලා හිතන්න බෑ. ඒත් ඒකෙන් ඉස්සර ජයවර්ධන සහ රාජපක්ෂ ජනපතිවරුන් අතින් සිද්ධ වුණ ජාතියේ වැරදි වෙන්න තියෙන ඉඩ අඩු වෙනවා. 

හරියටම හරියන ප්‍රතිපත්ති හදන එක බොහොම සංකීර්ණ වැඩක්. ඒ වගේ දෙයක් කරන්න ගුණාත්මක සිවිල් සේවයක්, බුද්ධිමත් දේශපාලනඥයින්, අවදියෙන් ඉන්න මාධ්‍ය වගේම විධිමත් විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙන්න ඕන. ටිකක් අමාරුයි වගේ පෙණුනට මේ දේවල් කරන්න බැරිකමක් නෑ. ඒ අතරින් කඩිනමින් කරන්න පුළුවන් දේවල් තමයි:

Image by F1 Digitals from Pixabay

  • පරිපාලන සේවා සහ නීති විද්‍යාල ප්‍රවේශය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගවල සිදුවන අක්‍රමිකතා නිවැරදි කර එම විභාගවල ගුණාත්මක බව වැඩි කිරීම

  • මනුෂ්‍ය වර්ගයාට තරඟ කිරීමට සහ ජයග්‍රහණය කිරීම උදෙසා සාරවත්බව, කැපවීම සහ අභිලාෂය ඇති පිරිමින්ට සහ කාන්තාවන්ට හැකිවන පරිදි මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම. මිශ්‍ර මන්ත්‍රී ක්‍රමය ආරක්‍ෂිත ආසන ක්‍රමයක් නිර්මාණය කිරීමට සහ පක්ෂ ලැයිස්තු ප්‍රමාණය වැඩි කිරීමට උපකාරී වේ. 

  • ප්‍රාග්ධන ප්‍රවාහය තීරණය කරන බැංකු සඳහා අප දැනටමත් කර ඇති පරිදි, තොරතුරු ගලායාම තීරණය කරන මාධ්‍ය ආයතන සඳහා හිමිකාරිත්වය සහ හෙළිදරව් කිරීමේ අවශ්‍යතා නීතිගත කිරීම. 

  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නවීකරණය කිරීම, පත්වීම් වඩාත් විවිධාකාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත් කිරීම

පොදු සම්පත් නාස්ති නොකර බුද්ධිමත්ව පාවිච්චි කිරීමට අමතරව රජය ආර්ථිකයට තියෙන බාධාවන් ඉවත් කරන්න ඕන. ඒකේ අදහස වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම, තීරුබදු අඩු කිරීම, සාධක වෙළඳපලවල් ප්‍රතිව්‍යුහගත කිරීම වගේ දේවල් කරන්න වෙනවා කියන එකයි. මේ කියන වෙනස්කම් හැම එකක්ම වැඳගත්. ඒත් අද සටහනේ අරමුණ ඒවා ගැන කතා කරන එක නෙවෙයි.  IMF වැඩසටහන වැඳගත් එකක් වුණාට ඒකෙන් විතරක් අපිට සෑහීමට පත් වෙන්නත් බෑ.  

ඇත්තෙන්ම දූෂණය කියන්නේ පරිහානියට හේතුවක්. ඒ නිසයි සදාචාරය සලකලා දූෂණයට නීතියේ ආධිපත්‍යයෙන් උපරිම දඩුවම් ලැබෙන්න ඕනෙත්. ඒ වුණත්, දූෂණයට වඩා මම බය වෙන්නේ දුර දිග නොබලා ගන්න මෝඩ තීරණවලට. ලංකාව ඉස්සරහට ආයෙමත් කඩා වැටෙන්නේ නෑ කියලා තහවුරු කරන්න නම්, සදාචාරයටත් වඩා වැඳගත් පියවර වෙන්නේ වැරදි තීරණ ගන්න ක්‍රමය වෙනස් කරන එකයි.  

වාසනාවකට වගේ, දූෂණයට එරෙහිව සටන් කිරීමත් මෝඩකමට එරෙහිව සටන් කිරීමත් අතර ගැටුමක් නෑ. ඒ දෙකටම බලපාන හේතු සමානයි: ඉතා සුළු පිරිසකගේ අතේ ඕනෑවට වඩා බලය සංකේන්ද්‍රණය වී තිබීම, නිපුණතාවයට වඩා පක්ෂපාතීත්වය අගය කරන දේශපාලන සංස්කෘතියක් තිබීම සහ මෝඩකම සහ දුෂ්ටකමට පාර හදලා දෙන ආයතන ඒ අතර තියෙනවා. දූෂිතයන් හිරේ දාන එක ඇරුණාම සැබෑවටම සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ සාකච්ඡාමය ආයතන නවීකරණය කිරීම වගේ දේවල්වලට. ඒ වගේම සිස්ටම් චේන්ජ් කියන්නේ අදහස්වලට. අපේ හිත් නිදහස් කර ගත්තාමයි අපට කරුණු මත ඉඳලා න්‍යායාත්මකව නෙවෙයි ප්‍රායෝගිකවම ඇත්ත මොකක්ද කියලා හොයා ගන්න පුළුවන් වෙන්නේ. 

(1) https://star.worldbank.org/blog/fifteen-years-star In its 15 years of existence the Bank’s much vaunted StAR unit only succeeded in freezing or recovering $1.9 billion. For context, Sri Lanka’s external debt alone, standing at $36 billion, is more than 18 times greater than this sum.

(2)  බොහෝ දුරට භාවිතයට නොගත් ඩොලර් මිලියන 164 මැදවච්චිය-මන්නාරම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සමාන අනුවණ ක්‍රියාවකි.

(3)  වර්ධනයත් සමඟ අනාගත ව්‍යාපෘති සඳහා ඔහුගේ 10% ත්‍යාගය වැඩි වනු ඇත.

වෙළඳපළේ වැට කඩොලු සහ ලංකාවේ නාගරික නිවාස සිහිනය

අශාන්ති අබයසේකර සහ යස්මින් රාජිගේ ලිපියක් ඇසුරින් කළ දිල්මිණී අබේරත්නගේ අනුවර්තනයකි.  


කොළඹ විතරක් නෙවෙයි ඒ ළඟපාත තියෙන අනිත් තැන්වලත් ගෙවල්වල ගණන් බැලුවම පේන්නේ ලංකාවේ වැඩි දෙනෙක්ට, ගෙයක් ගන්න එක, හදන එක හීනයක් වෙලා කියන එකයි. අපේ රටේ මිනිස්සුන්ගෙන් 70%කටම තමන්ගේ ජීවිත කාලය ඇතුලේදි වර්ග අඩි 500ක පොඩි ගෙයක්වත් හදාගන්නවත් සල්ලිවලට ගන්නවත් පුළුවන්කමක් නෑ කියලා Advocata ආයතනයෙන් කරපු අධ්‍යයනයකින් (රිසර්ච්) හෙළිදරව් වුණා. කොහොම වුණත්, ඉන්න හිටින්න තැනක් හදාගන්න එක මේ තරම් අමාරු වුණේ ඇයි කියලා අපි මේ ලිපියෙන් කියනවා. 

unsplash-image-mE9PgAS96O8.jpg

Advocata ආයතනය 'ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම සඳහා ඉදිකිරීම් කර්මාන්තයේ තරඟකාරී නොවන පිළිවෙත්වල බලපෑම' කියලා ළඟදි දවසක රිසර්ච් එකක් කළා. ඒකෙදි දැන ගන්න ලැබුණා ඇයි ලංකාවේ ගෙවල් මෙච්චර ගණන් කියලා. එක හේතුවක් තමයි සීමාකාරී වෙළඳ ප්‍රතිපත්ති. ආනයන සීමා වගේ දේවල් වැටෙන්නේ ඔය ගණයට. ඊළඟ හේතුව, ගෙවල් හදද්දි නැතුවම බැරි ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළඳපලේ තියෙන තරඟකාරී නොවන භාවිතයන්. උදාහරණයක් විදිහට දේශීය නිෂ්පාදකයා දිරි ගන්වන්න කියලා අඩු මිලට ගෙන්වන්න පුළුවන් ආනයන සීමා කිරීම හරි ඒවාට බදු වැඩි කරන එක වගේ දේවල් ගන්න පුළුවන්.

unsplash-image-pypeCEaJeZY.jpg

මේ රිසර්ච් එකෙන් හොයලා බැලුවේ නාගරික ප්‍රදේශවල ගෙවල් හදද්දි අත්‍යවශ්‍ය යෙදවුම් වෙන ටයිල්, සිමෙන්ති සහ ඇලුමිනියම් වෙළෙඳපොළ ගැන. එතනදි දැන ගන්න ලැබුණේ ටයිල්, සිමෙන්ති සහ ඇලුමිනියම් කියන මේ කර්මාන්ත ඇතුලේ ඉන්නේ සැපයුම්කරුවෝ කීප දෙනෙක් විතරයි කියන එක. ඒ කියන්නේ ඒ ඉන්න සමාගම් කීපයට ලොකු බලයක් වෙළඳපලේ තියෙනවා. මොකද එයාලා ඇර වෙන විකල්පයක් මිනිස්සුන්ට නෑනේ. මේ විදිහට වෙළඳපලේ සීමිත සැපයුම්කරුවන් ප්‍රමාණයක් ඉන්නත් හේතුවක් එපැයි. 

unsplash-image-cUGNFbxxD1E.jpg

ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ වෙළඳපළට ඇතුළු වෙන්න හැමෝටම බෑ. ඒකට බාධා තියෙනවා. කෙටියෙන් කිව්වොත් වෙළඳපළට එන දොර වැහිලා. දැනටමත් වෙළඳපලේ ඉන්න සැපයුම්කරුවෝ දරලා තියෙන ප්‍රාග්ධන වියදම අලුතින්ම වෙළඳපළට එන්න ඉන්න අයට දරන්න අමාරුයි. ඒ වගේම කාලයත් එක්ක පරණ සැපයුම්කරුවන්ට වෙළඳපලේ පරිමාණානුකූල ඵල වාසි තියෙනවා. ඔය හැම දේමත් එක්ක ලංකාවේ වෙළඳපලේ ඉන්න දේශීය සැපයුම්කරුවන්ට වෙලඳ ආරක්ෂණයෙන් වාසි ලැබෙනවා. මොකද ආරක්ෂණය හින්දා ආනයන තීරු බදු පැනවෙනවා. ඒත් එක්කම පිටරටවලින් ගේන අමුද්‍රව්‍යවල මිල ගණන් වැඩිවෙලා ඒක දේශීය සැපයුම්කරුවන්ට වාසියි තමන්ගේ නිෂ්පාදනවල මිල ඊට වඩා අඩු නිසා. මේකෙන් දේශීය නිෂ්පාදකයන්ගේ බලය වැඩි වෙනවා. 

unsplash-image-PF1daJne7lA.jpg

දේශීයව නිපදවන සිමෙන්තිවලට අමුද්‍රව්‍ය විදිහට ගන්නවා ක්ලින්කර්. 2014 ඉඳලා 2022 වෙනකම් කාලයේදී ක්ලින්කර්වලට 16% ත් 25%ත් අතර සමුච්චිත තීරුබදුවලට යටත් වෙලා තියෙනවා. මේ ගැන අපි සසඳලා බැලුවොත් පේනවා දේශීය නිෂ්පාදකයින්ට කෙලින්ම තරඟයක් දෙන්න පුළුවන් තොග සහ බෑග් සිමෙන්ති ආනයනකරුවන්ට ඔය කියන කාලය ඇතුලේ 8% සහ 14% අතර පරාසයක විහිදුන අතිරේක සෙස් පැරා තීරුබදුවලට දිගින් දිගටම මුහුණ දෙන්න වෙලා. මේ නිසා තොග සහ සිමෙන්ති බෑග් ආනයනකරුවන්ට පනවලා තියෙන සමුච්චිත තීරුබදු ක්ලින්කර් ආනයනකරුවන්ට වඩා සැලකිය යුතු තරම් ඉහළ ගොස් ඇති අතර, තොග සහ සිමෙන්ති ආනයනකරුවන් සඳහා පිළිවෙලින් 27.5% - 38.5% සහ 26% - 32.5% අතර පරාසයක තියෙනවා.  

රූපය 1: ආනයනය කරන ලද සිමෙන්ති ප්‍රමාණය, මිල ගණන් සහ තීරුබදු ව්‍යුහය ආදියේ වෙනස්වීම්

ටයිල් වෙළඳපොළේ තත්ත්වයත් මේ වගේම තමා. 2013 ඉඳලා 2022 වෙනකම් ආනයනය කරපු ටයිල්වලට 79% සහ 89.5% අතර මුළු තීරුබදු අනුපාතයකට යටත් වෙන්න වෙලා. මේ අතර ටයිල් නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය වෙනුවෙන් තියෙන්නේ 8% ක වැට් බද්දක් විතරයි.  තීරුබදු අනුපාතවල තියෙන මේ වගේ වෙනස්කම් නිසා අසමාන ක්‍රීඩා පිටියක් නිර්මාණය වෙලා තියෙනවා. වෙන විදිහකින් කියනවා නම් දේශීය නිෂ්පාදකයින්ට මේ ක්‍රමය නිසා වාසියි. එයාලත් එක්ක තරඟ කරන ආනයනික සගයන්ට වඩා අසාධාරණ වාසියක් මේ නිසා එයාලට ලැබිලා තියෙනවා. 

unsplash-image-1sCXwVoqKAw.jpg

ඉහළ මට්ටමේ තීරුබදුවලට අමතරව, ආනයන සීමා කියන එකට ප්‍රමාණ සීමා කිරීමත් කරලා තියෙනවා. ලංකාවේ ආර්ථික අර්බුදය වෙලාවේ ඩොලර් හිඟයක් තිබ්බ නිසා රටින් පිටට සල්ලි යන එක වළක්ව ගන්නත් එක එක දේවල් කළා. ඔය අතරේ 2020 අප්‍රේල් මාසයේදී ආනයන සීමා ගොඩක් පැනෙව්වා. ඒ නිසා ආනයනය කරන සිමෙන්ති කොට්ටවල ප්‍රමාණය 65% කිනුත් ටයිල් 87% කින් අඩු වුණා. ඩොලර් හිඟයක් තියෙද්දි විදේශ විනිමය ඉතිරි කරගන්න උත්සාහයක් විදිහට තමා මේ සීමා කිරීම් ගොඩක් පනවලා තියෙන්නේ.  කොහොම වුණත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා තියෙන නොගැලපෙන විදිහ දැක්කම  වෙළඳපල ඇතුලේ වැඩි වැඩියෙන් දේශීය සැපයුම්කරුවන්ටවිශේෂ සැලකීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ අනිත් අයට නැති තරමේ අසමාන විදිහට ප්‍රතිලාභ ලබා දීලා තියෙනවා.

ලොකුවට තීරුබදු දාලා ආනයන නවත්වන්නයි ආනයනය කරන ප්‍රමාණය අඩු කරන්නයි හදන නිසා ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළඳපලේ සැපයුම ගොඩක් අඩුයි. මේකේ බලපෑම නිෂ්පාදකයින්ට සහ ආනයනකරුවන්ට විතරක් නෙවෙයි පාරිභෝගිකයින්ටත් තියෙනවා. පාරිභෝගිකයන්ට වෙළඳපලේ හොඳ තේරීමක් කරන්න තරම් ප්‍රමාණවත් සැපයුමක් නෑ. තියෙන දේ ගන්නවා ඇර එයාලට වෙන විකල්පයක් නෑ. ඒ නිසා වැඩි ගාණට තියෙන බඩු ගන්න වෙනවා. වෙළඳපලේ තරඟකාරී මිලක් නෑ. 

ඉදිකිරීම් ද්‍රව්‍ය නිෂ්පාදකයින්ටයි ආනයනකරුවන්ටයි එහි ඇඟවුම් වලට අමතරව, ආනයන සීමා කිරීම් නිසා තීරුබදු ඉහලයි. ඒකෙන් පාරිභෝගිකයින්ට මිලදී ගන්න තියෙන්නේ සීමිත ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රමාණයක්. ඒ නිසයි අපි කලිනුත් කිව්වේ එයාලගේ තේරීම සීමා වෙලා කියලා.  උදාහරණයක් විදිහට ටයිල් වෙළඳපොලේ තියෙන අධික තීරුබදු සහ ආනයන සීමා කිරීම් නිසා 2020 අප්‍රේල් මාසයත් එක්ක බලද්දි 2022 අගෝස්තු මාසය වෙද්දි මිල ගණන් වැඩි වෙලා තියෙනවා 93% ඉඳලා 123% තරම්. ඒ විතරක් නෙවෙයි පාරිභෝගිකයින්ට භාණ්ඩ ලබා ගන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලා ඉන්නත් සිද්ධ වෙලා තියෙනවා. 

මේ හැම දෙයක්ම ගෙයක් ගන්නවා කියන එකට ගෙවල්වල මිල ගණන්වලට බලපාන්නේ කොහොමද? ආරක්ෂණවාදී වෙළඳ ප්‍රතිපත්ති නිසා ගෙයක් හදන්න ඕන වෙන ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යාම වගේම දේශීය වෙළඳපොලේ තරඟකාරිත්වයක් නැතිකමත් එක්ක, ගෙයක් හදන්න යන වියදමත් අවුරුදු ගාණක් තිස්සේ වැඩි වෙලා ඇවිත් දැන් මිනිස්සුන්ට දරන්නම බැරි තැනකට ඇවිත්. 

unsplash-image-zi1GRsLym3s.jpg

ගෙයක් කියලා කියන්නේ මිනිස්සුන්ට නැතිවම බැරි දෙයක්. මූලිකම අවශ්‍යතාවක්. ඒ වගේ දෙයක් මිනිස්සුන්ට හීනයක් වෙනවා කියන්නේ බරපතල දෙයක්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රශ්නය අපි හිතනවාට වඩා බරපතලයි. හිසට සෙවණක් තියෙන ජනතාවක් හදන්න නම් පුළුවන් තරම් ඉක්මනට තීරුබදු සම්පූර්ණයෙන්ම අයින් කරන එකයි ඉදිකිරීම් ද්‍රව්‍යවල තරඟකාරිත්වය වැඩි කරන එකයි කරන්නම ඕන. කොහොම වුණත් ලංකාවේ මූල්‍ය අවකාශය සීමා සහිත වීම නිසා තීරුබදු අඩු කිරීම සහ වෙළඳ සීමාවන් ඉවත් කිරීම කියන දේවල් කරන්න ඕන ටිකෙන් ටික මිසක් එක රැයින් නෙවෙයි. එතකොට ක්‍රමානුකූලව මේ අංශයේ භාණ්ඩ ආනයනය වැඩි වීම වෙනවා, ඒකෙන් සැපයුම වැඩි වෙන නිසා මිල පහල වැටෙනවා. ඒත් එක්කම අන්තිමට ගෙයක් හදන්න යන පිරිවැය අඩු වෙන නිසා කෙනෙක්ට ගෙයක් ගන්න එක දරන්න පුළුවන් මිලකට එනවා.

ලංකාවේ අපිට හිසට සෙවණක් ලැබෙයිද?

- දිල්මිණී අබේරත්න විසිනි

කොහුවල හන්දිය පහු කරගෙන කොළඹ පැත්තට එනකොට මට පේනවා කොහුවල ගුවන් පාලමේ උඩ කොටස හදපු දා ඉඳලා එතන තමන්ගේ නවාතැන කර ගත්ත මනුස්සයෙක්. බිත්ති හතරක් නැතත් එයාට මේ වෙලාවේ ඕන හිසට වහලක් විතරයි. ඒත් අපිට ඒ වගේ අපිට හිත නැවතෙන තැනක හිත ගිය තැන මාළිඟාව හදන්න බෑ. ඉස්සර නම් කොහොම හරි ලෝන් එකක් අරන් පොඩි ගෙයක් හදා ගන්න එක කවුරු කවුරුත් තමන්ට පුළුවන් විදිහට කළා. ඒත් ගෙයක් හදා ගන්න එක දැන් ලංකාවේ තියෙන හීන අතරේ තවත් එක හීනයක් වෙලා ඉවරයි. 

ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය දිහා බැලුවම පේන්න තියෙන්නේ හරියට බාගෙට හදපු ගොඩනැඟිල්ලක සැකිල්ලක්. කවදා වැඩ ඉවර වෙයිද? කවදාවත් බැරි වෙයිද? මේ කිසි දෙයකට උත්තර රටේ සාමාන්‍ය ආදායමක් ගන්න පවුලකට හිතන්න බැරි ගාණට ඇවිත්. මිනිස්සුන්ටම බදු බර පටවලා ගොඩ යන්න බලාගෙන ඉන්න අසාර්ථක ආර්ථිකයක් එක්ක සමාජයේ අසමානතාව එන්න එන්නම වැඩි වෙනවා. කාර්‍යක්ෂම නැති වෙළඳපළවල්, රජයේ අසීමිත මැදිහත් වීම් නිසා සංවර්ධිත රටක්  බවට පත් වෙන එකත් මිරිඟුවක් පස්සේ යනවා වගේ. ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයටත් මේ කියන අකාර්‍යක්ෂමතා, අසමතුලිතතා වගේම ඒකාධිකාරී වෙළඳපළ තත්ත්ව නිසා මිනිස්සුන්ගේ සුබසාධනය එහෙම පිටින්ම නැති වෙලා යන එක සාමාන්‍ය දෙයක් වෙලා. 

Image by Kasun Chamara from Pixabay

දේශීය ව්‍යාපාරිකයන්ට හොඳක් කරන්න කියලා හිතාගෙන රජය ආර්ථිකයට මැදිහත් වෙලා කරන ආනයන සීමා වගේ දේවල් නිසාත් දේශීය වෙළඳපළ, සැපයුම්කරුවෝ එක් කෙනෙක්ට දෙන්නෙක්ට සීමා වෙලා තියෙන නිසාත් මිනිස්සුන්ට තරඟකාරී මිලකට ඉදිකිරීම් ද්‍රව්‍ය මිලට ගන්න බෑ. වෙළඳපළේ තියෙන ගිනි ගණන්වලටම තමයි ගෙයක් හදන්න බඩු ගන්න වෙන්නේ. මේ නිසා වෙළඳපළේ අසමාන තරඟයක් ඇති වෙලා තියෙනවා වගේම ඒක සාධාරණ තරඟකාරිත්වයට බාධාවක් වෙලා ඉවරයි. අපි බලමු මේ ලිපියෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයට බලපාන ප්‍රධාන ගැටලු මොනවද කියලත් තිරසාර කර්මාන්ත වර්ධනයක් ඇති කරන්න සුදුසු පුළුල් ප්‍රතිසංස්කරණ මොනවද කියලත්.

දේශීය ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළඳපොලේ උළු, සිමෙන්ති, ඇලුමිනියම් වගේ දේවල් සපයන තරඟකරුවෝ ඉන්නේ දෙන්නයි නැත්නම් කීප දෙනයි. ඒක ගෙයක් දොරක් හදන්න බලන් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට හොඳ ආරංචියක් නම් නෙවෙයි. මොකද සැපයුම්කරුවෝ අඩු වෙන තරමට, ඒ සීමිත සැපයුම්කරුවන්ට පුළුවන් එයාලා සපයන භාණ්ඩයේ මිලට හරි ප්‍රමාණයට හරි ලොකු බලපෑමක් කරන්න. එයාලා කියන ගාණට අපිට බඩු ගන්න වෙනවා මොකද අපිට වෙන විකල්පයක් නැති නිසා.

Image by Henning from Pixabay

සැපයුම්කරුවන්ට මේ වගේ ලොකු බලයක් ලැබෙන්න හේතුව තමයි ආර්ථිකයේ සමහර සැපයුම්කරුවෝ කාලයක් තිස්සේ වෙළඳපලේ ඉඳලා එයාලට ඒ අංශය ගැන හොඳ දැනුමක්, පරිණතබවක් වගේම විශේෂඥ හැකියාවක් ඇති වෙලා තියෙන එක. ඒත් අළුතෙන්ම ඒ වෙළඳපළට උළු, සිමෙන්ති, ඇලුමිනියම් සපයන්න එන සැපයුම්කරුවෙක්ට ඒ වගේ දැනුමක්වත්, දක්ෂතාවක්වත්, ඇති තරම් සල්ලිවත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා දැනටමත්  වෙළඳපලේ ඉන්න සැපයුම්කරුවන්ට ලොකු බලයක් තියෙනවා. ඒත් අළුතෙන්ම වෙළඳපළට එන්න ඉන්න සැපයුම්කරුවන්ට අභියෝග ගොඩක් තියෙනවා. 

මේ වෙනකොට ලංකාවේ සිමෙන්ති කර්මාන්තයේ බලය තියෙන්නේ තරඟකරුවන් තුන් දෙනෙක් ළඟ. ටයිල් කර්මාන්තයේ ඉන්නේ තරඟකරුවන් හතර දෙනයි. ඒකෙනුත් තුන් දෙනෙක්ම එකම ආයතනයකට අයිති අය. ඇලුමිනියම් කර්මාන්තය ගත්තම තරඟකරුවන් හතර දෙනයි. ඕනම වෙළඳපළක ඉන්න නිෂ්පාදකයින් ගාණ වැඩි වෙන්න වෙන්න තරඟකාරීත්වය වැඩියි.  ඒ වගේම නිෂ්පාදකයින් ගාණ අඩු වෙන්න වෙන්න තරඟකාරීත්වය අඩුයි. තරඟකාරීත්වය අඩු වෙනවා කියන්නේ ඒ ඒ නිෂ්පාදකයාට තියෙන බලය වැඩියි කියන එක. එතනදි මිනිස්සුන්ට ඒ නිෂ්පාදකයා විකුණන්න කැමති ගාණට අඩු ගුණත්වයක් තියෙන භාණ්ඩ වුණත් මිලට ගන්න වෙනවා.

Image by Tung Lam from Pixabay

මේ විදිහට තරඟකාරීත්වය අඩු වෙලා සාමාන්‍ය මිනිස්සු සූරාකෑමට ලක් වෙන්න එක හේතුවක් වෙන්නේ දේශීය වෙළඳපළේ ඉන්න සැපයුම්කරුවෝ ගාණ අඩු වෙනකොට. ඒ වගේම විදේශීය රටවලින් ලංකාවට උළු, සිමෙන්ති, ඇලුමිනියම් ආනයන සීමා කළාමත් ලංකාවේ වෙළඳපලේ ඉන්නේ ලංකාවේ සැපයුම්කරුවෝ ටික දෙනා විතරයි. එතකොට විදේශීය රටවල්වලින් ලංකාවේ සැපයුම්කරුවෝ විකුණන ගාණට වඩා අඩු ගාණකට මිනිස්සුන්ට බඩු විකුණන්න කැමති වුණත් රජය මැදිහත් වෙලා ඒ පිටරටින් ගෙන්වන ආනයන සීමා කරලා හරි නතර කරලා තිබ්බාම ඒකෙනුත් සාමාන්‍ය මිනිස්සුන්ගේ තේරීමේ හැකියාව අඩු වෙලා, ලංකාවේ තියෙන වැඩි ගණන්වලට බඩු ගන්න වෙනවා. ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ලංකාවේ ගෙයක් ගන්න එක ඇමරිකාවේ නිව්යෝර්ක්වලින් හරි ජපානෙන් හරි ගෙයක් ගන්නවට, ගෙයක් හදනවාට වඩා අමාරු, දරා ගන්න බැරි ගාණක් යන වැඩක් වෙලා තියෙන්නේ.

මේ වෙනකොට ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට පිටරටින් ගෙන්වන සිමෙන්ති, ටයිල් සහ ඇලුමිනියම් වගේ ආනයනික ඉදිකිරීම් ද්‍රව්‍යවලට සෙස්/CESS (Cessation) සහ PAL (වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද) වගේ පැරා තීරු බදු පනවලා තියෙන නිසා ඒවායේ ගාණ ගොඩක් වැඩි වෙලා තියෙනවා.

Image by Mohamed Hassan from Pixabay

උදාහරණයක් විදිහට ගත්තම දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්තිවලට ක්ලින්කර් කියන අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. 2014 ඉඳලා 2021 වෙනකම් අවුරුදු 7 ඇතුලත ක්ලින්කර්වලට පනවලා තියෙන බදු 16% ඉඳලා 25% තරම් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම දේශීය නිෂ්පාදකයන්ට සෘජුවම තරඟයක් දෙන්න පුළුවන් තොග සහ සිමෙන්ති කොට්ට ආනයනකරුවන්ට. මේ ආනයනකරුවන්ට පනවලා තියෙන සෙස් බද්ද මේ වෙද්දි 8% සහ 14% අතර පරාසයක තියෙනවා. ආනයනවලට බදු පැනවුවාම දේශීය නිෂ්පාදනවලට වඩා ආනයනවල මිල වැඩියි. මෙහෙම තමයි දේශීය නිෂ්පාදකයින්ට අසාධාරණ වාසි ලබා දෙන්නේ. දැන් පේනවනේ ලංකාවේ නිෂ්පාදකයන්ට අසාධාරණ ක්‍රමවලින් වාසි දෙන්න යන එකෙන් විදේශීය නිෂ්පාදකයන්ගේ තරඟකාරීත්වය නැති වෙලා යනවා. 

සිමෙන්ති විතරක් නෙවෙයි ටයිල් වෙලඳපලෙත් මේ වගේම සිද්ධියක් වුණා. ඒ 2013 ඉඳලා 2021 දක්වා ආනයනය කරපු ටයිල්වලට 79% ඉඳලා 89.5% අතර මුළු තීරුබදු අනුපාතයකට යටත් කරලා ආනයනකරුවන්ගේ නිෂ්පාදන මිලට ගන්න මිනිස්සුන්ට තියෙන හැකියාව අඩු කරලා දැම්මා. ඒත් දේශීය නිෂ්පාදකයන්ට වාසියක් වෙන්න ඕන නිසා දේශීයව ටයිල් නිෂ්පාදනය කරන්න ගෙන්වන අමුද්‍රව්‍යවලට පනවන බදු 8% ක වැට් බද්දකට විතරක් සීමා කළා. මේ විදිහට රජය ආර්ථිකයට මැදිහත් වෙලා වෙළඳපළේ ඉල්ලුමට හරියන සැපයුම ඇති වෙන එකට එක එක විදිහේ බලපෑම් කරපු නිසා අන්තිමට වැඩියෙන්ම අසාධාරණයට ලක් වෙලා ඉන්නේ ගෙයක් හදන්න හීන දකින මිනිස්සු, අලුත් ව්‍යාපාරයකට ගොඩනැඟිල්ලක් හදන්න බලන් ඉන්න මිනිස්සු.  

Image by Borko Manigoda from Pixabay

ඉහළ තීරුබදු පනවලා තරඟකාරීත්වය සීමා කරනවාට අමතරව, පිටරටින් ලංකාවට ගෙන්වන නිෂ්පාදනවල ප්‍රමාණය අඩු කරන එකත් සිද්ධ වුණා. කොවිඩ් වසංගතය කාලේ ඇති වෙච්ච ඩොලර් හිඟයත් එක්ක 2020 අප්‍රේල් මාසයේදී හුඟක් ආනයන සීමා කළා. ඒත් එක්කම සිමෙන්ති කොට්ට සහ ටයිල් ආනයනය කරන ප්‍රමාණයත් අඩු වුණා. මේ විදිහට ආනයන සීමා කරන්නේ ඩොලර් ඉතුරු කර ගන්න. ඒ කොහොම වුණත් මේ වගේ ප්‍රතිපත්තිවලින් සිද්ධ වෙලා තියෙන්නේ වෙලඳපොලේ ඉන්න මහා පරිමාණ සැපයුම්කරුවන්ට අසමාන විදිහට ප්‍රතිලාභ ලබා දෙන එක. 

තීරුබදු වැඩි කරලා ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය සීමා කරපු නිසා මිනිස්සුන්ට සිද්ධ වෙනවා පිටරටින් ගෙන්වන දේවල්වලට වඩා දේශීය නිෂ්පාදන මිලට ගන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ගාණ වැඩි වුණත් ලංකාවේ නිෂ්පාදනය කරපු ඉදිකිරීම් ද්‍රව්‍ය මිලට ගන්න වෙනවා. දේශීය වෙළඳපලේ ඉදිකිරීම් ද්‍රව්‍ය සපයන කීප දෙනාට කියාපු ඉල්ලමක් තමයි හදලා දීලා තියෙන්නේ.

මේ විදිහට ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළඳපලේ දිගින් දිගටම මිල ගණන් වැඩි වෙලා. උදාහරණයක් විදිහට ටයිල් වෙළඳපොලේ, 2020 අප්‍රේල් මාසයයි 2022 අගෝස්තු මාසයයි බලද්දි අවුරුදු දෙකක් ඇතුලත මිල ගණන් 93% ඉඳලා 123% දක්වා වැඩි වෙලා. ඒ වගේම භාණ්ඩ ඇති තරමට සපයන්නේ නැති නිසා මිනිස්සුන්ට භාණ්ඩ ලබා ගන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලා ඉන්නත් සිද්ධ වෙලා. 

ඇත්තටම මිල වැඩි වෙන්න හේතු වුණේ ආණ්ඩුව / රජය වෙළඳපළට මැදිහත් වෙලා කරපු ආනයන සීමා සහ තීරු බදු පැනවීම් වගේ ප්‍රතිපත්ති. ඒ වගේ ප්‍රතිපත්ති නිසා දේශීය නිෂ්පාදකයින්ට හිතා ගන්න බැරි තරම් වාසි - ලාභ ලැබුණා. ඒ කොච්චරක්ද කියනවා නම් සමහර අවස්ථාවලදී ලාභය 90% හරි ඊටත් වැඩි ප්‍රමාණයකින් හරි වැඩි වෙලා තියෙනවා. 
නියර මිටි තැනින් වතුර බැහැලා යනවා වගේ මේ අසාධාරණ තරඟකාරීත්වයෙන් බැට කන්නේ සාමාන්‍ය මිනිස්සු. ලාභ ලබන්නේ බලාධිකාරී ආයතන. හිසට වහලක් කියන්නේ මනුස්සයෙක්ගේ මූලිකම අවශ්‍යතාවක්. ඒත් ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ තරඟකාරීත්වයක්, නිදහස් ආර්ථික වටපිටාවක් නැති නිසා ගෙයක් හදන්න යන වියදම රටේ බහුතරයකට දරා ගන්න බෑ.

මේ විදිහට බලන් ගියාම අපිට පේනවා ආර්ථිකයට නිදහසේ ක්‍රියාත්මක වෙන්න නොදී රජය ඇවිත් මිල පාලන, ආනයන සීමා පනවන්න ගියාම වෙළඳපලේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඉතිං ඇත්තටම රජය ආර්ථිකය වෙනුවෙන් කරන්න ඕන මොනවද? 

ඒ තමයි දැනට පනවලා තියෙන වෙළඳ බාධක අඩු කරන එක සහ තරඟකාරිත්වය වැඩි කරන එක. එහෙම කළාම වෙළඳපලේ ප්‍රශ්න ඉබේම විසඳිලා යනවා. මොකද තීරුබදු අඩු කරලා වෙළඳ සීමා අයින් කළාම වැඩි වැඩියෙන් භාණ්ඩ / අමුද්‍රව්‍ය ලංකාවට ගේන්න පුළුවන්. ඒත් එක්කම සැපයුම වැඩි වෙන නිසා වෙළඳපලේ තියෙන භාණ්ඩ හිඟය නැති වෙනවා. පිටරටින් තරඟකාරයෝ ලංකාවට එද්දි දේශීය නිෂ්පාදකයන්ට ඔහේ ගුණත්වයක් නැති භඩු ගිනි ගාණට විකුණලා මිනිස්සුන්ව සූරාකන්නත් අමාරුයි. වෙළඳපලේ සැපයුම හොඳට තියෙන නිසා මිනිස්සු තෝරලා බලලා අඩු ගාණට වැඩි ප්‍රයෝජනයක් ලැබෙන ගුණාත්මක දේවල් මිලට ගන්න නිසා සැපයුම්කරුවන්ට සිද්ධ වෙනවා තරඟකාරීව නිෂ්පාදන වෙළඳපළට ගේන්න. 

ඒ වගේම තවත් වැඳගත් දෙයක් තමයි දැනට ශ්‍රී ලංකාවේ තරඟකාරී නීතිය විදිහට සැලකෙන්නේ 2003 පාරිභෝගික කටයුතු පනත (Consumer Affairs Act of 2003). ඒක ඵලදායී නීතියක් බවට පත් කරලා ඒකෙන් වැඩක් ගන්න නම් සැලකිය යුතු වෙනස්කම් ටිකක් කරන්න ඕන. පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන ප්‍රධාන අරමුණ වෙන්නේ තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම වුණාට කාලයක් තිස්සේ ඒ වෙනුවෙන් අදාළ විමර්ශනයක් කිසිවක් කරලා නෑ මොකද අධිකාරියට ප්‍රමාණවත් මුදල් නැතිකම, ස්වාධීනතාවක් සහ විනිවිදභාවයක් නැතිකම නිසා. මේ නිසා ශ්‍රී ලංකාවේ පාරිභෝගික කටයුතු අධිකාරියට කාලීන ප්‍රතිසංස්කරණ කිරීමත් ඉක්මණින්ම කරන්න ඕන. ඒත් ආයතනික මට්ටමේ වෙනස්කම් කරන්න අපි හිතනවාට වඩා සෑහෙන කාලයක් වගේම දේශපාලන ක්‍රියාකාරී මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. මේ නිසා අපිට ඉක්මණින්ම කරන්න පුළුවන් දේ තමයි වෙළඳ සීමා කිරීම් සහ තීරුබදු ඉවත් කිරීම මගින් රජය ආර්ථිකයට අනවශ්‍ය විදිහට මැදිහත් වෙන එක නවත්වලා ආර්ථික නිදහස වැඩිවෙන විදිහට වැඩ කරන එක. එහෙම නැතුව නම් හිසට සෙවණක් ලැබෙන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් වෙනවා.